Ads 468x60px

Monday, March 31, 2014

මොනවද මංදා



පහුගිය ටිකේ පොත් පෙට්ටියක් අදිද්දි මතු උන කවි කෑලි පුලුපුලුවන් වෙලාවට බ්ලොග් එකේ දැම්මා.. ඉතුරු උන ඒවා දිහා බලද්දි ඒවට මොනවා කරන්නද, මොනවා කියන්නද කියලා කොච්චර හිතුවත් හිතාගන්න බැරි උනා. හිතන එක උනත් ඕනවට වඩා කරන්න හොඳ නැති නිසා වැඩිය හිතන්නෙ නැතුව මොනවද මංදා කියන ටයිටල් එකෙන් කවි කියන ලේබල් එක යටතේ ටයිප් කරල පබ්ලිශ් කළා ඕං...

අම්මා
ජීවිත තරඟය ජය ගන්නට ශක්තිය සැපයූ
බාධක ජය ගන්න ධෛර්‍යය සැපයූ
නොසැලී සිටින්නට පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය ඔබය...

********************************************************************************************************************
අමරණීය පෙම
කවදාවත් මැරෙන්නෙ නෑ කියපු
අපේ නොමියෙන ප්‍රේමය
මැරිලා.

 *******************************************************************************************************************
කම්පාව
ලොව ඇති බිහිසුණුම කම්පාව
භූමිකම්පාව නොව ආත්මානුකම්පාවයි
මන්ද යත් භූමිකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ මහ පොළව වුවද
ආත්මානුකම්පාව ඇති වූ කල දෙදරා යන්නේ ජීවිතයම වන නිසාවෙන්

 *******************************************************************************************************************
  දුක ++
කඳුලු පිසින්නට ලේන්සුවක් සෙවූ මට
ලස්සනට අසුරා ඔබ,
ග්ලිසරින් බෝතලයක් දුන් අපූරුව...

 *******************************************************************************************************************
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ..
මාත් හිටියා ඔබත් එක්ක
මුලු ගමන පුරාවට
එවෙලේ උවමනවක් තිබුනෙ නෑ ඔබට
අයින් කරලා දාන්න මාව..
ඒත් ගමනාන්තයට ඇවිත් ගෙට ගොඩ වෙන්න හදද්දිම
ගසා දැමුවෙ මාව,
මම වැලි කැටයක් නිසාද????
 *******************************************************************************************************************

(නිදි) මතට තිත

එලාම් එකේ අමිහිරි හඬ        ඇහෙන කොට
කැමති උනත් සිත්සේ තව             නිදන්නට
එහෙම බෑනෙ ලෙක්චර් එක         ඇත අටට
එනිසා තැබිය යුතුවේ තිත             නිදි මතට



Sunday, March 23, 2014

මගේ ආදර කථාව...

මම ශානි. මේ තමයි මගේ ආදර කථාව....

මම දැන් කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්නෙ...අපි කැම්පස් ආපු මුල් දවස් වල හිතේ තිබ්බ බය දැන් නම් නෑ.දැන් අපි මේ ජීවිතේට හුරු වෙලා

සමිත කියන්නෙ අපේ පැරලල් බැච් එකක ඉන්න පිරිමි ළමයෙක්...කැම්පස් එකේ කොල්ලො ඕනතරම් ඉන්දැද්දි ඇයි මෙයා ගැනම කියන්නෙ කියලද හිතුවෙ? ඒකටත් හේතුවක් තියෙනවා. මෙයා තමයි කැම්පස්
එකේ මම දැකපු හැන්ඩ්සම්ම පිරිමි ළමයා. ඇත්තම කිව්වොත් මම විතරක් නෙවෙයි අපේ බැච් එකේ හැම ගැණු ළමයෙක්ම සමිත ගැන පිස්සුවෙන් හිටියේ.
හැබැයි ඒකටත් එක්ක සමිත..එයාට  කෙල්ලො අරහං. කොල්ලෝ එක්ක ෆිට් එකේ හිටියට ගැණු ළමයි එක්ක වැඩි ඇයි හොඳැයියක් තියා ගත්තෙම නෑ. ඔව් ඇත්තටම එයා ටිකක් ආඩම්බරයි තමයි...ඒත් ඒ තරම් ලස්සන කොල්ලෙකුට ආඩම්බර වෙන්න අයිතියක් තියෙනවා කියලයි මට හිතුනෙ.

