Ads 468x60px

Monday, May 06, 2013

ඇහෙන ගීත නෙවෙයි අහන ගීත - 3


මතකද මුලින්ම මොබයිල් ෆෝන් එකක් ගත්තු දවස. කොයි තරම් කාලයක් ඒක ලබා ගන්න හීන මැව්වද. ගත්ත මුල් දවස් වල මොන තරම් පරිස්සමින්ද තියාගත්තෙ..පොඩ්ඩක්වත් හීරෙන්න දෙන්නෙ නැතුව, නැතිවෙයි කියල බයට බොහොම පරිස්සමින් තියාගෙන හිටිය හැටි මතකද. ඒත් කාලයක් යද්දි ඒ තිබ්බ අසාව උනන්දුව නැති උන හැටි මතකද? ඔහේ මේසෙ උඩට ෆෝන් එක විසි කරන්න ගත්ත හැටි මතකද? මීට අවුරුදු පහකට හයකට කලින් ගත්ත මුල්ම ෆෝන් එක අදටත් බොහොම ආදරයෙන් පරිස්සමින් තියාගෙන ඉන්නෙ කීයෙන් කී දෙනාද?

බොහොමයක් දේවල් සම්බන්ධයෙන් මිනිස් හිත වැඩ කරන්නෙ මෙහෙම නේද? දෙයක් ගැන ආසාවක් ඇති උනාම ඒක ලබා ගන්න මොනතරම් උත්සහ කරනවද..මහන්සි වෙනවද...ඒ ගැන හීන දකිනවදහැබැයි ඒ දේ ලබාගත්තට පස්සෙ ටිකෙන් ටික ඒ දේට තියෙන උනන්දුව අඩුවෙලා යනව. සමහරුන්ට තමන්ට ඒ දේ කොයි තරම් වටිනවද කියල හිතෙන්නෙ ඒදේ අහිමි  උනාමයි. සමහරුන්ට නම් එහෙමවත් ඒ ගැන හැඟීමක් ඇති වෙන්නෙ නෑ.

මොකක් ගැනද මේ කියන්න හදන්නෙ කියලද හිතුවෙ. මේ කියන්න හදන්නෙ මිනිස්සුන්ගෙ හිත් ගැන…ආදරය ගැන. වැරදියට තේරුම් ගන්න එපා. මොබයිල් ෆෝන් එකයි ආදරයයි සංසංදනය කරන්න හදනව නෙවෙයි. ඒ උනත් මිනිස් හිත වෙනස් වෙන හැටි මේ උදාහරණයෙන් හොඳින් විස්තර වෙනව කියල හිතුන.

හිතන්න මුලින්ම කෙනෙක් ගැන අදහසක් ඇති උන දවස්වල මනුස්සයෙක් හැසිරෙන හැටි ගැන. කොයි වෙලෙත් තමන් ආදරය කරන කෙනා ගැනම හිතනවා…යාලුවොන්ටත් කනක් ඇහිල ඉන්න දෙන්නෙ නැතුව එයාගෙ විස්තරම කියනව. ආදරේ කරන්න පටන් ගත්ත මුල් දවස් වල හැමකෙනෙක්ම කොයි තරම් නම් තමන් ආදරය කරන කෙනා ගැන හොයල බලනවද? වැඩ කරන අතරේ, පාඩම් කරන ගමන්, කෑම කන වෙලේ පුලුවන් විදිහට වෙලාව හොයාගෙන කෝල් කරන, SMS යවන පෙම්වතුන් අපි අනන්තවත් දැකල තියෙනව නේද? ටවුමට ඇවිත් ගෙදර ගියත් ගිය ගමන් පරිස්සමින් ගියා කියල මෙසේජ් කරන්න කියනව…පොඩි හරි අසනීපයක් හැදුනොත් පැය භාගෙන් භාගෙට කතා කරල සැප දුක හොයනව…

