Ads 468x60px

Monday, January 27, 2014

බනින්න පෙර සිතා බලමු


මේ ලිපිය ලියන්න හිතාගෙන හිටියෙ සෑහෙන කාලෙකට කලින්. ඒත් එක එක දේවල් නිසා ඒක අතපසු උනා. ඒත් අද යාලුවෙක් එයාට උන දෙයක් කිව්වම මේ සටහන අදම ලියන්න හිතුනා.

තරහව එහෙමත් නැත්තන් කෝපය කියන දේ ජීවිතේ එක පාරක් හරි අත් නොවිඳපු කෙනෙක් පෘථග්ජන මිනිස්සු අතරෙ නැතුව ඇති. අපිට රුස්සන්නෙ නැති, අපි අකමැති, එහෙමත් නැත්තන් අපිට හානියක් වෙන දෙයක් උනාම තරහ නොයන කෙනෙක් නෑ තමයි. ඒත් හිතට දැනෙන ඒ තරහ මිනිස්සු පිට කරන්නෙ විවිධාකාර විදිහට. සමහරු කෑගහලා බැනල රණ්ඩු කරල ගහමරාගෙන ඒ තරහ පිට කරනවා. තවත් අය ඒ තරහ එක පාර පෙන්නන්නෙ නැතුව අවස්ථාවක් ලැබුන ගමන් බොහොම සූක්ශම විදිහට ඒ තරහ පිරිමහ ගන්නවා. තවත් අය කොයි තරම තරහ ගියත් ඒක හිතේ තද කරගෙන කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න හදනවා. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ මේ තුන් ගොල්ලගෙන් පලවෙනියටම කියපු අය ගැන ටිකක් කථා කරන්න.

පුංචි සිද්ධියක් අල්ලගෙන තමන් ආදරය කරන අයට, හිතවතුන්ට වගේම තමන් වටේ ඉන්න අයට බනින එක මේ අයට පුරුද්දක් වෙලා. ඉවසීම කියන වචනය උනත් ඒ අයට නුහුරුයි. ඒ වෙලාවට සමහරවිට බැනුම් අහන අය ඒ විදිහටම ප්‍රතිචාර නොදක්වනවා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ එයාලා සද්ද නැතුව ඒ බැණුම් අහගෙන ඉන්නවා වෙන්න පුලුවන්. මේ තරහ ගන්න අය හිතන්නෙ එහෙම වෙන්නෙ අනිත් අය තමන්ට තියෙන බය නිසා කියල. ඒත් ඒක එහෙම නෙවෙයි. ගොඩක් වෙලාවට ඒ අය නිශ්ශබ්ධව ඉන්නෙ බයකට වඩා අනිත් කෙනා ගැන තියෙන ආදරය, එහෙමත් නැත්තන් ගෞරවය නිසා වෙන්න ඇති. සමහරවිට එතන තියෙන්නෙ අනිත් අය ඉස්සරහ රණ්ඩු වෙන්න තියෙන ලැජ්ජාව වෙන්නත් පුලුවන්.

උදාහරණයකට මෙහෙම හිතන්න. කෑම රස නෑ කියල සැමියෙක් බිරිඳට තදින්ම දෝශාරෝපණය කරනවා. ඒ වෙලාවට බිරිඳ එකට එක නොකියා, පිඟන් පොලවෙ නොගහ ඉන්නෙ ඇයි?? එයාට කතා කරන්න බැරි නිසාද? නැත්තන් භාශාව දන්නෙ නැතුවටද? එහෙමත් නැත්තන් තරහ නොයන නිසාද?
නෑ….
එහෙම ඉන්නෙ සැමියට තියෙන ආදරේ නිසා, ගෞරවය නිසා..අහල පහල ඉන්න අයට මේ රණ්ඩුව ඇහෙන නිසා.

තරහ ගන්න ගොඩක් අය හිතන්නෙ ආවේගශීලී වෙන එක ලොකු හපන්කමක්, නිහඬව ඉන්න එක දුර්වල කමක් කියල. ඒත් ඒක එහෙමද? නිකමට හිතන්න වඩා ලේසි කැස්සක් හංගගෙන ඉන්න එකද එහෙමත් නැත්තන් කැහැලා ඒ කැස්ස පිට කරන එකද? දෙවෙනි විදිහ නේද ලේසි? මම හිතන්නෙ තරහ උනත් ඒ වගේ. හිතට දැනුන ගමන් පිට කරන ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්. ඒත් සංයමයෙන් ඒ තරහ පිට නොකර ඉන්න එක සෑහෙන අමාරු දෙයක්. එහෙම ඉන්න පුලුවන් හිත ශක්තිමත් කෙනෙක්ට විතරයි.


