Ads 468x60px

Monday, January 13, 2014

හිතේ තියෙන දේ



නළල දිගේ ගලාගෙන ආපු දාඩිය බිංදු ටික පිටි අල්ලෙන් පිහිදගත්තු නදී වටපිට බැලුවෙ තමන් එක්ක ආපු දමිත් කොහෙද කියල බලන්න. තමන්ට වඩා අඩි ගාණක් ඉස්සරහින් ඇවිදගෙන ගිය දමිත්ව, ටවුමෙ පිරිලා හිටිය මින්නිසු ගොඩෙන් හොයාගන්න නදීට ලේසි උනේ නෑ.

ගිනි ගහන මද්දහනේ අතින් කටින් බඩු මූට්ටු අරගෙන මිනිස්සු පිරිල ඉන්න ටවුමක් මැදින් ඇවිදන් යන එක ලේසි පහසු දෙයක් නෙමෙයි කියල දන්න හිංදම වෙනද නම් නදී සතියට ඕන කරන බඩු ටික ගන්න එන්නෙ ටිකක් හවස් වෙලා. ඒත් එදා උදේ දමිත්ට ටවුමෙ කරගන්න ඕන වැඩ ටිකක් තියෙනවා කියල නදීටත් එයත් එක්කම ටවුමට යමු කියල යෝජනා කරද්දි, නදී එක පයින් කැමති උනේ කාලෙකින් දමිත් එක්ක කොහේවත් යන්න පුලුවන් උනේ නැති නිසා.

බඩු ටික අරගෙන දමිත්ගෙ වැඩ ටිකත් කරගෙන එන ගමන් ටවුමේ කඩේකින් දවල්ටත් මොනව හරි කාලම එන්න පුලුවන් වේවි..සමහරවිට ටවුමේ ෆිල්ම් හෝල් එකට ඇවිත් තියෙනව කිව්ව අලුත් හිංදි ෆිල්ම් එකත් බලන්න යං කියල දමිත් කියයිද දන්නෙ නෑ. ඒක ලස්සන ෆිල්ම් එකක් කියල එහා ගෙදර නංගිත් කිව්ව. ඒක බලන්න යං කියල කියාගන්න විදිහක් නැතුවනෙ මං හිටියේ. “ 

ගෙදරින් එළියට බහිද්දි නදීගෙ හිතේ තිබ්බෙ ඔය වගේ අදහස් ටිකක්. ඒත් කම්පියුටරේට මොනවද කෑලි වගයක් ගන්න ටවුමට ආපු දමිත්, නදී ගෙදරට ඕනි බඩු ටික ගන්නකන් හිටියෙත් හරි නොඉවසිල්ලෙන්.
 
මිහිරි සංගීතයක් ඇහුන් නිසා නදී හැරිලා බලන කොට එයා දැක්කෙ පිටිප්ස්සෙන් එන අයිස් ක්‍රීම් කරත්තෙ. මේ වෙලාවට අයිස්  ක්‍රීම් එකක් තිබුන නම් කියල නදීට හිතුන
අනේ දමිත් අයිස් ක්‍රීම් එකක් අරන් දෙනව නම්.. තමන්වත් දමිත්වත් පහු කරගෙන යන අයිස් ක්‍රීම් කරත්තය දිහා බලන් හිටිය නදීට එහෙම හිතුනත් නදී ඒක කියන්න ගියේ නෑ.  

තවත් නම් ඉස්සරහට යන්න බැරි තරමට නදීට මහන්සි දැනුනත් දමිත්ට නම් ගාණක්වත් තිබුනෙ නෑ. යන්තම් යාලුවෙක් දැකල එයාට කතා කරන්න දමිත් නැවතුන වෙලේ නදීටත් එයා ළඟට කිට්ටු වෙන්න පුලුවන් උනා.
යාලුවා ගියාට පස්සෙ දමිත් නදී දිහා හැරිල බලද්දි නදී හිටියේ එක අතක තිබුන බඩු මල්ලක් අනිත් අතට මාරු කරන ගමන්.

"මං එකක් ගන්නද?"

