Ads 468x60px

Saturday, March 07, 2015

දැන් ඉතින් මට කාලෙ හරිලු....

කැම්පස් එකෙන් ගිය දවසෙ ඉඳන්
කරන්න කියල හැමෝම කියපු
දැන්මම බෑ පස්සෙ බලමු
කියලා මං මග ඇරාපු
ඒ දේ කරගන්න ඔන්න

දැන් ඉතින් මට කාලෙ හරිලු

රස්සාවට ගිය දවසෙ ඉඳන්
දකින දකින කෙනා අහපු
ඕවා කල් ඇරලා බෑනෙ
කියමින් මට බණ කියාපු
මගෙ නිදහස නැති කරනා - ඒ දේ කරගන්න ඔන්න

දැන් ඉතින් මට කාලෙ හරිලු

ඔයා විතරයි ඔහොම ඉන්නෙ
ඔහොම ඉඳල හරියන්නැ
කියන එකක් මේ ළමයා - කවදාවත් අහන්නෙ නෑ
අම්මයි යාලුවො රොත්තයි - හැමදාමත් මට කියන්නෙ
මගේ ජීවිතේ වෙනස් වෙන්න

දැන් ඉතින් මට කාලෙ හරිලු

කල් ඇර ඇර ඉන්නෙ නැතුව
හොඳ තැනකුත් හොයාගන්න
හරි යනවද කියන එකත්
ලොකු අයගෙන් අහල ඉන්න
ඊට පස්සෙ නිදහස නැති - ලෝකයකට පය තියන්න
හැමෝම කියනා හැටියට

දැන් ඉතින් මට කාලෙ හරිලු

රස්සාවෙන් ඉහල යන්න
දැනුම තවත් වැඩි කරන්න
Msc එක පටන් ගන්න

දැන් ඉතින් මට කාලෙ හරිලු....


Sunday, March 01, 2015

Last published on May 27, 2014...ඒත්

ඔන්න එකමත් එක කාලෙක හිටියා චාම්ස් කියලා බ්ලොග් ලියන දැරිවියක්. මෙයාට බ්ලොග් දෙකක්ම තිබුන උනත් ඔය බ්ලොග් දෙකම අප්ඩේට් වෙන්නෙ නම් කාලෙකට සැරයක් තමයි. කොච්චර වැඩ තිබුනත් මාසෙකට දෙකකට සැරයක් හරි මෙයා බ්ලොග් එක පැත්තෙ ආවා.

ඔහොම කාලයක් යනකොට මෙයාගෙ රැකියාවෙ වැඩ වැඩි වෙද්දි බ්ලොග් පැත්තෙ යන එක ටික ටික නතර උනා. සමහර දවසට බ්ලොග් ලිව්වෙ නැතත් කියවන්න හරි බ්ලොගර් එක පැත්තෙ ආව ගිය චාම්ස් දැන් නම් එහෙමවත් බ්ලොග් ලෝකෙට එබිල බැලුවෙ නෑ. එත් තමන්ටම කියල බ්ලොග් දෙකක් තියෙනව කියල අමතක නොකරපු චාම්ස්, වැඩ ටිකක් අඩු උනාම ආයෙ බ්ලොග් ලියනව කියල හිතුවත්, වැඩ කියන්නෙ කවදාවත් ඉවර නොවෙන ක්‍රියාදාමයක් කියල තේරුම් ගන්නකොට පරක්කු වැඩියි.

කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. ඔය අතරෙ එක දවසක් හරියටම කිව්වොත් 2015 ජනවාරි 27 චාම්ස්ගෙ ඊ මේල් එකට ආපු ඊ මේල් එකක් චාම්ස්ව පුදුමයට පත් කලා. ඒ ඊ මේල් එකෙ මෙන්න මෙහෙම ලියවෙලා තිබ්බ.

මේක දැකපු චාම්ස් කල්පනා කලා තුශානිට එහෙනම් තමන්ව අමතක වෙලා නෑ නේද කියල. පුන්චියට හිතේ දළු දාගෙන ආපු සතුට තවත් වැඩි උනේ බ්ලොග් ලෝකෙ චාම්ස්ගෙ තවත් යාලුවෙක් උන දිනේශුත් මේ පෝස්ට් එකටම කමෙන්ට් කරල තියෙනව දැක්කම.  හැබැයි දිනේශ්ගෙ කමෙන්ට් එකේ තිබ්බ එක කතාවකට චාම්ස් ටිකක් කලබල උනා.