දවස් කීයක් නම් මම එයාට ගුඩ් මෝර්නින් කියල තියෙනවද..ඒ වෙලාවට යන්තම් ඔලුව උස්සල ගුඩ් මෝර්නින් කියනව මිසක් ඊට එහා වචනයක් වත් කියන්නෙ නෑනෙ. මම විතරක් නෙවෙයි ඕක සමිත් එක්ක කතා කරන්න හදපු ඕනම කෙල්ලෙක් අත්වින්ඳ දෙයක්...

ඉතින් එහෙව් සමිත දවසක් කැන්ටිමේදි මාව දැකලා..

"ලෙක්චර්ස් ඉවරද" කියල ඇහුවම හිතට ආපු පුදුමේ හිතා ගන්න පුලුවන්නෙ

"ආ...ඔ ඔව්"
හැබැයි එතනින් එහාට කතාව ඉවරයි..ඒත් එක්කම එයා හිනා වෙලා යන්න ගියා

"ආ...ව් එක්කෙනෙක්ගෙ මූණෙ හඳක් පායලා"

ඒ සමාධි..මගේ හොඳම යාලුවා. මම වගේ නෙවෙයි වැඩි කතා බහක් නැති නිවිච්ච ළමයෙක්. පිරිමි ළමයි එක්ක නම් කතා කරන්නෙම නැති තරම්. හැබැයි යාලුවෙක් විදිහට සමාධිට වඩා හොඳ යාලුවෙක් හොයන්න නම් කැම්පස් එකේ කොයිතරම් හෙව්වත් බැරි වෙයි.

"කෑ නොගහ යමන්"
ඒ ගමන ඔන්න සමා හිනා වෙවී බිම බලාගෙන මාත් එක්ක ආවා.

"එදා තරම් මගේ හිතේ රැඳුනේ නෑ තව දවසක්...."
**********************************************************************************************************************
ඔය සිද්ධියෙන් දවස් දෙකකට පස්සෙ මට ආයෙත් සමිතව මුන ගැහුනා. ඒ අපේ ෆැකල්ටියටම තියෙන ලෙක්චර් එකක් වෙලාවෙ. හෝල් එකේ ඕන තරම් පුටු තියෙද්දි මායි සමාධියි වාඩිවෙලා හිටිය පේළියේ මට එහා පැත්තෙ තිබ්බ පුටුවටම ඇවිත් එයා වාඩි වෙද්දි අපෙ අනිත් ගැණු ළමයි ටික මං දිහා බලලා හිනා උන හැටි දැනුත් මට මැවිලා පේනවා.

පාලිත සර් ලෙක්චර් එක කරන්නෙ අද ගමට යන්න තියෙන අන්තිම කෝච්චිය අල්ලගන්න යන්න කලබලේද මංදා. නෝට් එක ලියන්න ලෑස්තිවෙද්දිම සර් කියන්න ඕන ටික කියලත් ඉවරයි..

"ඔයාට ඒ ටික ලියා ගන්න බැරි උනා නේද..ආ පොත"

මෙහෙම කිව්වෙ මට වම් පැත්තෙන් හිටිය සමා නෙවෙයි..එහෙනම් කවුද කියල හිතාගත්තැකිනෙ ;)

ඊට පස්සෙ මායි සමිතයි යාලුවෝ උනා...කොහේදි හරි දැක්කොත් සමිත ළඟට ඇවිත් පොඩ්ඩක් කථා කරන්න අමතක කලේ නෑ. ඒකෙන් මේකෙන් හවසට හොස්ටල් එකට ගියාම යාලුවොන්ගෙන් කනක් ඇහිලා ඉන්න උනේ නැත්තෙ මට තමයි...

යෙහෙළියන්ගෙ ඉඟි දිනෙක සැබෑවී ඔබගේ කුලගෙයි පතිනිය වන්නට....
*********************************************************************************************************************
අදයි අපේ පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එක ඉවර උනේ..හප්පෙ දැනෙන සැහැල්ලුව

මායි සාධියි එක්සෑම් ඉවර උන ගමන් කැන්ටිමට ගියේ ගෙදර යන්න කළින් මොනවා හරි කන්න හිතාගෙන

මෙන්න සමිත එතන...

"ඒයි අන්න සමිත මේ පැත්ත බලනවා"

"මේ අපි දැක්කෙ නෑ වගේ  මේ කෑම ටික කමු"

"ඒ ශානි එයා මේ පැත්තට එනවා..අර එයාගෙ යාලුවො ටිකත් මේ පැත්ත බලන් ඉන්නවා"

වෙලාවකට මේ සමා පොඩි ළමයෙක් වගේ...ඒ පාර කැන්ටිමේ වෙන දේවල් ගැන එයා මට බෝල් ටු බෝල් කමෙන්ට්‍රියක් දෙනවා

"මේ මගෙන් මොකුත් අහගන්නෙ නැතුව බිම බලාගෙන කනවද?"