"නෑ දමිත් මට පුලුවන් ගෙනියන්න"

නදී එහෙම කිව්වෙ, එයා එහෙම කිව්වත් දමිත් කොහොමත් තමන්ගේ අතේ තියෙන බෑග් එකක් ගනී කියල හිතුන නිසා. ඒත් එහෙම කියපු සැනින් අනිත් පැත්ත හැරිල යන දමිත් ගැන නදීට ඇති උනේ පුදුමයක්.

තව ටිකක් ඉස්සරහට යද්දි නතර කරල තිබ්බ ත්‍රී වීලර් ටික දැක්ක නදීට අනෙ ත්‍රීවීලර් එකක යන්න ඇත්තන්කියල හිතුනෙ නිරායාසයෙන්. නදී හිතපු දේ දැනිල වගේ ඉස්සරහින් ගිය දමිත් හැරිල

"ඔයාට වීලර් එකක යන්න ඕනද? මේ ටික දුර පයින් යන්න පුලුවන්නෙ? "කිව්වම 

"හා එහෙනම් පයින්ම යං" කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න නදීට පුලුවන් උනේ නෑ.

http://www.theguardian.com/
**********************************************************************************************************************

මේ සිද්ධියෙන් දවස් දෙකකට විතර පස්සෙ නදීට උදේ නැගිටිද්දි ඇඟට දැනුනේ කියා ගන්න බැරි අමාරුවක්. කෙඳිරි ගගා තේ ටික හදපු නදී කල්පනා කලේ දමිත් ගෙ දවල් කෑම එක හදන්නෙ කොහොමද කියල. තේ එක බොන ගමන් කුස්සිය පැත්තට ආපු දමිත් නදීගෙ මූණෙ තිබුන ලෙඩ පාට දැක්කා.

"ඇයි ඔයාට අසනීපයක්ද"

"උණ වගේ දමිත්"

නදීගෙ නළලට අත තියල බලපු දමිත්ට, නදීට හොඳටම උණ කියල තේරුම් ගන්න අමාරු උනේ නෑ.

"බෙහෙත් ටිකක් ගේන්න යමුද...හැබැයි මට වැඩට යන්න පරක්කු වෙයිද දන්නෙ නෑ"

"තව ටිකකින් අඩුවෙයි. මම පැරසිටමෝල් පෙති දෙකක් බිව්වා"

"හ්ම්..එහෙනම් දවල් වෙනකන් අඩු උනේ නැත්තන් එහා ගෙදර නංගි එක්කවත් ගිහින් බෙහෙත් ටිකක් ගන්න"
එහෙම කියපු දමිත්, හිස් කෝප්පෙ මේසෙ උඩින් තියල යන්න ගියා.

මම හිතුවෙ දමිත් බලෙන්ම හරි මාව ඩොක්ටර් ළඟට ගෙනියයි කියල..දමිත් වෙනස් වෙලාද මන්දා….

ඒත් නදීට ඒ ගැන වැඩිය හිතන්න උනේ නෑ. ඊට වඩා දරුණු ප්‍රශ්නයක් ඇයට වද දුන්නා.
"දමිත්ගෙ දවල් කෑම එක???"

දමිත්ගෙන් අහන්න ඕන අදට කඩෙන් පැකට් එකක් ගන්න පුලුවන්ද කියල" එහෙම හිතුනත් නදීට ඒක අහන්න හිත හදා ගන්න බැරි උනා.
දමිත්ම එහෙම කියනවනම්…...

"නදී" දමිත් කතා කරද්දි නදී හිටියෙ කුස්සියේ පුටුවට බර දීල.
"මේ එනව…….ඇයි දමිත්?"
ඔයාට කෑම හදන්න පුලුවන්ද? නැත්තන් මම කඩෙන් පාර්සලයක් ගෙන්න ගන්නම්. හැබැයි ඔය කඩ කෑම මට පෙන්නන්න බෑ. ඊයෙත් නුවන්ට බඩේ අමාරුවක් ඇල්ලුවා ඔෆිස් එක ලඟ තියෙන හෝටලෙන් කාල"

"මට එච්චර අමාරුවක් නෑ දමිත්..මං මේ හාල් ටික ගරන ගමන් හිටියේ"

"වැඩිය මහන්සි වෙන්න එපා..මාලු ජාති දෙකක් තිබුන නම් ඇති"
**********************************************************************************************************************
http://footage.shutterstock.com/
දමිත් ගේට්ටුවත් වහගෙන යන හැටි බලාගෙනම නදී ඉස්තෝප්පුවේ තිබුන පුටුවක වාඩි උනා. උණ ගතිය ටිකක් අඩු උනත් ඇඟට දැන්නුනෙ පුදුම කෙඩෙත්තුවක්.