"කාලෙකින් ලියලා තියෙන්නෙ"

මේක දැකපු චාම්ස් ආයෙත් බ්ලොගර් එක පැත්තෙ ගියේ තමන් හීනෙන්වත් බ්ලොග් එක අප්ඩේට් කරල තියෙනවද බලන්න.
ම්හු එහෙමත් නෑ. 

කොහොමද මෙහෙම උනේ කියල කල්පනා කරපු චාම්ස් බ්ලොග් රෝලෙ පහලට ගියාම දැක්කා මීට දවස් තුනකට කලින් තමන්ගෙ බ්ලොග් එක අප්ඩේට් උන කතන්දරයක්. එත් ඒ ගැන වැඩිය හිතන්න උනේ නැත්තෙ එතකොටම චාම්ස් ළඟට ආපු චාම්ස්ගෙ ප්‍රධානියා භාරදුන්නු වැඩක් කරන්න උන නිසයි. ඔන්න ඉතින් ආපහු චාම්ස්ට අමතක වීමේ රෝගය හැදුනා. වෙලා තියෙන එක හොයන්න විතරක් නෙවේ තමන්ව අමතක නොකරපු යාලුවන්ට රිප්ලයි කරන්නත් එයාට බැරි උනා. (ඔයාල හිතන එක හරියටම හරි.චාම්ස් කියන්නෙ නරකම නරක ළමයෙක්. මාත් එකඟයි ඒ කතාවට )

ඔහොම අමතක වෙලා ගිය කතාව ආයෙත් චාම්ස්ට මතක් උනේ අද උදේ දැකපු තවත් ඊ මේල් එකකින්. බ්ලොග් ලෝකෙ චාම්ස්ගෙ තවත් හිතවතෙක් උන ගිමනුත් මෙන්න අර පෝස්ට් එකටම කමෙන්ට් කරල.



ඔන්න ඒ පාර තමයි චාම්ස් හිතුවෙ ආයෙත් පෝස්ට් එකක් ලියන්න. ඔය "තනිකම" කියන පෝස්ට් එක චාම්ස් ලියල තියෙන්නෙ 2013 ජූනි මාසෙ 28. ඊට පස්සෙ තව පෝස්ට් සෑහෙන්න ලියල තියෙද්දි එක පාරටම ආයෙත් මේක අප්ඩේට් උනේ කොහොමද කියන එක චාම්ස්ට නම් හිතාගන්න බෑ. සමහරවිට චාම්ස් නැති අතරෙ බ්ලොග් ලෝකෙ මෙහෙම දේවලුත් වෙලාද කියල නම් එයා දන්නෙ නෑ.


කොහොම හරි අදෘශ්‍යමාන බලවේගයකින් හරි චාම්ස් ගෙ බ්ලොග් එකේ මකුලු දැල් කඩලා දීපු එක ගැන නම් චාම්ස්ට සතුටුයි. ඔය ගැන කියල බ්ලොග් එකේ තවත් සටහනක් තියපු චාම්ස්, සෑහෙන්න කාලයක් බ්ලොග් ලිව්වෙ නැති උනත් තාමත් තමන්ව අමතක නොකරපු කීපදෙනෙක් ඉන්නව කියල හිතද්දි දැනෙන සතුටත් හිතේ තියාගෙනම ඒ අයට හදවතින්ම ස්තූතියි කියන ගමන්  බ්ලොගර් එකෙන් සයින් අවුට් උනාලු.

නිමි.

Tuesday, May 27, 2014

ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මම ආවා......

කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් එක පැත්තෙ ආවා...පහුගිය ටිකේ බ්ලොග් ලෝකේ හැමදාම වගේ ගිය සුපුරුදු සවාරිය යන්න බැරි උනේ බ්ලොග් ලියන ගොඩක් අයට හැදෙන රයිටර්ස් බ්ලොක් එක හැදිලා නෙවෙයි..ඊට වඩා දරුණු අසනීපයක් හැදුන නිසා.

ඇත්තටම පහුගිය ටිකේම හිටියෙ ලෙඩ ඇඳේ. අඩුම තරමින් ඇඳෙන් නැගිටින්නවත් පුලුවන්කමක් තිබ්බෙ නෑ. ඔය අතරේ ජීවිතේ ගැන මම හිතන විදිහ වෙනස් වෙන සිදුවීමක් උනා...