ඉක්මනින් කෝපයට පත් වෙන අය තමන්ගෙ ඒ දුර්වලතාවය මගහරවා ගන්න එහෙමත් නැත්තන් සාධාරණීකරනය කරන්න කියන දේවල් දෙකක් තියෙනවා.

1) මට තරහ ගියොත් ඒ වෙලාවට විතරයි. ඊට පස්සෙ ඒ කියපු දේවල් වත් ඒ සිද්ධියවත් මට මතක නෑ.

දැන් මෙහෙම කියන අය හිතන්නේ ඒ වෙලාවට කෑගහල ඒක අමතක කරන එක හරි හපන්කමක් කියල. ඒත් ඒක එහෙම නෑ. ඔබට තරහ ගිහින්  බනිද්දි ඒ පිට කරන වචන ඒ බැණුම අහන කෙනාගෙ හිතට ඇතුල් වෙන්නේ වෙඩි උණ්ඩ වගේ. ඒවා ඒ කෙනාගෙ හිතේ ඇති කරන තුවාලවල තරම බනින කෙනාට හිතාගන්නවත් බෑ. එයාට ඊළඟ මොහොතෙ ඒ දේවල් අමතක කරන්න පුලුවන් උනාට හොඳ සිහියෙන් ඉඳන් බැනුම් අහපු කෙනාට ඒ කියපු වචනයක් වචනයක් ගානේ හොඳට මතක තියෙනවා. සමහරු තෑගි ගෙනත් දීලා ඒ සිදුවීම අමතක කරවන්න හැදුවත් චොක්ලට් එකකින්, සාරියකින් එහෙම නැත්තන් වෙන මොකක් හරි තෑග්ගකින් අර කෙනාගේ හිතේ ඇති උන තුවාලය හොඳ කරන්න බෑ කියන එකත් කට්ටිය මතක තියා ගන්නවනම් හොඳයි.

motivationalpicturess.blogspot.com

2) තරහ යන්නෙ ගොඩක් ආදරණීය අයට.

මේක නම් අහපු දවසෙම මට හිනා ගියා. ඇත්තටම ආදරණීය කෙනෙක්ට කවදාවත් තමන් ආදරය කරන කෙනෙක්ගෙ හිතක් රිද්දන්න පුලුවන්ද? මට නම් මම ආදරය කරන කිසි කෙනෙක්ට එහෙම කරන්න බෑ. සමහරවෙලාවට අපි ආදරේ කරන අයත් එක්ක අපිට තරහ යනවා තමයි. හැබැයි එහෙම තරහ යන්නෙ එක්කො ඒ අය කරන දේකට, එහෙමත් නැත්තන් අපි කියන දෙයක් එයාල නොකරන කොට. උදාහරණයකට කොච්චර කිව්වත් අම්මා වෙලාවට බෙහෙත් බොන්නෙ නැතිකොට අපට තරහ යනවා. ඒත් එහෙමයි කියල කටට එන ඕනම වචනයක් කියල අම්මට බනින්න පුලුවන්ද? බැනල ඊට පස්සෙ අම්මා කෙනෙක් අඬන කොට මම බැන්නෙ ආදරේටනෙ කියල කියන්න පුලුවන්ද? අපි කෙනෙක්ට ආදරෙයි කියල අඟවන්න තියෙන හොඳම විදිහ තමයි එයාගෙ හිත නොරිද්දන එක. ඕනම දෙයක් ආදරයෙන් පැහැදිලි කරල, තෝරල දෙන්න අපිට පුලුවන් වෙන්න ඕන. එහෙම බැරි නම් ඒක අපේ දුර්වලකමක්. ඒකට අනිත් අය පළි නෑ

ඔය අතරෙ ඉක්මනට තරහ යන අයගෙ හිත හොඳයි කියලත් කියනවා. අර හිත යට දෙයක් තියාගෙන මූණට එකක් කියන අයට වඩා නම් ඒක හොඳයි තමයි. ඒත් එහෙම කරන එකෙන් වෙන්න පුලුවන් නරක කොයි තරම්ද කියලත් හිතල බලන්න අපිට පුලුවන් වෙන්න ඕන.

