Ads 468x60px

Tuesday, April 17, 2012

ආදරණීය අප්පච්චි......



අම්මට තරමට මං ළං නොවුනට
ආදරයේ නෑ කිසි අඩුවක්
පියාණෙනි මා ඔබේ පොඩි දුවයි
සිදුවී නෑ එහි කිසි වෙනසක්

ඔබේ ඇකයේ හිඳ සුරතල් බස් දෙඩු
බාල ළමාවිය දැන් ගෙවිලා
තුරුණුවියේ මා ඔබගෙන් ඈතයි
කියලා නොසිතනු මැන කිසිදා

අප්පච්චිට මං හරිම ආදරෙයි
කිව්වේ නැතුවට පෙරදි වගේ
ඔබව අගෙයි මට මා මියයන තුරු
ඔබ හින්දා හිරු මගේ ලොවේ........

Sunday, April 01, 2012

මගේ සමරු පොත



විශ්ව විද්‍යාල ජීවිතෙත් ටිකෙන් ටික ඉවරවෙලා යනව. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ industrial training එකයි project  එකයි විතරයි.කැම්පස් එකේ ගෙවුන කාලයෙ දුක සතුට සිනහව කඳුලු මේ හැම දෙයක්ම ජීවිතයට එකතු උනා.කොහොම උනත් ආපහු හැරිලා බලද්දි ඒ ගෙවුන කාලය ජීවිතයට කොයි තරම් වටිනවද කියල හිතෙනව.
කැම්පස් යන්න මට පොඩි කාලෙ ඉඳන්ම ලොකු ආසාවක් තිබ්බ. මේ බලාපොරොත්තුව ජීවිතේට එකතු වුනේ කොයි කාලෙද කියල හරියටම මතක නෑ. ඒත් දන්න කියන අය සරසවි ජීවිතයෙ රසමුසු තැන් ගැන කතා කරද්දී කැම්පස් යන්න මටත් ආසාවක් ඇති උනේ ඉබේටම. දැන් මේ කියන්න යන්නෙත් ඒ ආසාවත් එක්කම ජීවිතයට එකතු උන හීනයක් ගැන.

මම 10 වසරෙ ඉන්න කාලේ මගේ හොඳම යාලුවගෙ අම්ම රට ඉඳන් එද්දි අපි දෙන්නටම ලස්සන පොත් දෙකක් ගෙනත් තිබ්බ. ඒ පොත් වල ලස්සන පිට කවරයක් තිබ්බ. මම ඊට කලින් කවදාවත් ඒ වගෙ පොතක් දැකලා තිබ්බෙ නෑ.දැන් නම් ඒ වගේ පොත් ඕනි තරම ඇති. මේක සමරු සටහන් එහෙම ලියන්න පුලුවන් විදිහෙ පොතක්. ඔය තියෙන්නෙ ඒ පොතේ පින්තූරයක්.



ඔය අතරෙ අපි O/L කරන කාලෙත් ළං උනා.ඉස්කෝලෙන් අයින් වෙලා යන්න කලින් හැමෝම සමරු පොත් ගෙනත් අනිත් අයගෙ සටහන් ගන්නවා. මේ වෙලාවෙ මගේ යාලුව මේ විදිහෙ යෝජනාවක් ගෙනාවා.

"අපි දෙන්න අම්මා ගෙනත් දුන්න පොත් අපේ autographs විදිහට ගමු. දෙන්නටම තියෙන්නෙ එකම විදිහෙ පොත්නෙ"

අදහස නම් හොඳයි.හැබැයි ඒ වෙද්දි මගේ හිතේ තිබ්බෙ වෙනස් විදිහෙ බලාපොරොත්තුවක්. මට ලොකු ආසාවක් තිබ්බ කවදහරි කැම්පස් එකෙන් අවුට් වෙද්දි මගේ කැම්පස් යාලුවන්ට කියල මේ පොතට සමරු අත්සන් ගන්න. ඒ වෙනකොට O/L වත් කරල තිබ්බෙ නැති උනාට ඔය හීනේ නම් මගෙ හිතේ තදින්ම තිබ්බා.ඒත් ඉතින් මේක යාලුවට කියන්න බෑනෙ. කොහොම හරි ඒ වෙලාවෙ හිමීට ඒ කතාව ෂේප් කරල දැම්මා. යාලුවා එයාගෙ පොතට සමරු සටහන් ගනිද්දී මම වෙන පොතකට සමරු අත්සන් ගත්තා.