දවසක් රෑ බෙහෙත් බීල නිදාගෙන හිටියත් නින්ද නම් පැත්ත පලාතෙවත් ආවෙ නෑ. මට එහා පැත්තෙ අම්මත් නිදාගෙනයි හිටියෙ. කලින් ඇඟට දැනුන අමාරුව දෙගුන තෙගුන වෙලා දැනුනා. කොහොම හරි පැය ගානක් නිදා ගන්න ෆුල් ට්‍රයි කරලා යන්තම් ඇස් පියවුනා විතරයි.....

එක පාරටම මම ඇහැරුනේ හුස්ම ගන්න බැරුව. ඒ අත්දැකීම විස්තර කරන්න අමාරුයි. මුලින් මට දැනුනේ හරියට පපුව තදින් හිර කරනවා වගේ. ඒත් එක්ක කොයි තරම් හුස්ම ගන්න හැදුවත් පහසුවෙන් හුස්ම ඉහල පහල දාන්න පුලුවන් උනේ නෑ. ඒත් එක්කම අත් කකුල් සීතල උනා. ඊට පස්සෙ තමයි හොඳම හරිය. මට දැනුනේ ඔලුවෙ ලේ ඔක්කොම හිඳිලා යනවා වගේ. ඒක තවත් කෙනෙක්ට හරියටම පැහැදිලි කරන්න අමාරුයි..මං දන්න එකම දේ මීට කලින් කවදාවත්ම මට එහෙම දැනිලා නෑ කියල විතරයි.

ඒ වෙලාවෙ කථා කරගන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ. එහා පැත්තෙ හිටිය අම්මට තට්ටු කරල හරි කතා කරන්න හිතුනත් මං ඒ සිතුවිල්ල අයින් කරගත්තෙ හේතු කීපයක් නිසා.
මේ වෙලාවෙ අම්මට කතා කලොත් අම්ම කොයි තරම් බය වෙයිද?
මේ මහ රෑ ඉස්පිරිතාලෙටවත් යන්නෙ කොහොමද?
 
ඔය ප්‍රශ්නත් එක්ක තව දෙයක් එක ක්ෂණිකයෙන් හිතට ආවා. 

මීට මාස කීපෙකට කලින් මම මේ ජීවිතේ ගොඩක්ම ආදරේ කරපු, මට මුලු ලෝකෙම වෙලා හිටපු කෙනා හිතුවෙවත් නැති මොහොතක මට අහිමි උනා. මගේ බ්ලොග් එකත් එක්ක හිටපු අයට මේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඔහුගෙ අහිමිවීමත් එක්ක මේ ජීවිතේ ගැන මට පුදුමාකාර විදිහට කලකිරීමක් ඇති උනා. මගේ ජීවිතේ හැම දවසක්ම උදා උනෙත් නිමා උනෙත් ඔහුගෙ ආදරයත් එක්ක. ඉතින් ඔහු නැතුව ගෙවෙන හැම දවසක්ම මං ගෙව්වෙ හරිම අමාරුවෙන්. හැමදාම රෑට ඔහුගෙ පින්තූරෙ ළඟට ගිහින් මම ප්‍රාර්ථනා කලේ ආයෙත් ඔහු ළඟට යන්න ඇත්තම් කියල....

ඉතින් අර වෙලාවෙ මට ඇත්තටම  දැනුනේ ඒ දේ සිද්ධ වෙන්න යනව කියල. එක අතකින් ඒක හිතට සහනයක් දැනුනත් ඒත් එක්කම තවත් සිතුවිල්ලක් හිතට ආව..මං නැති උනොත් අම්මට කවුද ඉන්නෙ…. අම්මව බලාගන්නෙ කවුද? ඔය අදහසත් එක්ක හිතට දැනුනෙ මට ජීවත් වෙන්න සිද්ධ වෙනවා වගේ හැඟීමක්. ඊට පස්සෙ තමයි අම්මව ඇහැරවන්න ඕන කියල හිතුනේ.

එතනින් එහාට උන දේවල් කියන්න ඕන නැහැනෙ...

ඔය සිද්ධිය මගේ ජීවිතේ වෙනසක් කලා. ඒ වෙලාවෙ හුස්ම ගන්න බැරුව, මුලු ඇඟම පණ නැති වෙලා යද්දි ජීවිතේ මට දෙයක් කියල දුන්න. ඊට පස්සෙ තවත් දවස් ගානක් ඇඳට වෙලා ඉන්දැද්දි මං හිතුවෙ ඒ ගැන. අදටත් ඒ මොහොතෙ මට දැනුනු හැඟීම මම තේරුම් ගන්න උත්සහ කරනවා......