ඉතින් ඉක්මනට තරහ ගන්න අයට හිතන්න දේවල් ටිකක් මේ විදිහට සටහන් කරන්න හිතුවා.

1) තරහ ගන්න එක හපන් කමක් නෙවෙයි

හිතන්න එපා කිසිම වෙලාවක අනිත් අයව කටෙන් බය කරගෙන ඉන්න එක හපන්කමක් කියල. ඒක ඔබට ඔබවවත් පාලනය කරගන්න බෑ කියන එක ලෝකයට ප්‍රදර්ශනය කිරීමක් මිස වෙන කිසිවක් නෙවෙයි. ඔබෙන් බැනුම් අහගෙන, ගුටි කාගෙන ඉන්න අය එහෙම ඉන්නෙ අනිත් පැත්තට හැරිල ඔබට ගහන්නවත්, බනින්නවත් බැරි කමකට නෙවෙයි. ඔබ තරම් ඔවුන් දුර්වල නැති නිසා.

http://quotespictures.com


2) කෝපය අන් අය ඉදිරියේ ඔබව මෝඩයෙකු කරයි

හිතල බලන්න පොඩි දේකට උනත් තරහ ගන්න අය ගැන. කවුරුත් එහෙම අයට කැමති නෑ නේද? ඕන එකටයි එපා එකටයි හැම එකටම කෑගහන අයව අනිත් අයට විහිලුවක්.
"එයා කියන ඒවා කවුද ගනන් ගන්නෙ. එයා ඕන එකකට ගිරිය කඩාගෙන කෑ ගහන්නනෙ දන්නෙ"
"අපෝ එයාට හොස්ස ළඟින් මැස්සා යන්න බෑනෙ."
මේ විදිහෙ කතා ඔබත් අහල ඇතිනෙ. පුංචි වැරැද්දකට උනත් හැමෝම ඉස්සරහා තමන්ට බනින ආයතන ප්‍රධානියෙක් ගැන හිතන්න. එහෙම කෙනෙක් කවදාවත් ඔහු යටතේ ඉන්න අයට ප්‍රිය වෙන්නෙ නෑ. ඔහු කියන  දේවල් කිසිකෙනෙක් ගනන් ගන්නෙත් නෑ. "එයා කොහොමත් ඉන්නෙ තද වෙලානෙ" කියන අදහස තමයි ඒ අයගෙ හිත් වල තියෙන්නෙ. ඒත් බොහොම සාධාරණ විදිහට හිතන කෙනෙක් තරහ ගත යුතුම තැනකදි තමන්ගෙ සේවකයන්ට තරවටු කරාම ඕනම කෙනෙක් ඒ ගැන දෙපාරක් හිතන්න ගන්නවා.
"කවදාවත් නැතුව සර්/මැඩම් එහෙම කතා කලේ මොකක් හරි හේතුවක්නිසා නේද"  කියල ඔවුන් හිතනවා. ඒත් හැමදාම කෑගහන කෙනෙක් යටතේ ඉන්න අය ලොකු වැරැද්දකදි උනත් ඒ බැණුම ගනන් ගන්නේ නෑ. මොකද ඔවුන් කම්මලේ ඉන්න බල්ලන් වගේ වෙලා නිසා.
http://blindgossip.com