"ශානි"

"ආ සමිත..ළඟට එනකන්ම දැක්කෙ නෑනෙ"

"මේ ඔයාලට එක්සෑම් ඉවරයි නේද අදින්?"

"ඔව්..තව ටිකකින් ගෙදර යනවා"

"හ්ම්...ශානි මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා"

"අ..මොකක්ද සමිත?"

"මට ඔයත් එක්ක ටිකක් තනියෙම කතා කරන්න පුලුවන්ද?"

"මේ ශානි මට ඇඳුම් බෑග් එක ලෑස්ති කරගන්නත් තියෙනවනෙ..මම හොස්ටල් යන්නම්."

කකා හිටිය වඩේ කෑල්ල එක පාර කටට දාගෙන ප්ලේන් ටී එකෙන් උගුරු දෙක තුනක් බීපු සමාධි එතනින් ඉගිල්ලෙන්න කලින් මං දිහාට හැරිලා ඇහැක් ගහපු එක සමිත දැක්කෙ නෑ මං හිතන්නෙ.

"මොකක්ද සමිත කියන්න තියෙන්නෙ?"

"මේ මං දැන් ටික කාලෙක ඉඳන් මේක කියන්න ඉන්නෙ..ඒත් ඒකට හරියන වෙලාවක් ආවෙ නෑ. මට හිතුන අද තමයි හොඳම දවස කියල.."

මෙයත් තෙපරබබා ඉන්නව මිසක් කියන්නෙ නෑනෙ කෙළින්..ඒ ලෙවල් රිසල්ට්ස් ආපු දවසෙ පේජ් එක ලෝඩ් වෙනකන් කම්පියුටරේ දිහා බලන් ඉන්දැද්දිවත් මේ තරම හයියෙන් පපුව ගැහිනේ නෑ.

"ඉතින් මොකක්ද කියන්න කෝ...."

"මේකයි...ඔයා දැන් මාව දන්නවනේ..දැන් ඔයා මගෙ ළඟ යාලුවෙක් නෙ.."

ආයිත් අහලා...  එහෙම හිතුනත් මම කිව්වෙ නෑ

"ඔයාගෙ යාලුවා සමාධි..මගේ හිතේ එයා ගැන අදහසක් තියෙනවා ශානි. එයා වැඩිය කතා බහ කරන කෙනෙක් නෙවෙයිනෙ. එයා ඔහොම හරි කතා කරන්නෙ ඔයත් එක්ක විතරයි. ඒකයි මං හිතුවෙ ඔයා හරහා එයාට මේක කියවන්න. අනේ හොඳ ශානි වගේ එයාට මං ගැන කියල මගේ අදහසත් කියනවද? ඔයා මට එයාගෙ කැමැත්ත අරන් දුන්නොත් මං ජීවිතේට ඒ උදව්ව අමතක කරන්නෙ නෑ..

මට මේ වැඩේ කරල දෙනව නේද ශානි, ප්ලීස්........"

Sunday, March 16, 2014

මට යන්න අවසරයි....

ඔබ දුටු දින සිට ඔබ ගැන සිතුවද
ඔබෙ ලොවෙ මට ඉඩ නැති හිංදා...
ඔබට උරුම ලොව ඔබට ලැබෙන්නට
පතනෙමි ඔබගෙන් නික්මෙන දා

ඔබේ ඇසුරේ සිටි...ඒ කෙටි කාලෙදි
සුන්දර හැඟුමන් සිත වින්දා
ඔබෙන් වෙන්ව දිවි ගෙවන්නෙ කෙලෙසද
සිතනෙමි කඳුලක් නෙත රන්දා

ඔබ දිවි ගමනට අත්වල වෙන්නට
දන්නෙමි මාහට නොහැක කියා..
ඔබට උරුම ඇය..මතුයම් දවසක
හමුවනු ඇති බව දනිමි මෙමා

කවදාවත්ම ඔබ පතනා ඒ...
යුවතිය වන්නට නොහැකි නිසා
සමුගෙන යන්නෙමි ඔබේ ලෝකයෙන්
යළි කිසිදින හමු නොවන නියා........