නදීට තමන් ගැන දැනුනේ පුදුම ආත්මානුකම්පාවක්. පොඩි කාලෙ ඉඳන්ම නදී කිසිම දෙයක් කිසි කෙනෙක්ගෙන් ඉල්ලපු කෙනෙක් නෙවෙයි. 

පුංචි කාලෙ තාත්තා ගේන චොක්ලට් එක තනියෙම කන්න මල්ලි පොරකද්දි එයාටම ඒක දීල නදී පැත්තකට උනේ අම්මල එයාටත් කෑල්ලක් දෙයි කියල හිතපු නිසා.

"මල්ලි පොඩියිනෙ..එයාට ඕක කන්න දෙන්න. පස්සෙ ඔයාට වෙන එකක් ගෙනත් දෙන්නම්."
තාත්තා එහෙම කිව්වත් ඊළඟ දවසෙත් උනේ ඒකමයි.

අම්මල එක්ක ඇඳුම් ගන්න ගියාම උනත් කොච්චර ලස්සන ඇඳුම් තිබුනත් නදී ඒ කිසිම දෙයක් ඉල්ලුවෙ නෑ. අම්මල මට ඒක අරන් දෙයි..  නදී එහෙම හිතුවත් අම්මල සමහරවෙලාවට අරන් දෙන්නෙ වෙන ඇඳුමක්.
 ඒත් නදී, “මට මේක එපා අරක ඕන කියල කියන්න ගියේ නෑ.
දමිත් කියන්නෙ නදීගෙ පාසල් කාලෙ යාලුවෙක්. පුංචි කාලෙ ඉඳන්ම  දන්න නිසා දමිත් තමන්ව හොඳින් තේරුම් අරන් ඇතියි කියල නදී හිතුවා. 
 "එයා මාව හොඳට තේරුම් අරන් ඉන්නෙ. මේමම ඉල්ලන්නෙවත් නැතුව එයා මට ටෙඩි බෙයා කෙනෙක් ගෙනත් දුන්න"
යාලුවන්ට දමිත් ගෙනත් දුන්නු තෑගි පෙන්නන ගමන් නදී කිව්වෙ එහෙම.
ඒත් බැන්ඳට පස්සෙ දමිත්ට, තමන්ගෙ හිත කියවීමේ හැකියාව නැති උනාද කියල නදීට හිතුනා.

කවදාවත් මට ඕන දේ කෙනෙක්ගෙන් කෙලින්ම ඉල්ලන්න මට බෑ. මට හිතෙන්නෙ එයා මාව හොඳටම තේරුම් ගත්ත කෙනෙක් නම් මං කැමති දේවල් ඒ කෙනා තේරුම් ගනී කියලා. ඒත් බලාගෙන ගියාම කවුරුත් මට ඕන දේවල් ගැන, මම ආස දේවල් ගැන හිතන්නෙ නෑ. 

වෙලාවකට දමිත්, ඔයාට මේක ඕනද කියල අහද්දි එකපාරටම ඔව් නොකිව්වට, මම හිතන්නෙ එයා මාව තේරුම් අරගෙන මම මොනවා කිව්වත් ඒක අරන් දෙයි කියල...   

සමහර දවසට කේන්ති ගිහින් මට බැන්නම මම පැත්තකට වෙලා අඬ අඬ ඉන්නකොට ළඟට ඇවිත් "මම කියපු දේට දුක හිතුනද" කියල අහද්දි මම නෑ කියන්නෙ ඇත්තටම දුක නැතුවට නෙවෙයි.