පලි: ආයෙත් වැඩට ආවම තමයි අපරාදෙ එදා ඒ වෙලාවෙ අම්මට කතා කලේ කියල හිතුනෙ. ඇයි දැන් ඉතින් සති ගානක වැඩ තියෙනවනෙ කවර් කරන්න. ආපහු වැඩට ඇවිත් දැන් සෑහෙන දවසක් උනත් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනේ ඒ නිසා. මේ වැඩ කන්දට යට උනොත් මේ සැරේ නම් ඇත්තටම මාව මැරෙයි වගේ :(  කොහොම උනත් අසනීප කාලෙ වැඩ කරන තැන කට්ටියගෙන් ලැබුනු සහයෝගය නම් හරිම වටිනවා….

ඉතින්....  මිනිස් ලෝකෙ වගේම බ්ලොග් ලෝකෙත් සැරිසරන්න ඔන්න මම ආයෙත් ආවා :)



Thursday, April 24, 2014

නොදැවී පනහයි | 50 Not Out




 
http://birthday-t-shirts.spreadshirt.co.uk/
කාලයක් මට සැරටම ක්‍රිකට් උණ තිබිලා ඒක හොඳ උන හැටි ගැන පෝස්ට් එකක් ලිව්වට මේ ලියන්න යන්නේ ක්‍රිකට් ගැන නම් නෙවෙයි. හැබැයි ක්‍රිකට් වලට ආදේශ කරලා මේ කථාව කියන්න හිතුනා.

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවෝ ගත්තම එක එක විදිහේ අය ඉන්නවනෙ. සමහරු ක්‍රීඩා කරන්න ආපු ගමන් දර්ශණීය හයේ හතරේ පහරවල් ගහලා ප්‍රේක්ශකයින් අමන්දානන්දයට පත් කරනවා..හැබැයි වැඩි වෙලාවක් ක්‍රීඩා පිටියේ රැඳෙන්නෙ නෑ.

තවත් අය ඉන්නවා මුල ඉඳන්ම බොහොම අපූරුවට ක්‍රීඩා කරන ගමන් නොදැවී දිගටම තරඟයේ රැදෙන.

ඔය අතරේ හයේ හතරේ පහරවල් ගහන්නෙම නැති ඉඳල හිටල ලකුණක් දෙකක් ගහන අයත් නැත්තෙම නෑ.

බ්ලොග් ලෝකෙ ඉන්න අපිත් ඒ වගේ කියල වෙලාවකට හිතෙනවා. සමහරු ඉන්නවා මුල් කාලේ ඉතාම හොඳ පෝස්ට් එක පිට එක දාලා ඒත් මොකක්දෝ හේතුවකට ලියන එක එකපාරම නවත්තල දාන අය. ඇත්තටම මම අදටත් සමහරුන්ගෙ පරණ පෝස්ට් කියවල හිතන්නෙ ඇයි මෙයාල ලියන එක නැවැත්තුවෙ කියල..ඒ තරම් ඒ ලිපි කියවන්න ආසා හිතෙනවා.

ඒ වගේම තවත් සමහරු ඉන්නවා ලියන්න ගත්ත මුල් කාලේ ඉදන් දිගටම බොහොම සිත් ඇදගන්නාසුලු ලිපි ලියල මේ බ්ලොග් ලෝකෙ හොඳ නමක් දිනාගෙන ඉන්න අය.

ඊළඟට ඉන්නවා මං වගේ අය.. ඒ කිව්වෙ ක්‍රිකට් වල නම් අර තුන් වෙනි කැටගරියට වැටෙන අය.

meadedesigngroup.blogspot.com
වත්ත වටේ ලොකු රවුමක් ගිහින් දැන් එමුකො කියන්න හදපු කාරණාවට. මං මුලින්ම බ්ලොග් ලියන්න ආවෙ 2011 දෙසැම්බර් මාසෙ. එච්චර කාලෙකට කලින් ආපු මම මේ ලියන්නෙ මගේ 50වෙනි පෝස්ට් එක. ඒත් එක්කම පටන් ගත්ත ඉංග්‍රීසි බ්ලොග් එකට නම් යන්නත් බයයි මට. ඒකෙ බැඳිලා තියෙන කුණු දූවිලි අයින් කරන්නම සෑහෙන කාලයක් යයි මට. :(





ඇයි මං බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ?

කෙටියෙන්ම කිව්වොත් ලිවීම කියන දේට මගේ තිබ්බ ආසාවට. ඒ වගේම කාලයක් තිස්සෙ තැන තැන කුරුටු ගාපු සිතිවිලි ටික එක තැනකට ගේන්න තිබුනු ඕනෙකම. මගෙ කැම්පස් යාලුවෙක් උන නදීරගෙන් මුලින්ම බ්ලොග් කියල දෙයක් තියෙනවා කියල දැනගත්ත ගමන් ඒකට ඇති වුන ආසාව නිසාම මාත් බ්ලොග් එකක් පටන් ගත්තා.