මේ සෙලීන් ඩියොන් ගායනා කරන I love you good bye කියන ගීතයේ අසංෂිප්ත පරිවර්තනය නොවුනත්, ඒ සිංදුව අහද්දි මගේ හිතට ආපු අදහස ඔන්න ඔහෙ කවියක් කරලා ලියල දාන්න හිතුනා

Sunday, March 09, 2014

YouTube පැත්තෙ ගිහින් වීඩියෝ එකක් අරන් එන්න



යන්තම් හිත හදා ගෙන සතියකට සැරයක් වත් පෝස්ට් එකක් ලියනවා කියල ලෑස්ති උනාට මගේ බ්ලොග් එකේ තියෙන භූමි දෝසෙ හින්ද්ද මංදා ඒ වැඩේ හරියට කෙරෙන්නෙම නෑ. හැබැයි ඉතින් අනිත් අතට බ්ලොග් එක ලියනවා කියන්නෙ විනෝදාංශයක් එහෙමත් නැත්තන් පොඩ්ඩක් හිත නිදහස් කරගන්න කරන දෙයක් නිසා ඒක ඔලුවට වධයක් කරගන්න එක තේරුමක් නෑනෙ. ඒ නිසා වෙලාව තියෙන විදිහට ඔය පොඩ්ඩක් මොනව හරි ලියල යනවා කියල තමයි දැන් හිතාගෙන ඉන්නෙ.

ඇත්තටම පහුගිය ටිකේ නම් සෑහෙන වැඩ වැටුනා. පෝස්ට් ටිකක් කියවගන්න හරි පුලුවන් උනේ මේ ඊයේ පෙරේදා. මීට ටික දවසකට කලින් ඇඩ් හොක් (ad hoc) නෙට්වර්ක් එකක් හදාගන්න හැටි ගැන පෝස්ට් එකක් දාන්න ස්ක්‍රීන් ශොට්ස් ටිකක් එහෙම ගහගෙන ලෑස්ති උනත් ඒකවත් පිළිවෙලකට කරගන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ හිංදා ඒ පොස්ට් එක දාන එක දින නියමයක් නොමැතිව කල් දාල අද මේ පෝස්ට් එක ලියන්න හිතුවා.

මේ කථා කරන්න යන්නෙ එදිනෙදා ජීවිතයේ අන්තර්ජාල භාවිතයේදි උදව්වෙන දෙයක් ගැන.

සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට යූ ටියුබ් එක පැත්තෙ යැවෙනවනෙ. එහෙම ගියාම සමහර වෙලාවට ඒකෙ තියෙන වීඩියෝ එහෙම ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒ වෙලාවට අපි මොකක් හරි මෘදුකාංගයක්/add on එකක් මාර්ගයෙන් තමයි ඒ බාගත කිරීම කරන්නෙ.
අපි අපේ පරිඝනකයෙන් එහෙම දෙයක් කරද්දි නම් ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ඕනකරන මෘදුකාංග අපි කොහොමත් ඉන්ස්ටෝල් කරල තියෙන නිසා. හැබැයි යූ ටියුබ් වීඩියෝවක් බාගත කරන්න ඕන කරන මෘදුකාංග නැති පරිඝනකයකින් බාගත කිරීමක් කරන්න ගියාම ටිකක් අමාරුවෙ වැටෙනවනෙ...හැබැයි මේ ක්‍රමෙන් ලේසියෙන්ම කිසිම මෘදුකාංගයක් නැතුව ඒ වැඩේ කරන්න පුලුවන්.

මුලින්ම තමන්ට ඕන කරන වීඩියෝව යූ ටියුබ් එකෙන් ඕපන් කර ගන්න.



ඊළඟට ඒ වීඩියෝ එකේ URL එකෙන් https://WWW. කියන කොටස ඉවත් කරන්න.


දැන් ඒ වෙනුවට ss කියන අකුරු දෙක එතන ටයිප් කරලා එන්ටර් කී එක ඔබන්න.



දැන් ඔයාව වෙන සයිට් එකකටයැවෙයි. 


මේ savefrom.net කියන සයිට් එක හරහා තමයි අපිට ඕන වීඩියෝව බාගත කරගන්න පුලුවන් වෙන්නෙ.

දැන් අපිට අවශ්‍ය කරන ෆෝර්මැට් එක දීල ඩවුන්ලෝඩ් කියල දෙන්න විතරයි තියෙන්නෙ.



මේ ක්‍රමේ ගොඩක් අය දන්නවා ඇති. බොහොම පහසුවෙන් අපිට ඕන කරන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න මේ ක්‍රමයෙන් පුලුවන්. යූ ටියුබ් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න දෙන මේ විදිහෙ තවත් සයිට්ස් තියෙනවා. හැබැයි මම මුලින්ම දැනගත්තෙ මේ සයිට් එක ගැන. ඒ නිසා මම නම් පාවිච්චි කරන්නෙ මේක.. ලේසියි....සරලයි.  :)

එහෙනම් මං ගියා.....