A/L කාලෙ තමයි මගේ ජීවිතයෙ හිටිය හොඳම යාලුවො මට මුණගැහුනේ. මේ පොතට එයාලගෙ සමරු සටහන් ගන්න ලොකු ආසාවක් ඇති උනත් පහුගිය කාලෙ පුරාම හිතේ තිබ්බ හීනේ අත අරින්න හිත දුන්නෙම නෑ. ඒ නිසා මේ පොත පරිස්සමට අල්මාරියේ තියෙද්දී එයාල සමරුසටහන් ලියුවෙ වෙන පොතක.

කොහොම හරි කැම්පස් ගියා කියමුකො. කාලයගෙවිලා ගිහින් අපි සරසවියෙ ඉන්න අන්තිම මාසෙත් ආවා.දැන් ඉතින් facebook, twitter, බ්ලොග්, ජංගම දුරකතන හැම කෙනෙක්ගෙම ජීවිත වල කොටසක් වෙලානෙ. අපි ඉස්කෝලෙ ගිය දවස් වල මොබයිල් ෆෝන් තිබ්බෙ කීප  දෙනෙකුට විතරයි. ඒ නිසා තමයි ඒ කාලෙ autograph ගොඩක් අයගෙ අවධානෙ දිනා ගත්තෙ. ඒත් දැන් කාලෙ වෙනස් තාලෙ අලුත්නෙ. ඉස්කෝලෙ කාලෙ අන්තිම මාසෙ කිට්ටුවෙන වෙන කොට සමරු පොත් කරළියට ආවත් කැම්පස් එකේ ඒ ගැන සද්දයක් වත් නෑ.මගෙ යාලුවො දෙතුන් දෙනෙක් එක්ක ඔය මාතෘකාව ඇදලා ගත්තා..ම්හ් කිසිම ප්‍රතිචාරයක් නෑ.දැන් ඉතින් අලුත් තාක්ෂනයට පිං සිද්දවෙන්න පිටරට වල ඉන්න අයත් ගෙදරම ඉන්නව වගෙ දැනෙන නිසා කාටවත් සමරු සටහන් වල අවශ්‍යතාවක් ඇතිවෙලා නෑ වගෙ :(

දැන් මට ලොකු ප්‍රශ්නයක්. කවුරුවත් සමරු සටහන් පොත් දෙන්නෙ නැති කාලෙක මං විතරක් autograph එකක් අරන් ගිහින් අනෙ මේ පොතේ sign කරල දෙන්නකො කියල කියන්නෙ කොහොමද? අත්සන් කරත් ඒත් එක්කම අහන්න වෙන විහිලු මතක් වෙන කොටත් ඇඟම සීතල වෙලා යනවා. :)

අනිත් අතට අවුරුදු අටක් විතර හිතේ තිබ්බ ඒ අහිංසක ආසාව අත් ඇර ගන්නත් මගේ හිතෙ කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ. මං නිකන් ගිරයට අහුවුන පුවක් ගෙඩියක් වගේ. හීනෙ හැබෑ කරගන්න ගියොත් සෑහෙන්න ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. සද්ද නැතුව හිටියොත් ජීවිත කලෙ පුරාම, හීනෙ හැබෑ නොවුන දුක හිතේ තියෙවි. අනිත් ළමයි විභාගෙ ගැන කල්පනා කරද්දී මං උදේ හවස කල්පනා කලේ මේ ප්‍රශ්නෙ ගැන.

අන්තිමේදි ආව හොඳ අදහසක්. Autographs වලට ලෝකයෙන් සමුගන්න සිද්ධ කරපු social media වලින්ම මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න පුලුවන් නේද කියල මට හිතුනා. ඊට පස්සෙ මේ පොත අරන් ගිහින් යාලුවන්ට දීලා කිවුවා
"මට මේ පොතෙ ඔයාලගෙ email address, blog url, twitter id, එකී මෙකී නොකී හැම contact detail එකක්ම ලියලා දෙන්නකො" කියලා.

කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. හැමෝම කිසි කතාවක් නැතුව ඒ විස්තර ටික මට ලියලා දුන්න. සමහරු මාත් මේ ටික ලියාගන්න ඕනි කියලත් කිවුවා.

දැන් මගේ සරසවි යාලුවන්ගෙ අතින්ම ලියවුන ඒ සටහන් ටික ජීවිත කාලේ පුරාම මගේ ළඟ තියේවි.යාලුවො එකින් එක්කෙනා ඒ පොතේ සටහන් තියෙනව බලන් ඉන්දැද්දි, ටිකෙන් ටික මගේ ඒ අවුරුදු ගානක් පුරාවට හිතේ තිබ්බ ඒ ආසාව ඉටු වෙද්දි, දැනුන සතුට කියන්න මට වචන නෑ.

මේක ඒ තරම් ලොකු දෙයක්ද කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් මට මේ පොතේ, ඒ පොතේ ලියවිලා තියෙන අකුරුවල, වටිනාකම, කාටවත්ම හිතාගන්න බැරි තරම්....