මුලින්ම මම ලියපු පෝස්ට් කියෙව්වෙ මායි මගේ යාලුවයි විතරයි. ඊට පස්සෙ කීප දෙනෙක් මගේ බ්ලොග් එකට යන්න එන්න ගත්තා. මුලින් කවි විතරක් දානවා කියල පටන් ගත්තට පස්සෙ මට හිතුනා බ්ලොග් එකකින් ඊට වඩා දෙයක් කරන්න පුලුවන් නේද කියල..ඉතින් බ්ලොග් එක ඇතුලෙ විවිධත්වයක් ඇති කරන්න මං උත්සහ කලා.

ලියන්න කොච්චර ආසාව තිබ්බත් වෙලාව කියන එක හැම වෙලාවෙම මගේ හරහට හිටියා. ඒත් කවදාවත් බ්ලොග් එක අතඇරලා දාන්න මට හිතුනේ නෑ. ඉඳල හිටල හරි පුංචි දෙයක් හරි ලියලා යන්න මං බ්ලොග් එකට ආවා. ඒ වගේම බ්ලොග් කියවන එක වගේම ඒවට අදහසක් එකතු කරන එකත් පුලුවන් විදිහට කරගෙන ගියා. ඇත්තටම බ්ලොගින් කියන්නෙ හොඳ විනෝදාංශයක් කියල මට තේරුනා..මං ජීවිතේ ආසාවෙන් කරපු දේවල් අතරට බ්ලොගින්ග් කියන එකත් එකතු උනා...

ආසාවක් තියෙනවා නම් ඕනම දෙයක් මොන බාධකයක් එක්ක උනත් කරන්න පුලුවන් කියන එක මම හොඳින්ම තේරුම් ගත්තෙ මගේ බ්ලොග් එක හරහා. කලින් කිව්වා වගෙ කාලය මොනතරම් හරස් උනත් පුලුවන් හැම වෙලාවෙම මාව බ්ලොග් එකට ඇදිලා ආවෙ ඒ නිසා වෙන්න ඇති. 

සමහරු කියනවනෙ හිට්ස් කමෙන්ට්ස් බ්ලොග් එකේ පවැත්මට අතිශයින්ම වැදගත් කියලා. මං නෑ කියලම කියන්නෙ නෑ. ඒවගෙන් ලියන කෙනාට ලොකු ශක්තියක් ලැබෙනවා..ලියන්න තව අලුත් අදහස් එකතු වෙනවා..
මගේ බ්ලොග් එක ගත්තොත් පෝස්ට් එකකට සාමාන්‍යයෙන් එන්නෙ කීපදෙනයි..කමෙන්ට් කරන්නෙ සාමාන්‍යයෙන් 10-12 විතර. ඒකට ගොඩක් හේතු ඇති..මම ලියන මාතෘකා, මං ලියන ශෛලිය, මම දාන කමෙන්ට්ස්, මේ වගේ හේතු ගොඩක් ඇති.. හැබැයි එහෙමයි කියල ඒ හේතු වෙනස් කරගන්න මං කවදාවත් උත්සහ කලේ නෑ. මොකද මේ මම. මං ලියන හැම දෙයක්ම මගේ අත්දකීම් නොවුනට ඒ ලියන දේවල් ඇතුලෙ චාම්ස් කියන කෙනාගෙ චරිත ලක්ශන ටිකක් හරි තියෙනවා. මගේ බ්ලොග් එක මම නොවන කෙනෙක් වෙලා ලියන්න මට උවමනා නෑ. මම මමම වෙලා ලියන දේවල් කියවන්න එන එක්කෙනෙක් හරි ඉන්නව නම් මට ඒක සතුටක්.   

