Ads 468x60px

Friday, March 29, 2013

අනාගතය, ඔබ නොඑන්නේ නම් මැනවි.....




බොහෝ දෙනා වෛර කරන්නේ අතීතයටය. පිළිකෙව් කරන්නේ වර්ථමානයය. පෙම් බඳින්නේ අනාගතයටය. නමුදු මා අතීතයට බෙහෙවින් ආදරය කරන්නෙමි. ඒ මට මතක් කර සිනහා වන්නට තරම් සොඳුරු මතක ගබඩාවක් එය මට ලබා දුන් බැවිනි. වර්ථමානය අතීතය තරම් සොඳුරු නොවුවද එහි මහා ලොකු වරදක් මා දකින්නෙ නැත. එහෙත් අනාගතය??? එය වෙනමම කථාවකි.

අනාගතය යනු මට නම් තෙරක් නොපෙනන දරුණු සුළි කුණාටු පිරි සාගරයකි. බයංකාර සතුන් පිරි ඝණ කැළෑවකි, යාන්තම් හෝ එළියක් පෙනෙන්නේ නැති බිම් ගෙයකි. කෙටියෙන්ම කිවතොත් ජීවත් වීමට තරම් නුසුදුසු අතිශය භයානක තැනකි.

ඒ මන්දැයි ඔබ සිතනු ඇත. අනාගතය යනු බිය විය යුත්තක් නොව, ආදරයෙන් භාරගත යුත්තක් බව ඔබ විශ්වාස කරනු ඇත.

එහෙත් අනාගතය යනු ජීවිතේ සුන්දරත්වය මාගෙන් සොරාගන්නට පැමිනෙන සොරකු යැයි මට හැඟේ. මා ආදරය කරන පිරිස මගෙන් ඈත් කරවන, මට හුරු පුරුදු දිවි පෙවෙත මට අහිමි කරවන, මා අකමැති තීරණයන් ගැනීමට මා හට බල කරන, අනාගතයට මම වෛර කරන්නෙමි.

අතීතයට ගොස් ජීවත් වීමට හැකිනම් මා ඊට වඩා කැමති දෙයක් නැත. කුඩා දරුවකු ලෙසින් පවුලේ සැමගේ ආදරය ලබමින්, කිසිම දෙයක් ගැන අබ මල් රේණුවක තරම්වත් තැකීමක් නොකර සෙල්ලම් බඩු ටිකෙන් එහා ලෝකයක් ගැන නොදැන, ගෙවන ඒ සැහැල්ලු දිවියට මා පෙම් කරන්නෙමි. බෝනික්කාගේ අතක් ගැලවීමත්, සෙල්ලම් කෝච්චිය හිටි හැටියේ නතර වීමත්, වදෙන් පොරෙන් කවන කෑමත්, ජීවිතයේ ඇති දරුණුම ප්‍රශ්න යයි සිතුන කාලයට යාමට මම ආසා කරන්නෙමි. එසේ කල නොහැකි නම් අඩුම තරමේ වර්ථමානයේ නවතින්නටවත් හැකි නම් කෙතරම් හොඳදැයි මට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එය අන්තිම ගොන් කථාවක් ලෙස ඔබට සිතෙනවාට සැක නැත. ඒ ගැන මා පුදුම නොවන්නේ එය ගොන් කථාවක් බව මාද දන්නා නිසාය. නමුත් මම ඒ ගොන් කතාවට කැමත්තක් දක්වමි. මා ඉදිරියේ ඇති යථාර්තයට වඩා ඒ මායාවට මම අශා කරන්නේමි.

මා අනාගතය පිළිගැනීමට සූදානම් නැත..එහෙත් එසේ කියා මට වෙන කරන්නට දෙයක්ද නැත. අතීතය නම් වූ සුන්දර තැනක සිට පැමිණි මා වර්ථමානය නම් වූ අම්බලමේ රැඳී සිටින්නෙමි. මෙතැනින් පිටවී අනාගතය නම් වන මා කිසිවක් නොදන්නා තැනකට යාමට මට සිදුවේ. එය එතරම් ප්‍රසන්න තැනක් නොවනු ඇති බවට මගේ හිත මට ඉඟි කරයි. එය එසේ නොවේ යැයි නිශ්චිතවම කියන්නට කිසිවෙකුටත් නොහැකි වීම මගේ සිත තව තවත් බියට පත් කරයි. කාලය අල්ලා නතර කරගන්නට හැකි නම් කෙතරම් අගනේදැයි මට සිතේ. මා අනාගතයට පියමන් නොකිරීමට තීරණය කලද එය මා වෙත ඒම මට වලක්වාලිය නොහැකි බව මා දනිමි. මා දන්නේ මා එය සිනා සී පිළිගන්නට සූදානම් නැති බවය..