"ඔව් මට දුකයි. ඇයි ඔයා මට එහෙම කතා කලේ..මං මොකක්ද කරපු වැරැද්ද කියල එයාගෙ මූණට අහන්න තරම් හයියක් මට නැති නිසා.
 ඒ වෙලාවට මට හිතෙන්නෙ මගෙ ඇස් වලින් ගලන කඳුලු කියන කතාව එයා තේරුම් ගනී කියල. ඒත් එහෙම වෙන්නෙ නෑ….

මම මොකක්ද කරන්නෙ..ඇයි කිසිම කෙනෙක්ට මගේ හිතේ තියෙන දේවල් දැනෙන්නෙ නැත්තෙ???

සමහර විට වැරැද්ද මගේම වෙන්න ඇති. හැමදෙයක්ම හිතේ හංගගෙන ඉන්නවා මිසක් වචනයෙන් කියන්නෙ නැතිකොට, අනිත් අය කොහොමද ඒවා තේරුම් ගන්නෙ එදා ගිනි අව්වෙ ඇවිත් ත්‍රී වීලර් එකක ආවෙ නැති තරහට මම දමිත් එක්ක වැඩි කතාවක් නොකලේ එයා කරපු වැරැද්ද එයාට තේරෙයි කියල. කොහෙද….එයාට ඒක ගානක්වත් තිබුනේ නෑ. 

ගමේ කුඹුරු කෑල්ල මගේ නමට ලියන්නද කියල  අම්මා අහපු වෙලාවෙ මම එපා කිව්වෙ එයාල කොහොමත් ඒක මට දෙයි කියල හිතුන නිසා..ඒත් ඒක හරි යන්නෙ නෑ. ආයෙත් ඔය කතාව ආවොත් නම් ඒක මට දෙන්න කියල අම්මට කියන්න ඕනි.

දමිත්ට උනත් එයාට ඕන විදිහටම කරන්න දෙන්න බෑ. මට ඕනි දේ මීට පස්සෙ කෙලින්ම මට ඕන කියල මම කියනවා. දුක හිතුනොත් ඒකත් කියනවා. තරහ ගියොත් ඒකත් කියනවා.

අද කෑම එක උනත්, හදන්න පුලුවන්ද කියල අහපු වෙලාවෙ බොරු නොකියා කෙලින්ම බෑ කියන්නයි තිබ්බෙ. මම මෙහෙම සද්ද නැතුව ඉන්නකොට හැමෝම මාව ලේසියට ගන්නවා. ආයෙත් නම් ඒ ගොන්කම් කරන්නෙ නෑ. අනිත් අයත් තේරුම් ගත්තදෙන් මමත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියල. 

එහෙම හිතා ගත්තු නදී පුටුවෙන් නැගිට්ට.

**********************************************************************************************************************

සිකුරාදා දමිත් නිවාඩු දැම්මෙ නදී එක්ක බැංකුවේ වැඩකට යන්නම තිබුන හිංදා. උදෙන්ම බැංකුවට ආවත් වැඩේ ඉවරවෙන කොට දවල් වෙලා. කුඩෙත් ඉහලගෙන ටික දුරක් එනකොට නදීට ඇඟට පණ නැති ගතියක් දැනුනෙ පහුගිය ටිකේ උණ නිසා හරියට කෑමක් නොකාපු හින්දා වෙන්නැති. 

අද නම් පයින් යන්න බෑ. ත්‍රීවීලර් එකක යන්න ඕන කොහොම හරි. දමිත්ටත් මම වෙනස් වෙලා කියල දැනෙන්න අරින්න ඕන මෙහෙමවත්.

නදී එහෙම හිතුවත් ඒ වෙලාවෙ ඒ හරියෙ කිසිම ත්‍රීවීලර් එකක් තිබ්බෙ නෑ. ටික දුරක් හෙමින් හෙමින් ඇවිදන් එනකොට ඈතින් එන ත්‍රී රෝද රථය නදී දැක්කා.

"නදී.. ත්‍රීවීලර් එකක් නම් එනවා. ඔයාට පයින් යන්න අමාරුනම් මේකෙ යං. නැත්තන්  ඔයාට පුලුවන්ද මේ ටික පයින් යන්න?"

ත්‍රී රෝද රථය ටික ටික තමන් ළඟට එන හැටි නදී බලාගෙන හිටියා...


"ඕන නෑ දමිත්….මට පයින් යන්න පුලුවන්."