ලියන්න තියෙන මේ ආසාව තියෙනකම් හිත අද්දර මොන මොනවා හරි ලියවේවී….ඉතින් එහෙම මම ලියපු පෝස්ට් හතලිස් නමය කියවන්න එක සැරයක් හරි හිත අද්දරට ගොඩ වැදුනු හැමෝටම බොහොමත්ම ස්තූතියි!!!!!
 
www.gotheextramile.com.au

Monday, March 31, 2014

මොනවද මංදා



පහුගිය ටිකේ පොත් පෙට්ටියක් අදිද්දි මතු උන කවි කෑලි පුලුපුලුවන් වෙලාවට බ්ලොග් එකේ දැම්මා.. ඉතුරු උන ඒවා දිහා බලද්දි ඒවට මොනවා කරන්නද, මොනවා කියන්නද කියලා කොච්චර හිතුවත් හිතාගන්න බැරි උනා. හිතන එක උනත් ඕනවට වඩා කරන්න හොඳ නැති නිසා වැඩිය හිතන්නෙ නැතුව මොනවද මංදා කියන ටයිටල් එකෙන් කවි කියන ලේබල් එක යටතේ ටයිප් කරල පබ්ලිශ් කළා ඕං...

අම්මා
ජීවිත තරඟය ජය ගන්නට ශක්තිය සැපයූ
බාධක ජය ගන්න ධෛර්‍යය සැපයූ
නොසැලී සිටින්නට පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය ඔබය...

********************************************************************************************************************
අමරණීය පෙම
කවදාවත් මැරෙන්නෙ නෑ කියපු
අපේ නොමියෙන ප්‍රේමය
මැරිලා.

 *******************************************************************************************************************
කම්පාව
ලොව ඇති බිහිසුණුම කම්පාව
භූමිකම්පාව නොව ආත්මානුකම්පාවයි
මන්ද යත් භූමිකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ මහ පොළව වුවද
ආත්මානුකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ ජීවිතයම වන නිසාවෙන්

 *******************************************************************************************************************
  දුක ++
කඳුලු පිසින්නට ලේන්සුවක් සෙවූ මට
ලස්සනට අසුරා ඔබ,
ග්ලිසරින් බෝතලයක් දුන් අපූරුව...

 *******************************************************************************************************************
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ..
මාත් හිටියා ඔබත් එක්ක
මුලු ගමන පුරාවට
එවෙලේ උවමනවක් තිබුනෙ නෑ ඔබට
අයින් කරලා දාන්න මාව..
ඒත් ගමනාන්තයට ඇවිත් ගෙට ගොඩ වෙන්න හදද්දිම
ගසා දැමුවෙ මාව,
මම වැලි කැටයක් නිසාද????
 *******************************************************************************************************************

(නිදි) මතට තිත

එලාම් එකේ අමිහිරි හඬ        ඇහෙන කොට
කැමති උනත් සිත්සේ තව             නිදන්නට
එහෙම බෑනෙ ලෙක්චර් එක         ඇත අටට
එනිසා තැබිය යුතුවේ තිත             නිදි මතට



Sunday, March 23, 2014

මගේ ආදර කථාව...

මම ශානි. මේ තමයි මගේ ආදර කථාව....

මම දැන් කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්නෙ...අපි කැම්පස් ආපු මුල් දවස් වල හිතේ තිබ්බ බය දැන් නම් නෑ.දැන් අපි මේ ජීවිතේට හුරු වෙලා

සමිත කියන්නෙ අපේ පැරලල් බැච් එකක ඉන්න පිරිමි ළමයෙක්...කැම්පස් එකේ කොල්ලො ඕනතරම් ඉන්දැද්දි ඇයි මෙයා ගැනම කියන්නෙ කියලද හිතුවෙ? ඒකටත් හේතුවක් තියෙනවා. මෙයා තමයි කැම්පස්
එකේ මම දැකපු හැන්ඩ්සම්ම පිරිමි ළමයා. ඇත්තම කිව්වොත් මම විතරක් නෙවෙයි අපේ බැච් එකේ හැම ගැණු ළමයෙක්ම සමිත ගැන පිස්සුවෙන් හිටියේ.
හැබැයි ඒකටත් එක්ක සමිත..එයාට  කෙල්ලො අරහං. කොල්ලෝ එක්ක ෆිට් එකේ හිටියට ගැණු ළමයි එක්ක වැඩි ඇයි හොඳැයියක් තියා ගත්තෙම නෑ. ඔව් ඇත්තටම එයා ටිකක් ආඩම්බරයි තමයි...ඒත් ඒ තරම් ලස්සන කොල්ලෙකුට ආඩම්බර වෙන්න අයිතියක් තියෙනවා කියලයි මට හිතුනෙ.

දවස් කීයක් නම් මම එයාට ගුඩ් මෝර්නින් කියල තියෙනවද..ඒ වෙලාවට යන්තම් ඔලුව උස්සල ගුඩ් මෝර්නින් කියනව මිසක් ඊට එහා වචනයක් වත් කියන්නෙ නෑනෙ. මම විතරක් නෙවෙයි ඕක සමිත් එක්ක කතා කරන්න හදපු ඕනම කෙල්ලෙක් අත්වින්ඳ දෙයක්...

