ඔන්න එකමත් එක කාලෙක හිටියා චාම්ස් කියලා බ්ලොග් ලියන දැරිවියක්. මෙයාට බ්ලොග් දෙකක්ම තිබුන උනත් ඔය බ්ලොග් දෙකම අප්ඩේට් වෙන්නෙ නම් කාලෙකට සැරයක් තමයි. කොච්චර වැඩ තිබුනත් මාසෙකට දෙකකට සැරයක් හරි මෙයා බ්ලොග් එක පැත්තෙ ආවා.
ඔහොම කාලයක් යනකොට මෙයාගෙ රැකියාවෙ වැඩ වැඩි වෙද්දි බ්ලොග් පැත්තෙ යන එක ටික ටික නතර උනා. සමහර දවසට බ්ලොග් ලිව්වෙ නැතත් කියවන්න හරි බ්ලොගර් එක පැත්තෙ ආව ගිය චාම්ස් දැන් නම් එහෙමවත් බ්ලොග් ලෝකෙට එබිල බැලුවෙ නෑ. එත් තමන්ටම කියල බ්ලොග් දෙකක් තියෙනව කියල අමතක නොකරපු චාම්ස්, වැඩ ටිකක් අඩු උනාම ආයෙ බ්ලොග් ලියනව කියල හිතුවත්, වැඩ කියන්නෙ කවදාවත් ඉවර නොවෙන ක්රියාදාමයක් කියල තේරුම් ගන්නකොට පරක්කු වැඩියි.
කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. ඔය අතරෙ එක දවසක් හරියටම කිව්වොත් 2015 ජනවාරි 27 චාම්ස්ගෙ ඊ මේල් එකට ආපු ඊ මේල් එකක් චාම්ස්ව පුදුමයට පත් කලා. ඒ ඊ මේල් එකෙ මෙන්න මෙහෙම ලියවෙලා තිබ්බ.
මේක දැකපු චාම්ස් කල්පනා කලා තුශානිට එහෙනම් තමන්ව අමතක වෙලා නෑ නේද කියල. පුන්චියට හිතේ දළු දාගෙන ආපු සතුට තවත් වැඩි උනේ බ්ලොග් ලෝකෙ චාම්ස්ගෙ තවත් යාලුවෙක් උන දිනේශුත් මේ පෝස්ට් එකටම කමෙන්ට් කරල තියෙනව දැක්කම. හැබැයි දිනේශ්ගෙ කමෙන්ට් එකේ තිබ්බ එක කතාවකට චාම්ස් ටිකක් කලබල උනා.
"කාලෙකින් ලියලා තියෙන්නෙ"
මේක දැකපු චාම්ස් ආයෙත් බ්ලොගර් එක පැත්තෙ ගියේ තමන් හීනෙන්වත් බ්ලොග් එක අප්ඩේට් කරල තියෙනවද බලන්න.
ම්හු එහෙමත් නෑ.
කොහොමද මෙහෙම උනේ කියල කල්පනා කරපු චාම්ස් බ්ලොග් රෝලෙ පහලට ගියාම දැක්කා මීට දවස් තුනකට කලින් තමන්ගෙ බ්ලොග් එක අප්ඩේට් උන කතන්දරයක්. එත් ඒ ගැන වැඩිය හිතන්න උනේ නැත්තෙ එතකොටම චාම්ස් ළඟට ආපු චාම්ස්ගෙ ප්රධානියා භාරදුන්නු වැඩක් කරන්න උන නිසයි. ඔන්න ඉතින් ආපහු චාම්ස්ට අමතක වීමේ රෝගය හැදුනා. වෙලා තියෙන එක හොයන්න විතරක් නෙවේ තමන්ව අමතක නොකරපු යාලුවන්ට රිප්ලයි කරන්නත් එයාට බැරි උනා. (ඔයාල හිතන එක හරියටම හරි.චාම්ස් කියන්නෙ නරකම නරක ළමයෙක්. මාත් එකඟයි ඒ කතාවට )
ඔහොම අමතක වෙලා ගිය කතාව ආයෙත් චාම්ස්ට මතක් උනේ අද උදේ දැකපු තවත් ඊ මේල් එකකින්. බ්ලොග් ලෝකෙ චාම්ස්ගෙ තවත් හිතවතෙක් උන ගිමනුත් මෙන්න අර පෝස්ට් එකටම කමෙන්ට් කරල.
ඔන්න ඒ පාර තමයි චාම්ස් හිතුවෙ ආයෙත් පෝස්ට් එකක් ලියන්න. ඔය "තනිකම" කියන පෝස්ට් එක චාම්ස් ලියල තියෙන්නෙ 2013 ජූනි මාසෙ 28. ඊට පස්සෙ තව පෝස්ට් සෑහෙන්න ලියල තියෙද්දි එක පාරටම ආයෙත් මේක අප්ඩේට් උනේ කොහොමද කියන එක චාම්ස්ට නම් හිතාගන්න බෑ. සමහරවිට චාම්ස් නැති අතරෙ බ්ලොග් ලෝකෙ මෙහෙම දේවලුත් වෙලාද කියල නම් එයා දන්නෙ නෑ.
කොහොම හරි අදෘශ්යමාන බලවේගයකින් හරි චාම්ස් ගෙ බ්ලොග් එකේ මකුලු දැල් කඩලා දීපු එක ගැන නම් චාම්ස්ට සතුටුයි. ඔය ගැන කියල බ්ලොග් එකේ තවත් සටහනක් තියපු චාම්ස්, සෑහෙන්න කාලයක් බ්ලොග් ලිව්වෙ නැති උනත් තාමත් තමන්ව අමතක නොකරපු කීපදෙනෙක් ඉන්නව කියල හිතද්දි දැනෙන සතුටත් හිතේ තියාගෙනම ඒ අයට හදවතින්ම ස්තූතියි කියන ගමන් බ්ලොගර් එකෙන් සයින් අවුට් උනාලු.
නිමි.