26 comments:

  1. අවසානයේදීත් වෙනස් වීමක් නැහැ.. පරණ පුරුදු විදියමයි. හැබැයි මම හිතන්නේ හුගක් පිරිමි තමන්ගේ අමරුව දැනගත්තට වින්දට තමන්ගේ ගෑනිගේ අමරුව පේන්තෙන් නැහැ දැනෙන්නෙත් නැහැ. ඒ නිසා හොදම දේ තමා තමන්ට අයිති දේ ලබාගැනීම.. ලස්සනට ලියල තියෙනවා චාම්ස්...

    ReplyDelete
    Replies
    1. ජීවිත කාලයක්ම එකම විදිහකට ඉන්න පුරුදු උනාම කොච්චර ඕන උනත් එක පාර වෙනස් වෙන්න අමාරුයි දේශා...
      සමහර පිරිමි අය ගැන ඔයා කියල තියෙන කතාව ඇත්ත g-)
      ස්තූතියි දේශකයා.... :)

      Delete
  2. මට පේන විදියට....
    මේක පිරිමි සහ ගැහැණු කියන දෙකොට්ඨාසයේ ස්වභාවය පිළිබඳ අවුලක්. සාමාන්‍යයෙන් පිරිමියෙකුට වැඩිය කාන්තාවක් "හිතනව". උදාහරණයක් විදියට මගේ උදේ-නැත්තං දවල් කෑම එක වෙලාවට හදාගන්න බැරිවීම පිළිබඳව නෝන නැත්තං අම්ම වදවෙනව. නමුත් මට නං කෑම එක කියන්නෙ උදේ වැඩට යාමේදී 50%ක්වත් ප්‍රමුඛ නොවන සාධකයක්. බොහෝ පිරිම්න්ට කෑම නොලැබුනා කියල අවුලක් ඇත්තේම නෑ. (මෙතනදි නං දමිත් ටිකක් විතර ඒ ගැන හිතනව තමයි)
    අනිකුත් සෑම කාරණාවක්ම උනත් එහෙමයි. මම (වගේම බොහෝ පිරිමි) ලෙඩවුනොත් බෙහෙත් ගන්නෙ එක්කෝ නෝනගෙ නැත්තං අම්මගෙ උවමනාවට. ඉතිං අපිත් හිතනව කාන්තාවත් අපි වගේ කියල. නමුත් ඒක එහෙම නෑ. කාන්තාව සුළු සුළු දේවල් සම්බන්ධයෙන් උනත් සෑහෙන්න හිතනව කිව්වෙ ඒකයි.
    කාන්තාවන්ට අනන්‍ය මේ ස්වභාවය තේරුම් ගත්ත පිරිමින්ට පුළුවන් ලේසියෙන්ම කාන්තාවක්-කෙල්ලෙක් වසඟයට ගන්නත්. ඒ වගේ උදවිය ගැන කෙල්ලො හිතන්නෙ "අනේ එයා මං ගැන කොච්චර හිතනවද" කියල! :-)

    ReplyDelete
    Replies
    1. //මේක පිරිමි සහ ගැහැණු කියන දෙකොට්ඨාසයේ ස්වභාවය පිළිබඳ අවුලක්.//
      ඇත්ත...කාන්තාවක් පොඩි දෙයක් උනත් සලකන්නෙ මහ ලොකු දෙයක් විදිහට. සැමියගෙ/පෙම්වතාගෙ/යාලුවගෙ පුංචිම හරි වෙනස් වීමක් එයාට දැනෙන්නෙ ලොකු වෙනසක් විදිහට. ඇයට ලැබෙන අවධානය උනත් එහෙමයි. ඇය වෙනුවෙන් කරන පොඩි දෙයක් ඇයට ගොඩක් වටිනවා වගේම පුංචි හරි අතපසුවීමක් උනොත් ඒකත් සෑහෙන්න දැනෙනවා.