3) ඔබට වගේම අනිත් අයටත් තරහ යන බව තේරුම් ගන්න.
සමහරු ඉන්නවා තමන්ට පොඩි වැරැද්දක් උනත් ඒක ලොකු රණ්ඩුවකට පෙරලා ගන්න හදන.ඒත් එයාල අතින් වැරැද්දක් උනාම එයින් අගතියට පත් පාර්ශව ඒක පෙන්නවටවත් ඔවුන් කැමති නෑ.
උදාහරණේ: පෙම්වතාට/පෙම්වතියට බැනපු කෙනෙක් ඊලඟ මොහොතේ මම බැන්නෙ විහිලුවටනෙ/ දැන් ඒ කතාව ඉවරයි ඒක අමතක කරන්න/ මෙන්න ඔයාට තෑග්ගක්..ඊයේ බැනපු එකට මට සමාව දෙනව නේද?”/ වගේ දෙයක් කිව්වාම, අනිත් කෙනා පැනපු ගමන්
" ඔව් අනේ මට එහෙම බැණුමක් ඇහුවද කියලවත් ගානක් නෑ"
කියල කියයි කියල ඔවුන් බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව ටිකක් දුකෙන් හිටියොත් "මොකද මේ තාම මූණ එල්ලගෙන"  කියල ආයෙත් ඒ මිනිස්සුන්ටම බනින්න ගන්නවා. ඒකෙන් වෙන්නෙ තියෙන ප්‍රශ්න වැඩි වෙන එක විතරයි.

4) හැමදේම ඉවසගෙන ඉන්න අයව දුර්වලයින් විදිහට හිතන්න එපා.
මේ ගැන කලින් කිව්ව නිසා ආයෙත් විස්තර කරන්න යන්නෙ නෑ. ඕනම කෙනෙක් ඉවසන්නෙ තරහ, දුක කියන හැඟීම් නොදැනෙන නිසා කියල හිතන්න එපා කියල විතරක් කියන්නම්.


5) කාගෙන් හරි තරහ පිරිමහ ගන්න ඕන කියන හැඟීම හිතට එන්න දෙන්න එපා.
සමහරු ඉන්නවා ඕනම තරහක් පිට කරන්නෙ තමන්ට වඩාත් ආදරය කරන අයගෙ පිටින්. මොකද එයාල දන්නවා ඒ අය කවදාවත් තමන්ට පෙරළා චන්ඩි පාට් දාන්න එන්නෙ නෑ කියල. බස් එකේ කොන්දොස්තර එක්ක, වැඩ කරනතැන ප්‍රධානියා එක්ක එහෙමත් නැත්තන් කඩේ මුදළාලි එක්ක කොයි තරම් තරහ ගියත් අපූරුවට ඉවසන අය ගෙදර ආපු ගමන් මොකක් හරි වැරැද්දක් අල්ලගෙන ඒ තරහ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙන් පිරිමහගන්න  පුරුදු වෙලා. තමන්ගෙ තරමෙ අය එක්ක හැප්පුනොත් ගුටි කන්න වෙයි, ලැජ්ජාවට පත් වෙන්න වෙයි එහෙමත් නැත්තන් රස්සාව නැතිවෙයි කියන බයට සද්ද නැතුව ඉන්න අය තමන්ට හානියක් නෑ කියල දන්න අය දැක්කම කැත නැතුව චන්ඩියො වෙන්න හදනවා.


6) ඔබේ සමීපතමයන් අහිමි කරගන්න එපා.
පොඩි කාලෙ ඉඳන් දරුවෙක් දකින්නෙ හැම වෙලේම රණ්ඩුවලට පැටලෙන, බැන අඬගහ ගන්න අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් කවදාවත් ඒ දරුවගේ හිතේ ඒ අම්මා/තාත්තා ගැන ගෞරවයක් භක්තියක් ඇති වෙන්නෙ නෑ. ඒ වගේම එහෙම පවුල් පසුබිමකින් ඒ දරුවට වෙන යහපතකුත් නෑ. තරහව ඔබේ ආදරණීයයන් ඔබෙන් ඈත් කරන බව හොඳට මතක තියාගන්න.


7)  කිව්ව වචන ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැක.
තරග ගිය ගමන් හිතට එන ඕනම දෙයක් වචන වලට පෙරලන අය ඊට පස්සෙ තමන් කියපු කරපු දේවල් ගැන අනේක වාරයක් පසුතැවෙන හැටි අපි දැකල තියෙනවා. ඒත් ඒ කිසි කෙනෙක්ට ඒ වචන ආපහු ගිල ගන්න බෑ. සමහරවිට ඔබ කියන්න උත්සහ කරපු දේ නොවෙන්න පුලුවන් කටින් පිට උනේ. කෝපය ඔබේ ඔලුව අවුල් කරපු මොහොතේ නොදැනුවත්වම වාගෙ කියවුන වචනයක් ඔබේ මුලු ජීවිතයම කඩා බිඳ දාන්න ඉඩ තියෙන බව මතක තියාගන්න.