ඉතින් එහෙව් සමිත දවසක් කැන්ටිමේදි මාව දැකලා..

"ලෙක්චර්ස් ඉවරද" කියල ඇහුවම හිතට ආපු පුදුමේ හිතා ගන්න පුලුවන්නෙ

"ආ...ඔ ඔව්"
හැබැයි එතනින් එහාට කතාව ඉවරයි..ඒත් එක්කම එයා හිනා වෙලා යන්න ගියා

"ආ...ව් එක්කෙනෙක්ගෙ මූණෙ හඳක් පායලා"

ඒ සමාධි..මගේ හොඳම යාලුවා. මම වගේ නෙවෙයි වැඩි කතා බහක් නැති නිවිච්ච ළමයෙක්. පිරිමි ළමයි එක්ක නම් කතා කරන්නෙම නැති තරම්. හැබැයි යාලුවෙක් විදිහට සමාධිට වඩා හොඳ යාලුවෙක් හොයන්න නම් කැම්පස් එකේ කොයිතරම් හෙව්වත් බැරි වෙයි.

"කෑ නොගහ යමන්"
ඒ ගමන ඔන්න සමා හිනා වෙවී බිම බලාගෙන මාත් එක්ක ආවා.

"එදා තරම් මගේ හිතේ රැඳුනේ නෑ තව දවසක්...."
**********************************************************************************************************************
ඔය සිද්ධියෙන් දවස් දෙකකට පස්සෙ මට ආයෙත් සමිතව මුන ගැහුනා. ඒ අපේ ෆැකල්ටියටම තියෙන ලෙක්චර් එකක් වෙලාවෙ. හෝල් එකේ ඕන තරම් පුටු තියෙද්දි මායි සමාධියි වාඩිවෙලා හිටිය පේළියේ මට එහා පැත්තෙ තිබ්බ පුටුවටම ඇවිත් එයා වාඩි වෙද්දි අපෙ අනිත් ගැණු ළමයි ටික මං දිහා බලලා හිනා උන හැටි දැනුත් මට මැවිලා පේනවා.

පාලිත සර් ලෙක්චර් එක කරන්නෙ අද ගමට යන්න තියෙන අන්තිම කෝච්චිය අල්ලගන්න යන්න කලබලේද මංදා. නෝට් එක ලියන්න ලෑස්තිවෙද්දිම සර් කියන්න ඕන ටික කියලත් ඉවරයි..

"ඔයාට ඒ ටික ලියා ගන්න බැරි උනා නේද..ආ පොත"

මෙහෙම කිව්වෙ මට වම් පැත්තෙන් හිටිය සමා නෙවෙයි..එහෙනම් කවුද කියල හිතාගත්තැකිනෙ ;)

ඊට පස්සෙ මායි සමිතයි යාලුවෝ උනා...කොහේදි හරි දැක්කොත් සමිත ළඟට ඇවිත් පොඩ්ඩක් කථා කරන්න අමතක කලේ නෑ. ඒකෙන් මේකෙන් හවසට හොස්ටල් එකට ගියාම යාලුවොන්ගෙන් කනක් ඇහිලා ඉන්න උනේ නැත්තෙ මට තමයි...

යෙහෙළියන්ගෙ ඉඟි දිනෙක සැබෑවී ඔබගේ කුලගෙයි පතිනිය වන්නට....
*********************************************************************************************************************
අදයි අපේ පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එක ඉවර උනේ..හප්පෙ දැනෙන සැහැල්ලුව

මායි සාධියි එක්සෑම් ඉවර උන ගමන් කැන්ටිමට ගියේ ගෙදර යන්න කළින් මොනවා හරි කන්න හිතාගෙන

මෙන්න සමිත එතන...

"ඒයි අන්න සමිත මේ පැත්ත බලනවා"

"මේ අපි දැක්කෙ නෑ වගේ  මේ කෑම ටික කමු"

"ඒ ශානි එයා මේ පැත්තට එනවා..අර එයාගෙ යාලුවො ටිකත් මේ පැත්ත බලන් ඉන්නවා"

වෙලාවකට මේ සමා පොඩි ළමයෙක් වගේ...ඒ පාර කැන්ටිමේ වෙන දේවල් ගැන එයා මට බෝල් ටු බෝල් කමෙන්ට්‍රියක් දෙනවා

"මේ මගෙන් මොකුත් අහගන්නෙ නැතුව බිම බලාගෙන කනවද?"