      //උදේ-නැත්තං දවල් කෑම එක වෙලාවට හදාගන්න බැරිවීම පිළිබඳව නෝන නැත්තං අම්ම වදවෙනව//

      මම හිතන විදිහට මේකට හේතුව කෑම හදල දෙන එක, ලෙඩට දුකට බලන එක තමන්ගෙ වගකීමක් විදිහට කාන්තාව දකින එක. ඒ වගේම තමන්ගෙ ආදරය දක්වන ක්‍රමයක් විදිහටත් මේ දේවල් ඇය පාවිච්චිකරනවා. මේවා කරන එක අතපසු උනොත් ඒක තමන් අතින් උන වැරැද්දක් විදිහට ඔවුන්ට දැනෙනවා.
      //කාන්තාවන්ට අනන්‍ය මේ ස්වභාවය තේරුම් ගත්ත පිරිමින්ට පුළුවන් ලේසියෙන්ම කාන්තාවක්-කෙල්ලෙක් වසඟයට ගන්නත්//
      හ්ම්ම් හ්ම්ම් :D

      Delete
  3. "මම කිව්වට පස්සේ දෙයක් කරලා වැඩක් නෑනේ. ඔයාම හිතලා ඒක කරන්න ඕනේ" අවුරුදු 2ක් මේ කතාව අහගන්නේ නැතිව වැඩ කරන්න බැලුවා. හරි ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕක ගොඩක් අය අහගන්න කථාවක් :)

      Delete
  4. කියවන්න ආස හිතෙන විදිහට හරිම ලස්සනට ලියලා තියෙනවා ..

    කියලා තියෙනවා වගේ පිරිමි අය වැඩිහරියක් ගැහැණු අය තේරුම අරන් නෑ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ තුශානි...
      ස්තූතියි... :)

      Delete
  5. මං නං බොහොම කළාතුරකින් තමයි දෙයක් හිතේ තියාගෙන නොකියා ඉන්නෙ... අනිත් එක මං “ ඕනෙ නෑ“ කියන ටෝන් එක සහ මගේ පොඩි පොඩි හැසිරීම් නිසාම අපේ මහත්තයා දන්නවා මේ එපා කියන්නෙ ඕනෙ කියන එකම තමයි කියල... හි හි...

    පොඩ්ඩක් ඕනෙකම තියෙනව නං පිරිමින්ට මේ හැටහතර මායම් තේරුම් ගන්න බැරිකමක් නෑ.. ඒත් වෙන්නෙ ඕනෙකම නැති වෙන එක.. බැඳලා ටික කාලෙකන්ම වයිෆ් ගැන බලන්න ගෙදර තමන්ගෙ අම්මලා, එහෙම නැත්තං තමන්ගෙ අක්කලා නංගිලා ඉන්න බව හිතලා, එහෙම නැත්තං ගොඩක් වෙලාවට බැන්ඳට පස්සෙ හස්බන්ඩ්ගේ පරණ ජීවිතෙයි අලුත් ජීවිතෙයි වැඩි වෙනසක් නොවෙන නිසා ( රස්සාවට යනව, ගෙදර එනවා, කනවා, ටීවී බලනව, නිදා ගන්නවා, පරණ රෑටීන් එකමයි ) හස්බන්ඩ්ලා වැරැද්දක් කරගන්නවා ගොඩක් වෙලාවට...

    ReplyDelete
    Replies
    1. හැමෝටම හිරු වගේ ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද..ඒ උනාට මට නම් ඕක කරන්නම බෑනෙ. ඒ නිසා මං වැටෙන්නෙත් නදීගෙ ගොඩටම තමයි :(

      මාත් හිතන්නෙ ගොඩක් අයට ඕනකමක් නෑ තමන්ගෙ බිරිඳ ගැන හොයල බලන්න. බඳින්න කලින් පෙම්වතිය ගැන ඕනවටත් වඩා හොයලා බලන කට්ටිය බැඳට පස්සෙ වයිෆ් ගැන ඒතරම් ඕනකමින් හොයල බලන්නෙ නැත්තෙ, "බැන්ඳට පස්සෙ එයා කොහොමත් දැන් තමන්ට අයිතියෙනෙ.. ඒ නිසා විශේශයෙන් හොයල බලන්න දෙයක් නෑ" වගේ අදහසක් එයාලට ඇතිවෙන හින්දද මන්දා.

