Ads 468x60px

Saturday, December 29, 2012

2013....???

2012 අවුරුද්ද පටන් ගනිද්දි මම ලියපු පෝස්ට් එකේ මං කිව්වා 2012 මගේ ජීවිතේ අභියෝගාත්මක අවුරුද්දක් කියල. ඒත් එදා මං හිතුවෙවත් නැති තරමටම අන්තිමේදි 2012 මට අහියෝගාත්මක අවුරුද්දක් උනා. 2012 අවුරුද්දෙ මැද හරියෙදි කැම්පස් ජීවිතේට සමුදීල, ට්‍රේනින් එකත් ඉවරකරල දැන් මං නිදහස් කියල හිතුව විතරයි...නොහිතපු විදිහේ ප්‍රශ්න, කරදර ගොඩකට මූන දෙන්න මටත් මගේ පවුලෙ අයටත් සිද්ධ උනා. තාමත් ඒ දේවල් එක්කයි ජීවිතේ ගෙවෙන්නෙ.

2012 මට කියල දුන්න ලොකුම පාඩම තමයි ජීවිතේ කියන්නෙ මහ ලොකුවට ප්ලෑන් කරල ගෙවන්න පුලුවන් එකක් නෙවෙයි කියන එක. කොයිතරම් සතුටින් හිනා වෙලා හිටියත් අපි නොහිතන විදිහකට හැමදේම වෙනස් වෙන්න පුලුවන්. අපි මහන්සි වෙලා ගොඩනගපු දේවල්, අපේ හීන, අපිටම අයිති නැති තත්වයකට පත්වෙන්න පුලුවන්.

2013ට මං මූණදෙන්නෙ ඇත්තටම ගත්තොත් ජීවිතේ කිසිම ලොකු බලාපොරොත්තුවක් නැතුව. ඒ විදිහට පටන් ගන්න, මට මතක තියෙන විදිහට, මගේ ජීවිතේ පළවෙනි අවුරුද්ද තමයි මේ. එක අතකින් ජීවිතේ ජීවත් කරනව කියන "බලාපොරොත්තු" මොකුත් නැතුව අලුත් අවුරුද්දකට පියනගනව කියන එක ටිකක් අමුතු හැඟීමක්. ගොඩක් අය ඔයාගෙ හැම බලාපොරොතුවක්ම ඉටු වෙන්න කියල අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කරද්දි හිතට නිකන් මහ මොකක්දත් වගේ.  ඉටු වෙන්නත් බලාපොරොත්තු තියෙන්න එපැයි කියල හිතෙනව ඒ වෙලාවට.  අනිත් අතට බලාපොරොත්තු පොදි බැඳල අන්තිමේදි ඒව ඉටු නොවුනම දැනෙන දුක, එහෙම හීන නැතුව ඉන්න කොට දැනෙන්නෙ නෑනෙ කියල හිතද්දි හිතට පොඩි සැහැල්ලුවකුත් දැනෙනව.

ඔන්න ඉතින් මං 2013 පිළිගන්නෙ බොහොම සැහැල්ලු හිතකින්. ලොකු තියා පොඩිවත් බලාපොරොත්තු මොනවත්ම නැතුව,  ජීවිතය ගැන මහා පරිමාණ සැලසුමුත් නැතුව, එන විදිහකට මූනදෙනව කියන අදහසින් තමයි මං මේ අවුරුද්ද පිළිගන්නෙ.

හැබැයි එහෙමයි කියල මගෙ යාලුවො හැමෝටම අලුත් අවුරුද්දට සුභ පතන්න මං අමතක කරන්නෙ නෑ.

ඉතින් ලබන්නාවූ 2013 ඔයාල හැමෝටම නිදුක් නිරෝගී, සෞභාග්‍යමත්, වාසනාවන්ත, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.    :)))

 

        

Thursday, December 13, 2012

මානසිකව වැටුන කෙනෙක්ගෙ හිත හදන්න ඔබත් කැමතිද?




අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න එනව, දුක හිතෙන දේවල් සිද්ධ වෙනව. මේ වෙලාවලදි එක එක්කෙනා ඒ ප්‍රශ්න වලට මූණදෙන විධි වෙනස්. සමහරු අඬනව, තවත් අය දුක හිත ඇතුලෙ තද කරගෙන හිතින් විඳවනව, තවත් සමහරු ඒ ප්‍රශ්න තව කෙනෙකුට කියල හිත සැහැල්ලු කරගන්නව. අද මේ කතා කරන්න හදන්නෙ ඔය අන්තිමට කියුව කාරණාව ගැන.. 