මට පිස්සු යැයි කෙනෙක්ට සිතෙන්නට පුලුවන. මේ කතාව කියන සෑම විටම මා වටා සිටින අය කියන්නේද එයමය. අනාගතයට බිය විය යුතු නැති බවත් එය සාර්ථක කරගැනීමේ හැකියාව මට ඇති බවත් ඔවුහු මට පවසති. එහෙත් මසිත වෙලාගෙන ඇති බියෙන් මා මුදවාගැනීමට එය සමත් නොවේ.

මා අනාගතයට මේ තරම් බිය ඇයිදැයි මා කල්පනා කරන්නෙමි. තවමත් ගවේශනය නොකල අලුත් භූමියක් බඳු වන අනාගතය කොයි තරම් ආශ්වාද්ජනක විය හැකි දැයි සිතීමට මම උත්සහ දරන්නෙමි. ඒ සැණින් මතක් වන්නේ මා බියට පත් කරන කරුණුය. වර්ථමානයේ පවුලේ සුරතලා ලෙස ගත කරන සුන්දර කාලය අනාගතය විසින් උඳුරා ගනීවියැයි මට සිතේ. සැහැල්ලුවෙන් යහලුවන් හා ගෙවන සොඳුරු කාලය වෙනුවට දරාගත නොහැකි වගකීම්, ප්‍රශ්න, අනාගතයේදී මට උරුම වේයැයි මට හැඟේ. හැමදාමත් මා ප්‍රිය කරන නිස්කලංක ගම වෙනුවට මා කිසිදා ප්‍රිය නොකල නාගරික ජීවිතය මට ලබාදීමට අනාගතය අර අඳින බව මට දැනේ. දිනෙන් දින වියපත් වන මා අනාගතයේ යම් දිනක කිසිවක් කර කියාගත නොහැකි කෙනෙකු වේ යැයි සිත කියයි. ඉදින් මා අනාගතයට පෙම්කරන්නේ කෙසේදැයි මම මගෙන්ම ප්‍රශ්න කරමි. මෙය ඔබගේ මුවගට සිනහවක් එක් කිරීමට ඉඩ ඇති බව මා දනිමි. "මේක මහ පිස්සු කතාවක්" ඔබ කියනු ඇත. මෙය මට පමණක් උරුම දෙයක් නොවන බවත් අනාගතයේදි සියලු දෙනාටම මුහුණදීමට සිදුවන පොදු ධර්මතාවක් බවත් ඇතැම් විට ඔබ පවසනු ඇත. මා මේ සටහන තබනුයේ එය නොදැන නොවේ. එහෙත් අතීතය හා වර්ථමානය මට නිර්මාණය කර දී ඇත්තේ අතිශය සොඳුරු, ආදරණීය ජීවිතයකි. මා අනාගතයෙන් බලාපොරොත්තු වන්නේද එයයි. අනාගතයට මා මෙතරම් බිය වන්නේ, අද මේ මොහොතේ පටන්, මා මියයන මොහොත දක්වාවූ කාලය දෙස යථාර්තවාදීව බලන කල, එය එපමණටම සුන්දර, සැහැල්ලු, ආදරණීය නොවනු ඇති බවට මා තුල ඇති හැඟීම නිසාවෙනි.