8) අපිට බණ කියන්න මෙයා කවුද කියල හිතන්න එපා.
හි හී…. මේ පණ්ඩිත කතා කියන්න තරම් ලොකු කෙනෙක් නම් නෙවෙයි මම. ඒත් මේ සමාජයේ ජීවත් වෙද්දි අහන, දකින, අත්විඳින, දේවල් තමයි මේ සටහන ලියන්න හේතු උනේ. මේ පෝස්ට් එක කියවල තවත් කෙනෙක්ගෙ හිත රිදෙන දෙයක් කියන්න කලින් එක්කෙනෙක් හරි දෙපාරක් හිතුවොත් මට ඒක ලොකු දෙයක්.

ඉවසීම හැම ප්‍රශ්නයකටම, හැම අවස්ථාවකටම, සුදුසු නෑ….එහෙමත් නැත්තන් ප්‍රායෝගික නෑ කියල මම දන්නවා. ඒ ගැනත් ලිපියක් ලියන්න තරම් කරුණු මේක ලියද්දි හිතට ආවා. සමහර විට ඒ ගැනත් ඉස්සරහට හිත අද්දර ලියවේවි……

36 comments:

  1. කියපු ගොඩක් දෙවල් නම් ඇත්ත. තරහා යන අයටම ගොඩක් ඉවසිමේ හැකියාවත් තියෙනවලු. හරියට ආදරේයි වෛරයයි අතර කෙස් ගහක පරතරයක් තියෙනවලුනේ අන්න ඒ වගේම තරහායි ඉවසිමයි අතර තියෙන්නේත් කෙස් ගහක වෙනසක්. හ්ම්ම්. ;)

    අපිට ගොඩක් වේලාවට තරහා එන්නේ එක්කෝ අපිට අදාල පුද්ගලයගෙන් වැඩක් නැත්තන් සහ ඒ පුද්ගලයා අපි මොනා කිවුවත් කරත් දලා යන්නේ නැ කියන විශ්වාසය තියෙනවනම් තමයි. ^_^ අත්දැකිමෙන් කිවුවේ.

    ReplyDelete
    Replies
    1. අන්තිම් ඡේදේ කියල තියෙන ඒවට මාත් හොඳටම එකඟයි. මාත් අත්දැකීමෙන් කිව්වෙ :)

      Delete
  2. හහ්...අපිට බණ කියන්න මෙයා කවුද.... D

    හ්ම්ම්.. ටික කාලෙකට ඉස්සර නම් මාත් මල අතේ තියන් හිටපු එකෙක්. දැන් නම් බොහෝ දුරට ඉවසන්න පුළුවන්. ඒ වගේම කේන්තිය නිසා මට ගොඩක් දේවල් නැති වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. කලින්ම කිව්වනේ එහෙම කියන්න බෑ කියල [im]http://www.banglatorrents.com/images/smilies/btnew/galsaysno.gif [/im]

      අනවශ්‍ය කේන්තිය ගොඩක් දේවල් අපිට අහිමි කරනවා අයියේ...දැන් වෙනස් වෙලා නම් ඒකත් ලොකු දෙයක්නෙ :)

      Delete
  3. අපිට බණ කියන්න ඔයා කවුද ආ...ඔන්න මම නරක මිනිහා කියන්න එපා හරි....!

    කොහොම වුනත් චාම්ස් තරහා යාම කියන්නේ තමන්ගේ දුර්වල කම ප්‍රදර්ශනය කිරීමක්. එක නොතේරෙන අය හිතන්නේ එක වීරකමක් කියලා තමයි. ඒ වගේම සමහැර වෙලාවට සමහරු හිතනවා තරහ නොයාම දුර්වලකමක් කියලා ,ඒ වගේම සමහර අවස්ථා තියෙනවා තරහා යාම පාලනය කරගැනීම අසීරු අවස්ථා .කොහොමත් අවස්ථාවට වඩාත්ම උචිත වෙන විදිහට හැසිරීම තමයි කල යුත්තේ නේද?