ඇයි අපි කෙනෙක්ට අපෙ හිතේ තියෙන දුක කියන්නෙ? ඒ කෙනාගෙන් ඒ ප්‍රශ්නවලට උත්තරයක් බලාපොරොත්තුවෙන්මද? එහෙමත් නැත්තන් එයාට ඒ ප්‍රශ්නෙ කියපු ගමන් මැජික් එකකින් වගේ අපේ ප්‍රශ්න විසඳෙයි කියලද? නෑ. අපි තව කෙනෙක්ට අපේ ප්‍රශ්න කියන්නෙ එහෙම කියුවම හිතට පොඩි සැහැල්ලුවක් දැනෙන නිසා.  හිත ඇතුලෙ තෙරපෙන දුක, වේදනාව, තව කෙනෙක්ට කියුවම හිත ටිකක් හරි නිදහස් වෙන නිසා. පොඩ්ඩක් මතක් කරල බලන්න. හිතට දැනුන ලොකු දුකක් ඔබේ විශ්වාසවන්ත සමීපතමයෙකුට කියුවට පස්සෙ ඔබම කියල නැද්ද "ඔයාට මේ කතාව කිවුවට පස්සෙ මගෙ හිත පොඩ්ඩක් සැහැල්ලු උනා" කියල?
 ඒ විදිහට තමන්ගෙ හිතේ තියෙන දේ බය නැතුව කියන්න කෙනෙක් ඉන්න එක කොයි තරම් වටිනවද කියන එක දැනෙන්නෙ අපි ලොකු ප්‍රශ්නෙකට මූණදුන්නම තමයි.

දැන් මේ කතාවෙම අනිත් පැත්ත හිතමු. කීදෙනෙක් ඔබ ගාවට ඇවිත් ඒ අයගෙ ප්‍රශ්න කියල තියෙනවද? ඒ වෙලාවට ඔබ ඒ අවස්ථාවට මූණදුන්නෙ කොහොමද? මේ සටහන ලියවෙන්නෙ ඒවගේ අපිට දුකක් කරදරයක් ගැන කියාගෙන එන කෙනෙක්ට අපි ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියන එක ගැන මම පුද්ගලිකව හිතන දේ ගැන කියන්නයි.

1) ඒ කෙනාට ඔබේ සම්පූර්ණ අවධානය දෙන්න
කෙනෙක් ප්‍රශ්නයක් කියන්න ඔබ ගාවට එන්නෙ කම්මැලිකම යවාගන්න නෙවෙයිනෙ. හිතේ තියෙන දුක අඩු කරගන්න. ඒ වෙලාවට එයාට ඕන කරන්නෙ ඔබේ අවධානය මිසක් කෑම බීම නෙවෙයි. කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියද්දි ඒකෙනාට සම්පූර්ණ අවධානය යොමු කරන්න. වෙන වැඩ කරන ගමන් කතාව අහගෙන ඉන්න එපා. එහෙම උනොත් අනිත් කෙනාට හිතෙනව ඔබට මේ කතාව අහගෙන ඉන්න එක කරදරයක් කියල.

මේක මං අත්දැකීමෙන්ම දන්න දෙයක්. සමහරු ඉන්නව අපි කතාව කියද්දි අපේ මූණ දිහාම බලාගෙන ඉන්න අය. ඒ වෙලාවට අපිට හිතෙන්නෙ මෙයා නම් ලොකු ඕනකමකින් කතාව අහනව කියලයි. ඒත් එහෙම ඉඳල එකපාරටම " ආ..න්න දැන් තමයි මතක් උනෙ..මං මේ මෙච්චර වෙලා කල්පන කලා මං ඔයාට මොකක් හරි කියන්න හිටිය කියල. දැනුයි මතක් උනෙ. මං කිවුවෙ නෑ නේද එදා මම අර පාටියට ගිය වෙලේ....." කියල එයාගෙ කතාව කියන්න ගන්නව. අපි අපේ කතාව කියද්දි එයා ඉඳල තියෙන්නෙ වෙන කල්පනාවක. අන්තිමේදි අපේ කතාව පැත්තකට දාල එයා කියන දේ අහන්නයි වෙන්නෙ. එදිනෙදා කතාබහේදි නම් මේක ඒ තරම් දෙයක් නෙවෙයි. ඒ උනත් ප්‍රශ්නයක් කියන්න ඔබ ගාවට ආපු කෙනෙක්ට එහෙම කරන්න එපා.අනිත් හැමදෙයක්ම ඔබේ ඔලුවෙන් අයින් කරල කියන කතාව හොඳින් අහගෙන ඉන්න.