ජීවිතයේ යථාර්තයට මුහුන දිය යුතු බව මා හොඳාකාරව දනිමි. එසේ නම් මෙවැනි සටහනක් මා ලියා තබන්නේ මන්දැයි කෙනෙක් සිතනු ඇත. මෙයින් කිසිවක් වෙනස් නොවන බව මා දනිමි. එහෙත් අනාගතයේ යම් දිනෙක, මා මේ මොහොතේ අනාගතය කෙරෙහි දැක්වූ අදහස් යළි කියවීමට මට අවැසිය. එදිනට මේ සටහන කියවා අවසන, යකා මා සිතා සිටි තරම් කලු නැති බව, මට මාහටම කියාගත හැකි නම් කෙතරම් අගනේදැයි මා කල්පනා කරමි…..

Saturday, March 16, 2013

සකුණි



උදේ ඉඳන් එක දිගට ආව ප්‍රශ්න අමිලගෙ හිතට එකතු කලේ ඒ තරම් පහන් හැඟීමක් නෙවෙයි. ඔෆිස් එකේ ඉවරයක් නැතුව තිබ්බ වැඩ ගොඩ, ලොක්කගෙන් අහන්න උන බැනුම්, ඔෆිස් එකෙන් එලියට එද්දිම කඩාගෙන වැටුන අනෝරා වැස්ස, ඒ මදිවට ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති බස් එකක යන්තම් එල්ලිලා එන්න උන එක, මේහැම දෙයක්ම අමිලගෙ හිතට එකතු කලේ නොරිස්සුම් සහගත හැඟීමක්. කාත් එක්ක මොන හේතුවකටද කියල හරියටම දන්නෙ නැති උනත් අමිලගෙ හිතේ තිබ්බෙ තරහක්.
වැස්සෙ තෙමීගෙන බස් එකේ තෙරපිලා ආපු අමිලගේ හිතේ තිබ්බ ඒ තරහ වැඩි උනේ වෙනද වගේම වැඩ ඇරිල එන අමිලව පිලිගන්න ඉස්තෝප්පුවට වෙලා බලාගෙන ඉන්න සකුණිව දැක්කට පස්සෙ. 

මෙයාට නම් මොකද හොඳට ගෙදරට වෙලා ඉන්න එකනේමං එපැයි හැම දුකක්ම විඳින්න.

"පුදුම වැස්සක් නේද අමිල. මං බයේ හිටියෙ... ඔයා හොඳටම තෙමිල" සකුණි අමිලගෙන් බෑග් එක ගන්න ගමන් කිව්ව.

"මේ වගේ වැස්සකට අහුවෙලා තෙමෙන්නෙ නැතුව එන්න පුලුවන්ද?"

ඇස් දෙක දිහා  එක එල්ලෙ බලල අමිල තරහෙන් එහෙම කියද්දි සකුණි නිහඬ උනේ මේ ඇයි කියල හිතාගන්න බැරුව.

හැමදාම හවසට වැඩ ඇරිල ආවට පස්සෙ ඇඟ හෝදගෙන අමිල ඉස්තෝප්පුවට එද්දි සකුණි උණු තේ කෝප්පෙත් අරගෙන එතනට එනව. ඊටපස්සෙ දෙන්න පැයක් විතර එදා දවසේ විස්තර කථා කරන එක පුරුද්දක්. එදත් සකුණි තේ එකත් හදාගෙන අමිල ආස නිසා හවස තේ වලට හදපු අලුව ටිකත් අරගෙන සාලෙට ආවත් අමිල එතන හිටියෙ නෑ. තේ කෝප්පෙත් අරන් සකුණි නිදන කාමරේට යද්දි ඇඳුම් මාරු කරගෙන හිටිය අමිල ඇඳේ හාන්සි වෙලා ඇස් දෙක පියාගෙන හිටිය.

"ඇයි අමිල ඔයාට සනීප නැද්ද?" අමිලගෙ ඇඟට අත තියල උණ බලන ගමන් සකුණි ආදරයෙන් ඇහුවත් අමිල මොකුත් නොකියා හිටියෙ තාමත් හිතේ නොරිස්සුම් සහගත බවක් තිබුන නිසයි.

මේ වෙලාවෙ සකුණිගෙ හිතට ආවෙ උදේ තැපැල් කරන්න කියල අමිලට දුන්න ලියුම. රැකියාවකට ඉල්ලුම් කරල සකුණි හදපු අයදුම් පත උදේ වැඩට යන ගමන් තැපෑලට දාන්න අමිල උදේ පොරොන්දු උනා. අද තැපෑලට දැම්මෙ නැත්තම් ඒ ලියුම වෙලාවට යන්නෙ නෑ කියල සකුණි දැනගෙන හිටිය.