    ReplyDelete
    Replies
    1. මෙයාලත් එක්ක බෑ මේ වැඩේ කරන්න. එපා කියපු එකමනෙ කියන්නෙ. ආයෙත් ගිහින් 8වෙනියට තියෙන එක කියවල එන්නකො [im] http://www.banglatorrents.com/images/smilies/btnew/read_bt_rules.gif [/im]

      අනිවාර්‍යයෙන්ම ඉවාන් වෙන්න ඕන ඒක තමයි. අනවශ්‍ය විදිහට ඉවසන එක වගේම අනවශ්‍ය විදිහට තරහ ගන්න එකත් මෝඩ වැඩක්. ඒ ඒ අවස්ථාවට ගැලපෙන විදිහට, කල්පනාවෙන් ඒ මොහොතට මූණදෙන එකයි වැදගත්

      Delete
  4. හැමදේම සරලව හිතන අයට තරහා යන එක අඩුයි..

    මම ටිකක් එහෙමයි.. ඒත් මට මල... පනිනවා...

    ReplyDelete
    Replies
    1. අලුත බැඳපු අය තරහ ගන්න හොඳ නෑ හරිද..දැන් ඉවසන්න පුරුදුවෙන්න වෙයි සෑමෝ [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_wink02.gif [/im]

      Delete
  5. කවද ඉදලද බණ කියන්න පටන් ගත්තේ. කෝම උනත් හොද තේරුම් ගැනීමක් ඔබ සතුයි චාම්ස්...

    ReplyDelete
    Replies
    1. මේ ළඟකදි ඉඳන් :D එහෙම කෙනෙක් වෙන්න පුලුවන් නම් සතුටුයි මට... :)

      Delete
  6. කෝ මගේ කොමෙන්ට් එක ..ඔන්න දැනන්ම් මටත් මල පනිනවා හරි

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ ඔය උඩින් තියෙන්නෙ තුන්වෙනියට...බනින්න එපා කියල දාන පෝස්ට් වලටත් බනිනකොට ඇඬෙනවනේ අප්පා :((

      Delete
  7. තරහව කියන දේ කොහොමත් අපේ හිතේ තියනවා. පටිඝය ප්‍රහාණය වෙන්නේ මට මතක හැටියට අරහත් ඵලයට පත් වුණාම. හැබැයි එහෙම කියලා ඒක පාලනය කරගන්න බැරි කමක් නෑ.
    මේ ඇත්ත කියන්න. කවුද අක්කාට බැන්නේ මෙච්චරටම.

    ReplyDelete
    Replies
    1. තරහ පාලනය කරගන්න ඕන කෙනෙකුට පුලුවන් උනත් සමහරුන්ට එහෙම කරන්න ඕන කමක් නෑ.
      කවුද බනින්නෙ නැත්තෙ කියල අහන්න මල්ලි :((

      Delete
  8. When I do this damn job, I don't have the luxury of getting angry. I simply can't afford it.

    ReplyDelete
    Replies
    1. Calm down Dude... In some of your posts you had mentioned about some mischievous students who are in your class and how you handle them. It made me think that you are a person with a lot of patience :)

      Delete
    2. Me? Patient? Uh huh! Well maybe relatively. But I do get pissed off. I can't afford to show it. Now I teach 2 new Hell classes and really in a sour mood. Tomorrow according to the time table I don't have to teach the worst of them, so I'm happy.

      Delete
    3. සාස්සි ඩෙනිමේ ගොඩ ගසා ඇත.. පේෂන්ට්.. රෙද්ද තමයි ඩුඩෙගේ.. හැක් හැක්..

      Delete
  9. තරහා ගිය වෙලාවට විතරක් නෙවේ, අපි නිකන් ඉන්න වෙලාවට උණත් කියන සමහර පොඩි දේවල් වලට අපේ ආදරණිය අයගේ හිත් රිදෙනවා

    ReplyDelete
  10. මරු මරු අපේ කෙන්ජයිත් මේක බලයි නේද? ඇයි හැමවෛලේම පුෂ්පය විතසිත වෙනවනේ හැක් හැක්.. ඒ වුණාට බොක්කේ පොර..

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා නම් මේ පැත්තෙ ඇවිත් නෑ නලින් අයියේ..ඒ නිසා මේක දකින එකක් නෑ සමහරවිට.. :-?