2) ඔබ ඒ කතාව ගැන උනන්දු බව පෙන්නන්න.
කෙනෙක් කතාකරගෙන යද්දි ඔබ ඈනුම් අරින්න ගත්තොත් එහෙම නැත්තම් ඔහේ බලාගෙන හිටියොත්, ප්‍රශ්නෙ කියන කෙනාට දැනෙනව ඔබ අහගෙන ඉන්නෙ ඕනකමකින් නෙවෙයි කියල. එතකොට එයාට ලොකු දුකක් දැනෙන්න පුලුවන්. ඒ නිසා එහෙම ඉන්න එපා. කතාව අතරමැදදි ඊට අදාල ප්‍රශ්නයක් අහන්න, දිගටම හූමිටි තියන්න, මූනෙන් හැඟීම් පල කරන්න. එතකොට ප්‍රශ්නෙ කියන කෙනාට ඔබ ඒ ගැන උනන්දු බව වැටහේවි.

3) හිත රිදෙන කතා කියන්න එපා.
සමහරු කෙනෙක් ප්‍රශ්නයක් කියද්දි හිත රිදෙන කතා කියනව.
"අනෙ මංද ඔයාගෙ ප්‍රශ්න නං"
"ඔයාගෙ ප්‍රශ්න කවදාවත් විසඳෙන ඒවනම් නෙවෙයි"
"තාම ඔයාගෙ ඔය ප්‍රශ්නෙ ඉවර නැද්ද?"
ඔය වගේ දෙයක් කිවුවම අනිත් කෙනාගෙ හිත කොයි තරම් රිදෙනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කවදාවත් එහෙම කතා කියන්න එපා. ඒකෙන් වෙන්නෙ මානසිකව වැටිල ඉන්න කෙනෙක් තව තවත් වැටෙන එක විතරයි.

4) ප්‍රශ්න සංසංදනය කරන්න එපා
කවදාවත් කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියද්දි ඒ ප්‍රශ්නෙ ඔබට තියෙන ප්‍රශ්න එක්ක සංසංදනය කරන්න එපා. තුවාලෙ තියෙන කෙනාටනෙ අමාරුව තියෙන්නෙ. හැමෝටම තමන්ට තියෙන ප්‍රශ්න ලොකු ප්‍රශ්න විදිහට තමයි දැනෙන්නෙ. ඒව වැඩිය හිතන්න තරම් බරපතල ප්‍රශ්න නෙවෙයි කියල ඔබට හිතෙනව නම් ඒක හොඳින්පැහැදිලි කරල දෙන්න. එහෙම නැතුව
"ඕවට ප්‍රශ්න කියනවනම් මට තියෙන ඒවට මොනවද කියන්නෙ?"
"ඕවත් ප්‍රශ්නද? එහෙනම් නැට්ට පිටින් අලි මැරෙන්නෙ"
"ඇත්තටම ඔයාට පිස්සුද ඕවගේ දේවල් ගැන හිතන්නවත්"
වගේ දේවල් කියන්න එපා. ඒකෙන් අර කෙනාගෙ හිතට සහැල්ලුවක් දැනෙන්නෙ නෑ කවදාවත්. ඒ ප්‍රශ්නෙ තියෙන සරල බව කරුණාවෙන් තෝරල දෙන්න. ඊට වඩා ප්‍රශ්න තියෙන අය ශක්තිමත්ව ඒවට මූණදෙන හැටි කියල දෙන්න. එතකොටයි අර කෙනාගෙ හිත හැදෙන්නෙ.

5) තනි කරන්න එපා
කෙනෙක් ප්‍රශ්නයක් කියද්දි ඒ වෙනුවෙන් ඔබට කරන්න කිසිම දෙයක් නැති වෙන්න පුලුවන්. ඒ උනත්
"එහෙනම් ඔයා බලන්න මොනවද කරන්න පුලුවන් කියල"
"ඔයාටම තමයි මේකට මූන දෙන්න වෙන්නෙ. අපිට කරන්න දෙයක් නෑනෙ"
වගේ දෙවල් කියන්න එපා. එහෙම උනොත් එයා තනි වෙලා වගේ හැඟීමක් එයි. මේකෙන් අදහස් වෙන්නෙ නෑ ඔබට කරන්න බැරි දේවල් පොරොන්දු වෙන්න කියල. ඒත් "අපි බලමුකො මොනවද ඉස්සරහට වෙන්නෙ කියල"
"ඔයා තනි වෙලා නෑ. අපිට පුලුවන් දෙයක් අපි කරනව" වගේ දෙයක් කිවුවම අර කෙනාගෙ හිතට ශක්තියක් ඇති වෙනව.