මේ වෙලාවෙ ඕක ඇහුවොත් තවත් තරහ යයි
 එහෙම හිතපු සකුණි හිමින්ම බෑග් එක ගාවට ගියේ තාම ලියුම බෑග් එකේද කියල බලන්න.

" මොනවද ඔය අදින්නෙ?"
අමිල සැරෙන් අහද්දි සකුණි තිගැස්සුනා.

"නෑ මේ..."

"මොනවටද මගෙ බෑග් එක අදින්නෙ" කලින්ටත් වඩා සැරට අමිල අහද්දි සකුණි තවත් බය උනා.

"අර ලියුම..ඔයා පෝස්ට් කලාද කියල බැලුවෙ"

"මේ ජරා වැස්සෙ බස් එකේ තෙරපිල එනව මදිවට තව ලියුමුත් තැපැල් කරන්න යන්න ඕනද මං?"

"අනේ ඇයි අමිල මේ? මං මොනව හරි වැරැද්දක් කලාද? ඇයි මේ ආපු වෙලාවෙ ඉඳන් මාත් එක්ක තරහෙන්"

"මහන්සි වෙලා මහන්සි වෙලා ඇවිත් ටිකක් නිදහසෙ ඉන්න නැති හැටි. ඒ පාර පටන් ගත්තද හරස් ප්‍රශ්න අහන්න"

"අනේ ඇයි මේ අමිල"

"කටවහගන්නව......"

එතනින් පටන්ගත්ත රණ්ඩුව මොන මොන මාතෘකා දිගේ ඇදිල ගියාද කියල අමිලටවත් තේරුමක් තිබ්බෙ නෑ. උදේ ඉඳන් හිතේ එකතු වෙලා තිබ්බ පීඩනය අන්තිමට පිට උනේ සකුණිගෙ කම්මුල හරහ වැදුන තද කම්මුල් පාරකින්. උදේ ඉඳන් කෑම කන්නවත් වෙලාවක් නොදී වැඩ කරගන්න කන්තෝරුවට ආපු මිනිස්සු එක්ක, පොඩි වැරැද්දක් අල්ලගන මුලු ඔෆිස් එකම බලාගෙන ඉද්දි තමන්ට බැනපු ලොක්කත් එක්ක, ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති බස් එකට තව සෙනග පටව ගත්ත කොන්දොස්තර එක්ක, තමන්ව තෙත බරිත වෙන්න වැහැපු වැස්සත් එක්ක තිබ්බ තරහ, තමන් අන්තිමේදි යැව්වෙ සකුණි පිටින් කියල ඒ වෙලාවෙ අමිලට තේරුමක් තිබ්බෙ නෑ.

දෑතින්ම කම්මුල අල්ලගත්ත සකුණි ඇස් දෙක ලොකු කරන් අමිල දිහා බලාගෙන හිටියෙ අමිල ගැහුවෙ කම්මුලට උනාට වේදනාව දැනුනෙ හදවතට නිසා. කෑහගල ඇඬුව සකුණි තත්පර ගානකට පස්සෙ මිදුලට බැහැල ගේට්ටුවෙන් එලියට දුවන හැටි අමිල බලාගෙන හිටිය.

ඔය දුවන්නෙ අම්මලගෙ ගෙදරටනෙ.

සකුණිගෙ මහ  ගෙවල් තිබ්බෙ අමිලගෙ ගෙදර ඉඳන් පයින්  ගියොත් මිනිත්තු හතලිස් පහක විතර දුරකින්. රෑ වෙලා එක්කො තාත්ත එක්කරගෙන එයි නැත්තන් මට හෙට යන්න වෙයි එක්කරගෙන එන්න. එහෙම හිතපු අමිල කුස්සිය පැත්තට ගියා. සකුණි එයාට හදාගත්ත තේකෝප්පෙ කුස්සියෙ ඇල්වෙලා යනව අමිලට පෙනුනා. 

