Ads 468x60px

Monday, October 22, 2012

හිතට දැනුන ගීතයක්

අපි හැමෝම සින්දු අහන්න ආසයිනෙ. ගොඩක් වෙලාවට අපේ හිතට ගොඩක්ම ළං වෙන්නෙ අපි පුද්ගලිකව ලබපු අත්දැකීමකට සමාන අත්දැකීමක් ගැන ලියවිලා තියෙන ගීත. එහෙම නැතුව අපි ගීතයකට කැමති වෙනවනම් ඒ කැමති වෙන්නෙ ඒ ගීතයෙ තියෙන පදවල තේරුම එහෙමත් නැත්තම් තනුවෙ, සංගීතයෙ තියෙන ලස්සන නිසා. අද මේ කියන්න යන ගීතය, ඒ ගීතයෙ අර්ථය, සංගීතය හා තනුව ඒ වගේම  ගායනය කියන හැම දේකම තියෙන අපූර්වත්වය නිසාම මගේ හිතට ගොඩක්ම ළං වෙච්ච ගීතයක්.

දුකේදී හැඬුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා

අහස මෙන් ලත් චෝදනා
පොළව මෙන් දුක් උහුලනා//
මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපැදීලා
සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා

දුකේදී හැඬුමට.....

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා//
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරෙ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ

දුකේදී හැඬුමට.....

ගායනය: ටී.එම් ජයරත්න
පද රචනය:ඒ.ජී ශීලා
සංගීතය:සරත් දසනායක

කෙනෙක් මේ ගීතය ආදරවන්තයෙක් තමන්ගෙ ආදරවන්තියට ගයන ගීයක් විදිහටත් තවත් කෙනෙක් තරුණ සැමියෙක් තමන්ගෙ බිරිඳ වෙනුවෙන් ගයන ගීතය විදිහටත් මේ ගීතය දකින්න පුලුවන්. ඒත් මං කැමති  තරුණවිය ඉක්මවලා මැදිවියේ ඉන්න සැමියෙක් තමන්ගෙ ආදරණීය බිරිඳ වෙනුවෙන් ගයන ගීතයක් විදිහට මේ ගීතය දකින්න. එතකොට මේ ගීතයෙ තියෙන ආදරණීයබව තවත් වැඩියෙන් දැනෙනවා කියලයි මට හිතෙන්නෙ.

අම්මා කියන්නෙ කෙනෙක්ගේ ජීවිතේ ඉන්න වැදගත්ම කෙනාට. ඇය අපිට ආදරේ කරන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපිට හොඳක් වෙනවනම් ඇය තරම් කැමතිවෙන කෙනෙක් නෑ.ඒ වගේම අපිට දුකක් කරදරයක් වෙන වෙලාවට ඇය තරම් ඒ ගැන තැවෙන කෙනෙකුත් නෑ. ඒ නිසාම අම්මා තරම් අපි ගැන හිතන තවත් කෙනෙක් නම් මේ ලෝකේ නෑ කියල හිතෙන වාර ගාන අනන්තයි. ඒ උනත් මේ ගීතයේ තමන්ගෙ බිරිඳට  සැමියා කියනවා "තවත් අම්මා කෙනෙක් ඇත්නම් ඔබයි ඒ අම්මා" කියලා. කොයි තරම් නම් ආදරණීය බවක් ඒ වචන ඇතුලෙ තියෙනවද..

තමන්ගෙ සැමියට ශක්තියක් වෙන්න ගොඩක් කාන්තාවන් සෑහෙන කැපකිරීම් කරනවා. ඒ උනත් බොහොමයක් පිරිමින්ට තමන්ට ජීවිතය ජයගන්න තමන්ගෙ බිරිඳගෙන් ලැබුන සහය අමතක වෙනවා. මේ හැමදේම තමන්ගෙ මහන්සියේ ප්‍රතිපල නිසා විතරක්ම ලැබුන දේවල් කියල හිතන අයත් මේ සමාජයේ ඉන්නවා (හැමෝම නෙවෙයි) තවත් සමහරු තමන්ගෙ බිරිඳ ඔහුට ලොකු ශක්තියක් වෙනව කියල දන්නවා උනත් ඒක ප්‍රසිද්ධියේ පිළිගන්න අකමැතියි. ඒ අය අතරින් මේ සැමියා වෙනස්. ඔහු තමන්ගෙ ජයග්‍රහනවලට ඇයගෙන් ලැබුන ආදරයත් හේතුවක් කියල බොහොම පැහැදිලිව කියනව. 
"සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා"

ඇයවන් බිරිඳක් ලබපු ඔහු වාසනාවන්තයෙක්. හැබැයි මට හිතෙන්නෙ ඇය කරන කැපකිරීම් අගය කරන, ඇයගේ ආදරය තේරුම් ගත්ත, ඇය ඔහුට ශක්තියක් වෙන විදිහ හොඳින් අඳුර ගත්ත ඔහු වගේ සැමියෙක් ලබපු ඇයත් හරිම වාසනාවන්තයි කියලයි.
මේ ගීතයේ මම කැමතිම
"තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරෙ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ"
කියන පද ටිකටයි. කොයි තරම් ලස්සනට ඒ පද ටික ලියවිලා තියෙනවද....
මේ ගීතයේ තියෙන අරුත්බර, සංවේදී, ලස්සන පදරචනයට අමතරව එහි සංගීතයත් ටී. එම් ජයරත්නයන්ගෙ ආදරණීය කටහඬත් මේ ගීතය මගේ හිතට මේ තරම් දැනෙන්න හේතු උනා.

කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති නැති මේ ගීතය  මුලින්ම අහද්දි මගේ හිතට දැනුන ආදරණීය බව  අදටත් පොඩ්ඩක්වත් අඩු නැතුව  මේ සිංදුව ඇහෙද්දි  මගේ හිතට දැනෙනව.