6) ඉවසන්න
සමහර වෙලාවට කෙනෙක් එකම ප්‍රශ්නෙ ආයෙ ආයෙ අපිට කියන කොට හිතට පොඩි තරහක් එන වෙලාවල් එනව. එකම කතාව අපිට කට පාඩම් වෙන තරම් කියද්දි 
"දැන් ඕක කී සැරයක් කිවුවද?  අපිටත් තව වැඩ තියෙනවනෙ. ඕක නවත්ත ගන්නකො"
 වගේ දේවල් කියවෙන්න පුලුවන්. ඒ උනත් අපි තේරුම් ගන්න ඕන කෙනෙක් දෙයක් නැවත නැවත කියන්නෙ ඒ කෙනාට ඒ ප්‍රශ්නෙන් දැනෙන පීඩනය වැඩි නිසා කියල. මානසිකව ඒ කෙනා අවුල් සහගත තත්වයක ඉන්න නිසා කියල. ඒ නිසා මෙහෙම අවස්ථාවක බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. අමතක කරන්න එපා…කියපු වචනයක් ආපහු ඇදගන්න බෑ.

7) උපදෙස් දීමේදි කල්පනාකාරී වන්න
මේ සටහනේ මුලින්ම කිවුව වගෙ කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියන්නෙ ඔබෙන් ඒකට උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. ඒ නිසා ඔබ උත්තරයක් ලබාදීම අත්‍යාවශ්‍යම නෑ. නිවැරදි විසඳුමක් කියල හොඳටම විශ්වාස, ඒකෙන් තියෙන ප්‍රශ්න තවත් අවුල් වෙන්නෙ නෑ කියල දන්න දෙයක් විතරක් කියන්න. එහෙම නැතුව ආවේගයෙන් ඉන්න කෙනෙක්ගෙ ඒ අවේගය තවත් වැඩි වෙන විදිහෙ දේවල්වත්, මොනවහරි මේකට කියන්න ඕන නිසා කටට එන ඕනම දෙයක්වත්, කියන්න යන්න එපා. එහෙම උනොත් නැති ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. හිත හැදෙන දෙයක් කියන්න. ඒ කෙනාට ආත්ම විශ්වාසය ඇතිකරන්න. තනි වෙලා නෑ කියන හැඟීම දෙන්න. කෙලින්ම විසඳුමක් දෙන්න ඔබට බැරි උනත් මේ දේවල් ඒ කෙනාගෙ හිත හදන්න උදවු වෙයි.

8) විශ්වාසය ආරක්ෂා කරන්න
අපි අපට තියෙන ප්‍රශ්න හැමෝටම කියන්න යන්නෙ නෑනෙ. එතනදි අපි හොයන්නෙ අත්තටම අපි ගැන කරුණාවෙන් මේ ප්‍රශ්න අහගෙන ඉන්න, ඒ කතා වෙන අයත් එක්ක කියන්න යන්නෙ නැති කෙනෙක්. ඉතින් ඔබට ප්‍රශ්නයක් කියන කෙනත් ඔබ ගැන ඒ පූර්ණ විශ්වාසය තියල තියෙන බව එක මොහොතකටවත් අමතක කරන්න එපා.

තවත් ගොඩක් දේවල් තියෙනව. මේ සමහර දේවල් මං කිව්වෙ මගේම අත්දැකීමෙන්. මානසිකව වැටිල ඉන්න කෙනෙක්ට නැගිටින්න පොඩි හරි උදවුවක් කරන එක ලොකු පිනක්. කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියද්දි හැමවෙලාවෙම ඒ ප්‍රශ්නෙ තියෙන කෙනා ඔබ කියල හිතන්න. ඔබ කෙනෙක්ට ඔබේ දුක කියද්දි ඔබ ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය හිතාගන්න. එතකොට ඔබ ගාවට තමන්ගෙ දුක කියාගෙන එන කෙනාට දක්වන්න ඕන ප්‍රතිචාරය ඔබටම වැටහේවි.