**************************************************************************************************************************************
පහුවදා උදේ ඇහැරෙද්දි අමිල සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වෙලා හිටියා. ඒ තිබ්බ නොරිස්සුම් බව නැතිවෙලා ඊයේ උන දේවල් ගැන ලොකු කලකිරීමක් ඔහුගෙ හිතට දැනුනා.  

පව් සකුනි..ඒ කෙල්ල මොන වැරැද්දක් කළාටද මං අර විදිහට කෑගැහුවෙ. ඒ වෙලාවෙ මට මොකක් උනාද මංද. සකුණි SMS එකක්වත් ඒවලද දන්නෙ නෑ කියල ෆෝන් එක අතට ගත්තත් සකුණි ගෙදරින් ගියේ ෆෝන් එක අරගෙන නෙවෙයි කියල ඔහුට මතක් උනා

අද ඔෆිස් යන්නම තිබුනෙ නැත්තම් දැන්ම සකුලගෙ ගෙදර යන්න තිබ්බ. කමක් නෑ… හවසටම යනව. එතකොට එයාගෙ තරහත් නිවිල තියෙයිනෙ

**********************************************************************************
ඈතින් සකුණිලගේ ගෙදර දකිද්දි අමිලගෙ හිතට පොඩි තිගැස්මක් දැනුනේ  සකුණිගෙ ගෙදර අය මොන විදිහෙ ප්‍රතිචාරයක් දක්වයිද කියල බය හිතුන නිසා. ගේට්ටුව අරිද්දිම සකුණිගෙ අම්ම මල්පැල ගාව මොනවද කරන හැටි අමිලට පෙනුන.

"ආ මේ පුතානෙ..මං බැලුව ඒත් කවුද කියල.."

"අම්මෙ සකුණිට පොඩ්ඩක් කථා කරනවද?" 

"සකුණි..සකුණි මෙහෙ ආවෙ නෑනෙ පුතේ"
"මොකක්?"

 එක පාරටම අමිලට හිතුනෙ සකුණි ගෙදර හැංගිලා ඉඳන් අම්මට එයා නෑ කියල කියන්න කියල ඇති කියල. ඒ උනත් "මේ පොඩ්ඩක් මෙහෙ එන්නකෝ" කියල අම්මා බය වෙලා වගේ තාත්තට කථා කරද්දි මෙතන කිසිම බොරුවක් නෑ කියල අමිලට තේරුනා.

එතන ඉඳන් රෑ වෙනකන් අමිලත් සකුණිගෙ දෙමව්පියනුත් කළේ දන්න කියන හැමතැනම සකුණිව හොයපු එක. මධ්‍යම රාත්‍රිය වෙනකනුත් කිසිම ආරංචියක් නැති තැන "අපි පොලීසියට කියමු" කියල අම්ම කිව්වෙ වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි උන නිසා.

"දුව ඇත්තෙ කවුරු හරි යාලුවෙක්ගෙ දිහා. හෙට උදේට සමහර විට අපිට කතාකරයි. මේවා පොලිස් පොතේ ලියවුනාම ඒ දරුවටමයි හොඳ නැත්තෙ. ඒ නිසා අපි හෙට වෙනකන් ඉවසල බලමු"
තාත්ත එහෙම කියද්දි හැමෝම ඒ තීරණයට එකඟ උනා.

එදා රෑ අමිලට එක විනාඩියක්වත් නින්ද ගියේ නෑ. අනේ දෙවියනේ මගේ සකු දැන් කොහෙ ඇත්ද? එයාට මොනවත් කරදරයක්වත්ද..නෑ එහෙම වෙන්නෙ නැ. මේ හැමදෙයක්ම මං හිංද .මට ඊයේ මොන යකෙක් වැහුනද මංද....අමිල සියවෙනි වතාවටත් හිතුව. ආයෙ නම්කවදාවත් මං සකූට බනින්නෙ නෑ. එයාව හොයාගත්ත ගමන් එයාගෙන් මං සමාව ඉල්ලනව……..