"ශානි"

"ආ සමිත..ළඟට එනකන්ම දැක්කෙ නෑනෙ"

"මේ ඔයාලට එක්සෑම් ඉවරයි නේද අදින්?"

"ඔව්..තව ටිකකින් ගෙදර යනවා"

"හ්ම්...ශානි මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා"

"අ..මොකක්ද සමිත?"

"මට ඔයත් එක්ක ටිකක් තනියෙම කතා කරන්න පුලුවන්ද?"

"මේ ශානි මට ඇඳුම් බෑග් එක ලෑස්ති කරගන්නත් තියෙනවනෙ..මම හොස්ටල් යන්නම්."

කකා හිටිය වඩේ කෑල්ල එක පාර කටට දාගෙන ප්ලේන් ටී එකෙන් උගුරු දෙක තුනක් බීපු සමාධි එතනින් ඉගිල්ලෙන්න කලින් මං දිහාට හැරිලා ඇහැක් ගහපු එක සමිත දැක්කෙ නෑ මං හිතන්නෙ.

"මොකක්ද සමිත කියන්න තියෙන්නෙ?"

"මේ මං දැන් ටික කාලෙක ඉඳන් මේක කියන්න ඉන්නෙ..ඒත් ඒකට හරියන වෙලාවක් ආවෙ නෑ. මට හිතුන අද තමයි හොඳම දවස කියල.."

මෙයත් තෙපරබබා ඉන්නව මිසක් කියන්නෙ නෑනෙ කෙළින්..ඒ ලෙවල් රිසල්ට්ස් ආපු දවසෙ පේජ් එක ලෝඩ් වෙනකන් කම්පියුටරේ දිහා බලන් ඉන්දැද්දිවත් මේ තරම හයියෙන් පපුව ගැහිනේ නෑ.

"ඉතින් මොකක්ද කියන්න කෝ...."

"මේකයි...ඔයා දැන් මාව දන්නවනේ..දැන් ඔයා මගෙ ළඟ යාලුවෙක් නෙ.."

ආයිත් අහලා...  එහෙම හිතුනත් මම කිව්වෙ නෑ

"ඔයාගෙ යාලුවා සමාධි..මගේ හිතේ එයා ගැන අදහසක් තියෙනවා ශානි. එයා වැඩිය කතා බහ කරන කෙනෙක් නෙවෙයිනෙ. එයා ඔහොම හරි කතා කරන්නෙ ඔයත් එක්ක විතරයි. ඒකයි මං හිතුවෙ ඔයා හරහා එයාට මේක කියවන්න. අනේ හොඳ ශානි වගේ එයාට මං ගැන කියල මගේ අදහසත් කියනවද? ඔයා මට එයාගෙ කැමැත්ත අරන් දුන්නොත් මං ජීවිතේට ඒ උදව්ව අමතක කරන්නෙ නෑ..

මට මේ වැඩේ කරල දෙනව නේද ශානි, ප්ලීස්........"

Sunday, March 16, 2014

මට යන්න අවසරයි....

ඔබ දුටු දින සිට ඔබ ගැන සිතුවද
ඔබෙ ලොවෙ මට ඉඩ නැති හිංදා...
ඔබට උරුම ලොව ඔබට ලැබෙන්නට
පතනෙමි ඔබගෙන් නික්මෙන දා

ඔබේ ඇසුරේ සිටි...ඒ කෙටි කාලෙදි
සුන්දර හැඟුමන් සිත වින්දා
ඔබෙන් වෙන්ව දිවි ගෙවන්නෙ කෙලෙසද
සිතනෙමි කඳුලක් නෙත රන්දා

ඔබ දිවි ගමනට අත්වල වෙන්නට
දන්නෙමි මාහට නොහැක කියා..
ඔබට උරුම ඇය..මතුයම් දවසක
හමුවනු ඇති බව දනිමි මෙමා

කවදාවත්ම ඔබ පතනා ඒ...
යුවතිය වන්නට නොහැකි නිසා
සමුගෙන යන්නෙමි ඔබේ ලෝකයෙන්
යළි කිසිදින හමු නොවන නියා........

මේ සෙලීන් ඩියොන් ගායනා කරන I love you good bye කියන ගීතයේ අසංෂිප්ත පරිවර්තනය නොවුනත්, ඒ සිංදුව අහද්දි මගේ හිතට ආපු අදහස ඔන්න ඔහෙ කවියක් කරලා ලියල දාන්න හිතුනා