      හිරූගෙ පැමිණීම සතුටක්... ගොඩක් ආදරෙන් ඔයාව හිත අද්දරට පිළිගන්නවා :-h

      Delete
  6. රාජ් ඇතුළු හුඟක් අය, ලේඛිකාව වූ චාම්ස්ද ඇතුළුව කියලා තියෙන්නේ මේ පිරිමි ගැහැණු ස්වභාවය පිළිබඳ ගැටලුවක්, එහෙම නැතිනම් පිරිමියා ගැහැණිය තේරුම් ගැනීමට උත්සාහ නොකිරීම පිළිබඳ ගෙටලුවක් කියලා.

    නමුත් මම දකින්නේ මේක ඒ විදියට නෙවෙයි. පිරිමියත් මේ තත්වයටම පත් වෙන්න පුලුවන් වගේම පත්වෙන බවට ඕනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්. මට ඔන්නම් මේ වගේ තත්වයකට මූණ පාන පිරිමියෙක් ගැනත් චාම්ස් තරම්ම දක්ෂ විදියට නැතත් කෙටි කතාවක් හැටියට ලියන්න පුලුවන් කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ලියන්නකො ඩූඩ්. එහෙම කතාවක් ලිව්වොත් ඒක ඩූඩ් මෙච්චර කාලෙකට ලිව්ව/පරිවර්තනය කරපු කතා වලට වඩා සෑහෙන වෙනස් එකක් වෙයි කියල හිතෙනවා

      //චාම්ස් තරම්ම දක්ෂ විදියට නැතත්....// :)) ඩූඩ් ලියන කථාවල හැටියට මේවත් කථාද..

      කොහොම උනත් ඩූඩ් වගේ කෙනෙක්ගෙන් ලැබුන ඒ අගය කිරීම මට ගොඩක් වටිනවා..ස්තූතියි.... :-h

      Delete
    2. චාම්ස්. මට මේ කතාව මතක් වුනා ජනූගේ මේ පෝස්ට් එක කියවනකොට. මේක ඔයා කියවලා බලන්නකෝ. පොරොන්දු සහ ඇරියස්

      Delete
    3. මම ඒ කථාව කියෙව්වා....තැන්ක් යූ ඩූඩ් ලින්ක් එකට :)

      Delete
  7. අපේ ඩූඩ් අයියා කිවුව අදහසත් එක්ක මාත් එකඟයි.. ඊයේ බස්සිගේ පොස්ට් එක දැක්කම මට හිතුනෙත් ඕකමයි.. ලියන්න දෙයක් හිතේ තියෙනවා.. වෙලාව ආවම ලියලා දාන්නම්..

    ReplyDelete
    Replies
    1. හිතේ තියෙනවා නම් ලියන්න ලියන්න දැන්මම..ආයෙ ඕකට නැකැත් බලන්න ඕන නෑනෙ :)

      Delete
  8. මං හිතන්නේ හැමෝම හුචක්කු සරත් විජේසුරිය මහත්තයාගේ දේශනාවක් ඇහුවනං හොද වගේ...

    ReplyDelete
  9. මෙවැනි දෙයක් දිගින් දිගටම වෙද්දී විවාහ ජීවිතයට දරුණු විදිහට බලපානවා චම්ස්... එන්න එන්න දෙන්නා විරසක වෙනවා මිසක් යහපතක් නම් වෙන්නේ නැහැ....

    ReplyDelete
    Replies
    1. ඔව් සහන්.. මෙතන තියෙන්නෙ බොහොම සියුම් ප්‍රශ්නයක්..හැබැයි ගොඩක් දෙනෙක්ට වැරදෙන තැනක් තමයි ඒක.

      Delete
  10. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නෙ ඕකටද මන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්.. මෙතන තියෙන ප්‍රශ්නෙ තේරුම් නොගත්තොත් නම් එහෙම වෙයි:-?

      Delete
  11. මං නම් එහෙම නෑ.. :D :D :D

    තමන්ගේ පහසුව වගේම අනුන්ගේ පහසුවත් ටිකක් හිතන්න පුළුවන් නම් ජිවිත ලස්සනට තියෙයි.

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳද :D :D :D

      සමහරු එහෙම හිතන්නෙ නැති එකනෙ අවුල :(

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)