පහුවෙනිද් උදේ දහය වෙනකනුත් කිසිම ආරංචියක් නැති නිසා සකුණිගෙ තාත්තත් එක්ක අමිල පොලීසියට ගියා. පොලීසියේ ඉන්ස්පෙක්ටර් සකූගෙ තාත්තගෙ යාලුවෙක් නිසා කෙලින්ම එයාට මේ කතාව කියන්න පුලුවන් උනා.
බොහොම අවධානයෙන් විස්තර අහගෙන හිටිය ඉන්ස්පෙක්ටර්වරයා සකුණිගෙ හැඩරුවත් අහගත්ත. ඊටපස්සෙ තවත් පොලිස් නිලධාරියෙක් එක්ක වචන කීපයක් හුවමාරු කරගත් ඔහු

"මිස්ටර් සමරනායක අපි පොඩි ගමනක් ගිහින් එමු" කියල කිව්වෙ සකුණිගෙ තාත්ත දිහා බලාගෙන.
"ඒ කොහෙද ඉන්ස්පෙක්ටර්?"

"ඉස්පිරිතාලේ හඳුනා නොගත් ගෑණු කෙනෙක්ගෙ මළසිරුරක් තියෙනව. ඒ මිසිස් රත්නායකමයි කියල මං කියන්නෙ නැ. අපි කෝකටත් ගිහින් බලමු"

"නෑ ඉන්ස්පෙක්ටර්..කවදාවත් සකූ ජීවිතේට හානියක් කරගන්නෙ නෑ. මං දන්නව මගෙ සකූ එහෙම කෙනෙක් නෙවෙයි"

"ඔව් ඉන්ස්පෙක්ටර්..මගේ දුව මේ වගේ දේකට සියදිවි හානි කරගන්න කෙනෙක් නෙවෙයි"

"මේ සියදිවිහානි කරගත්ත කෙනෙක් නෙවෙයි මිස්ටර් සමරනායක.. ඇක්සිඩන්ට් වෙච්ච කෙනෙක්. පෙරේද හවස හය හමාරට විතර පාක් එක ලඟදි බස් එකකට හැප්පිලා. ලඟ හිටපු අය කියන්නෙ කලබලයෙන් වගේ දුවගෙන ඇවිත් වටපිට බලන්නෙ නැතුව පාර පනින්න ගිහින් බස් එකකට හැප්පුනා කියල. ඊයේ දවසමත් සිහිය නැතුව ICU එකේ හිටිය නිසා අපිටත් විස්තර අහගන්න විදිහක් තිබ්බෙ නෑ. අද උදේ තමයි නැතිවෙලා තියෙන්නෙ. කලබල වෙන්න එපා. අපි තාම දන්නෙ නෑනෙ ඒ සකුනිමද කියල.කෝකටත් ගිහින් බලමු"
පොලිස් පරීක්ෂවරය කියන දේවල් අමිලට ඇහුනේ ඈතින් එන හඬක් වගේ. ඔහුගෙ හිස කරකැවෙන්න පටන් ගත්ත.
ඒ සකුණි නම් වෙන්න එපා. මගෙ සකූට එහෙම වෙන්න බෑ….අනේ...ඒ සකුණි නම් වෙන්න එපා දෙවියනේ!!!!!!!!

**********************************************************************************

දානෙන් පස්සෙ හැමෝම ගෙදරින් පිට වෙලා ගියාට පස්සෙ අමිල ඉස්තෝප්පුවට ඇවිත් වාඩි උනා. ගෙදර වගේම තමන්ගෙ ජීවිතේත් එක පාරටම පාලුවෙලා ගිහින් තියෙන හැටි ඔහුට දැනුන. පහුගිය දවස් හත ඔහුට දැනුනෙ හීනයක් වගේ. 

මේ හැමදෙයකටම මුල මම. මං මොකක්ද මේ කරගත්තෙ. අනෙ ඇයි අපිට මෙහෙම උනේ සකූ.....

තමන් ගැනම උපන් තරහකුත්, ආත්මානුකම්පාවකුත් එකවරම හිතට දැනෙද්දි අමිල ඒ පීඩනය පිට කලේ ළඟ තිබුන කනප්පුවට මිට මොළවල ගහපු පාරකින්.

ඒ සද්දෙට බය වෙලා මෙච්චරවෙලා ඉස්තෝප්පුවෙ කොට බිත්තිය උඩ වහල හිටිය ගේ කුරුල්ලා ඈතට පියඹලා යන හැටි අමිල බලාගෙන හිටියා........

http://www.rgbstock.com/