Ads 468x60px

Tuesday, May 27, 2014

ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මම ආවා......

කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් එක පැත්තෙ ආවා...පහුගිය ටිකේ බ්ලොග් ලෝකේ හැමදාම වගේ ගිය සුපුරුදු සවාරිය යන්න බැරි උනේ බ්ලොග් ලියන ගොඩක් අයට හැදෙන රයිටර්ස් බ්ලොක් එක හැදිලා නෙවෙයි..ඊට වඩා දරුණු අසනීපයක් හැදුන නිසා.

ඇත්තටම පහුගිය ටිකේම හිටියෙ ලෙඩ ඇඳේ. අඩුම තරමින් ඇඳෙන් නැගිටින්නවත් පුලුවන්කමක් තිබ්බෙ නෑ. ඔය අතරේ ජීවිතේ ගැන මම හිතන විදිහ වෙනස් වෙන සිදුවීමක් උනා...

දවසක් රෑ බෙහෙත් බීල නිදාගෙන හිටියත් නින්ද නම් පැත්ත පලාතෙවත් ආවෙ නෑ. මට එහා පැත්තෙ අම්මත් නිදාගෙනයි හිටියෙ. කලින් ඇඟට දැනුන අමාරුව දෙගුන තෙගුන වෙලා දැනුනා. කොහොම හරි පැය ගානක් නිදා ගන්න ෆුල් ට්‍රයි කරලා යන්තම් ඇස් පියවුනා විතරයි.....

එක පාරටම මම ඇහැරුනේ හුස්ම ගන්න බැරුව. ඒ අත්දැකීම විස්තර කරන්න අමාරුයි. මුලින් මට දැනුනේ හරියට පපුව තදින් හිර කරනවා වගේ. ඒත් එක්ක කොයි තරම් හුස්ම ගන්න හැදුවත් පහසුවෙන් හුස්ම ඉහල පහල දාන්න පුලුවන් උනේ නෑ. ඒත් එක්කම අත් කකුල් සීතල උනා. ඊට පස්සෙ තමයි හොඳම හරිය. මට දැනුනේ ඔලුවෙ ලේ ඔක්කොම හිඳිලා යනවා වගේ. ඒක තවත් කෙනෙක්ට හරියටම පැහැදිලි කරන්න අමාරුයි..මං දන්න එකම දේ මීට කලින් කවදාවත්ම මට එහෙම දැනිලා නෑ කියල විතරයි.

ඒ වෙලාවෙ කථා කරගන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ. එහා පැත්තෙ හිටිය අම්මට තට්ටු කරල හරි කතා කරන්න හිතුනත් මං ඒ සිතුවිල්ල අයින් කරගත්තෙ හේතු කීපයක් නිසා.
මේ වෙලාවෙ අම්මට කතා කලොත් අම්ම කොයි තරම් බය වෙයිද?
මේ මහ රෑ ඉස්පිරිතාලෙටවත් යන්නෙ කොහොමද?
 
ඔය ප්‍රශ්නත් එක්ක තව දෙයක් එක ක්ෂණිකයෙන් හිතට ආවා. 

මීට මාස කීපෙකට කලින් මම මේ ජීවිතේ ගොඩක්ම ආදරේ කරපු, මට මුලු ලෝකෙම වෙලා හිටපු කෙනා හිතුවෙවත් නැති මොහොතක මට අහිමි උනා. මගේ බ්ලොග් එකත් එක්ක හිටපු අයට මේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඔහුගෙ අහිමිවීමත් එක්ක මේ ජීවිතේ ගැන මට පුදුමාකාර විදිහට කලකිරීමක් ඇති උනා. මගේ ජීවිතේ හැම දවසක්ම උදා උනෙත් නිමා උනෙත් ඔහුගෙ ආදරයත් එක්ක. ඉතින් ඔහු නැතුව ගෙවෙන හැම දවසක්ම මං ගෙව්වෙ හරිම අමාරුවෙන්. හැමදාම රෑට ඔහුගෙ පින්තූරෙ ළඟට ගිහින් මම ප්‍රාර්ථනා කලේ ආයෙත් ඔහු ළඟට යන්න ඇත්තම් කියල....

ඉතින් අර වෙලාවෙ මට ඇත්තටම  දැනුනේ ඒ දේ සිද්ධ වෙන්න යනව කියල. එක අතකින් ඒක හිතට සහනයක් දැනුනත් ඒත් එක්කම තවත් සිතුවිල්ලක් හිතට ආව..මං නැති උනොත් අම්මට කවුද ඉන්නෙ…. අම්මව බලාගන්නෙ කවුද? ඔය අදහසත් එක්ක හිතට දැනුනෙ මට ජීවත් වෙන්න සිද්ධ වෙනවා වගේ හැඟීමක්. ඊට පස්සෙ තමයි අම්මව ඇහැරවන්න ඕන කියල හිතුනේ.

එතනින් එහාට උන දේවල් කියන්න ඕන නැහැනෙ...

ඔය සිද්ධිය මගේ ජීවිතේ වෙනසක් කලා. ඒ වෙලාවෙ හුස්ම ගන්න බැරුව, මුලු ඇඟම පණ නැති වෙලා යද්දි ජීවිතේ මට දෙයක් කියල දුන්න. ඊට පස්සෙ තවත් දවස් ගානක් ඇඳට වෙලා ඉන්දැද්දි මං හිතුවෙ ඒ ගැන. අදටත් ඒ මොහොතෙ මට දැනුනු හැඟීම මම තේරුම් ගන්න උත්සහ කරනවා......

පලි: ආයෙත් වැඩට ආවම තමයි අපරාදෙ එදා ඒ වෙලාවෙ අම්මට කතා කලේ කියල හිතුනෙ. ඇයි දැන් ඉතින් සති ගානක වැඩ තියෙනවනෙ කවර් කරන්න. ආපහු වැඩට ඇවිත් දැන් සෑහෙන දවසක් උනත් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනේ ඒ නිසා. මේ වැඩ කන්දට යට උනොත් මේ සැරේ නම් ඇත්තටම මාව මැරෙයි වගේ :(  කොහොම උනත් අසනීප කාලෙ වැඩ කරන තැන කට්ටියගෙන් ලැබුනු සහයෝගය නම් හරිම වටිනවා….

ඉතින්....  මිනිස් ලෝකෙ වගේම බ්ලොග් ලෝකෙත් සැරිසරන්න ඔන්න මම ආයෙත් ආවා :)