      Delete
  11. කියල තියන ඒව ඇත්ත. මටත් හිත ඇතුළෙන් තරහ යන වෙලාවල් තියනවා. ඒත් මම පිටට පෙන්නනව අඩු යි. ඒකෙන් තවකෙනෙකු ගෙ හිත රිදෙන්න පුළුවන් බව මම අද්දැකීමෙන් දන්නවා, මොකද මම මඳි නොකියන්න බැණුම් අහන කෙනෙක්...)))

    ReplyDelete
    Replies
    1. //මටත් හිත ඇතුළෙන් තරහ යන වෙලාවල් තියනවා. ඒත් මම පිටට පෙන්නනව අඩු යි. ඒකෙන් තවකෙනෙකු ගෙ හිත රිදෙන්න පුළුවන් බව මම අද්දැකීමෙන් දන්නවා, මොකද මම මඳි නොකියන්න බැණුම් අහන කෙනෙක්//

      මෙන්න මගේ බෝට්ටුවෙම ඉන්න තවත් කෙනෙක්.... දාන්න පහක් දිලිනියෝ d-)

      Delete
  12. මම ඉතින් ඇල්වතුරත් නිමලා බොන මනුස්සයා හන්දා කේන්ති යන්නෙම නෑ.. බොරුනම් අහන්න ඔය උඩින්ම කමෙන්ට් කරපු කෙනාගෙන්..

    කාටවත් කේන්නි නොයනවා කියන්න බෑ.. හැමෝටම කේන්ති යනවා.. ඒත් හැමදේටම කළබල වෙලා ඕනම දේකට කෑ ගහන්න කලින් කේන්ති ගන්නේ මොකටද කියන දේ පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න ඕන.. නැත්නම් බනින්න ගියාම බනින අය අදාල කාරණාව ඇරෙන්න වෙන ඒවත් අල්ලගෙන බනිනවනේ..

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඉතින් කොච්චර හොඳද [im]http://www.banglatorrents.com/images/smilies/btnew/thumbup.gif [/im]

      සමහරු බනින්න පටන් ගන්නෙ ඒක දේකට..අන්තිමට ඒ බැණුම ඉවරවෙන්නෙ වෙනමම කථාවකින්. එතකොට අන්තිමට නැති ප්‍රශ්ණෙකුත් දන්නෙම නැතුව නිර්මාණය වෙලා ඉවරයි..

      Delete
  13. පොස්ට් එක කියෙව්වහමයි තේරුනේ තරහ ගැනත් කොච්චර දේවල් තියෙනවද හිතන්න කියලා ... කොහොමහරි තරහ ගන්නේ නැතුව ඉවසන්න පුරුදු වෙන්නම්කෝ එහෙනම් ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ තුශානිටත් ටිකක් තරහ යනව වගේ නේද [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_gal_wink.gif [/im] දැන් ඉඳන් එහෙනම් ඉවසන්න පටන් ගන්නකෝ :)

      Delete
  14. අනේ අපිට නම් පෝඩ්ඩක් වත් කේන්ති යන්නෑ අප්පා ආසාවටවත්. හි… හි…

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි :) :) :)

      Delete
  15. මේක අනිවාර්‍යෙන්ම පෙන්නන්න ඕන එක්කෙනෙක් මං දන්නවා ;)

    ReplyDelete
  16. හැමෝටම නිතර කේන්ති යන ලෝකෙ කාටහරි කේන්ති න්ගෙන ඉන්න පුළුවන් නම් .. ඒක දක්ෂකමක්. බුදුරජාණන් වහන්සේත් තරහ එහෙමත් නැත්තම් ද්වේෂය අකුසල මූල තුනෙන් එකෙක් කියල දේශනා කළා නේ!

    ReplyDelete
  17. ලිපිය නම් හොඳයි!
    ඒත් තරහ යන එක නවත්වන්න බෑ.ඔය පියවර වලින් තරහ හංගන්න නම් පුලුවන්.
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... :-h
      තරහ හංගනවට වඩා කෝපය පාලනය කරගන්න එක වැදගත්. තරහව සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරන්න සාමාන්‍ය මනුස්සයෙකුට අමාරු උනත් ඒක පාලනය කරගන්න බැරි වෙන්න හේතුවක් නෑනෙ දුලා...

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)