බැලූ බැල්මට එතන ආදරය තියෙනව වගේ පේනව. ඒත් ඒ දෙන්නම විවාහ වෙලා අවුරුදු කීපයක් යද්දි (සමහර වෙලාවට මාස කීපයක් යද්දී) අර මුලින් තිබුන ආදරේ නැති වෙලා යන හැටි එහෙම නැත්තම් අඩු වෙලා යන හැටි පුදුමයි නේද?
කලින් පොඩ්ඩක් එන්න පරක්කු උනොත් දහ පාරකට වඩා කතා කරල පරක්කු ඇයි කියල හොයල බලන පෙම්වතා, ස්වාමිපුරුෂයෙක් උනාට පස්සෙ එයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ එන වෙලාවක එන්නෙ නැතෑ කියල ඉන්න හැටි, පොඩි ඔලුවෙ කැක්කුමක් තිබුනත් ඉක්මනට බෙහෙත් ගන්න කියල තමන්ගෙ ආදරවන්තියට කියන කෙනාම කාලයක් යද්දි මොන අසනීපයක් කිව්වත් කනකට ගන්නෙ නැතුව ඉන්න හැටි වගේම, ආදරය පටන් ගත්ත මුල්කාලෙදි තමන්ගෙ අතින් හැදුව කෑම ගෙනත් පෙම්වතාට දෙන්න බලාගෙන ඉන්න පෙම්වතියම, බිරිඳක් උනාට පස්සෙ උයන්නන් වාලේ උයල ඕනවට එපාවට සැමියට කන්න දෙන හැටි දැක්කම ආදරය කියන්නෙ ක්ෂය වෙලා යන දෙයක්ද කියල හිතෙනව.

සමහරු නම් විවාහ වෙන්න කලිනුත් ඒ තත්වයට වැටෙනව.හිතට මුලින් දැනුන ආදරය ටිකෙන් ටික ජීවිතේට පුරුදු වෙද්දි, මෙයා මට කොහොමත් අයිතියිනෙ කියන හැඟීම හිතට දැනෙද්දි, ඒ ආදරය ගැන මුලින් තිබුන උනන්දුව අඩු වෙලා යන හැටි මං දැකල තියෙනව. ඒ නිසා කවදාවත්ම තරුණ යුවලක් ආදරෙන් ඉන්න හැටි දැක්කම

"කොයි තරම් ආදරයක් ඒ දෙන්න අතරෙ තියෙනවද" කියල මට හිතෙන්නෙම නැති තරම්.

ඒ උනත් කසාද බැඳල අවුරුදු තිහ හතලිහක් ගියාට පස්සෙ තමන්ගෙ සැමියා ගැන බොහොම ආදරයෙන්, ඕනකමින් හොයල බලන බිරිඳක් දැක්කම, අසනීපෙන් ඉන්න තමන්ගෙ බිරිඳව වෛද්‍යවරයා පරික්ෂා කරද්දි හිතේ තිගැස්මකින් ඒ දිහා බලාගෙන ඉන්න සැමියෙක් දැක්කම, වයස හැත්තෑවක් අසූවක් වෙලා උනත් හිනාවෙවී බොහොම සැහල්ලුවෙන් කතා කර කර ඉන්න අඹු සැමි යුවලක් දැක්කම, අන්න එතනදි මම සැබෑ ආදරය දකිනව.

searchquotes.com

දෙන්නෙක් අතර ආදරයක් ඇතිවෙලා කාලයත් එක්ක ඒ ආදරය ටිකෙන් ටික හිතෙන් ඈත් වෙන්න ගත්තම, අනිත් කෙනා ගැන හිතේ තියෙන උනන්දුව අඩු වෙලා යන්න ගත්තම,  ඉස්සර නොදැක ඉන්න බෑ කියල අඬපු කෙනා පස්සෙ කාලයකදි දකින්නවත් එන්නෙ නැති උනාම, මොන විදිහෙ තත්වයක් උදාවෙයිද?

දෙන්නටම ඒ විදිහට දැනෙනව නම් ප්‍රශ්නයක් නෑ…බොහෝ විට කතා බහ කරල ඒ දේවල් විසඳ ගන්න පුලුවන් වෙයි. ඒත් එක්කෙනෙක් තමන්ගෙ ආදරවන්තයා/ආදරවන්තිය ගැන මුලින්ම ආදරයක් ඇති උන දවසෙ තිබ්බ ඒ ලෙංගතුකමම, ඒ සෙනෙහසම, අදටත් තමන්ගෙ හිතේ ඒ විදිහටම තියාගෙන ඉන්දැද්දි, අනිත් කෙනා වෙනස් වෙන්න ගත්තොත් දැනෙන දුක කොයි තරම් වෙයිද…

කොයි තරම් වයසට ගියත්, ජීවිතේ මොන තරම් වගකීම් වැඩි උනත්, තමන්ගෙ ජීවිතේ බෙදා ගන්න සුදුසුයි කියල තමන්ම තීරණය කරපු කෙනා ගැන ඇති කරගත් ආදරය, මියයන තුරාම නොවෙනස්ව තියාගන්න පුලුවන් නම්...........
අන්න එහෙම උනොත් නම් කිසිම කෙනෙක්ට කිසිම දවසක මෙන්න මේ වගේ දුක් ගී ගයන්න සිදු නොවේවී.


ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ

හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්

profilepics99.com


ගායනය:H.R ජෝතිපාල