Ads 468x60px

Thursday, May 24, 2012

අතීතාවර්ජනයක්



සරසවියෙන් ඉවත් වෙලා දැන් මාස දෙකයි. ඒත් මට නම් දැනෙන්නෙ ඊට වඩා ලොකු කාලයක් ගෙවිල ගිහින් කියල. කැම්පස් එකෙ ගත්ත පින්තූර ආයෙ ආයෙ බලද්දි ආයෙත් ඒ දවස් වලට යන්න ඇත්නම් කියල හිතෙනව. මෙහෙම කියන්නෙ මමමද කියල මටත් හිතාගන්න බෑ. කාලෙකට කලින් විභාග, අසයින්මන්ට්,ලෙක්චර්ස් එක්ක දවස ගෙවිලා යද්දි, කොච්චර කරත් වැඩ ඉවරයක් නැති, රෑ 2,3 වෙනකන් මැරී ගෙන වැඩ කරද්දී මං කල්පනා කරේ කැම්පස් එකෙන් අයින් වෙන්නෙ කවද්ද කියලා.  එහෙම හිතපු මම දැන් කියන්නෙ ආයෙත් මට කැම්පස් යන්න ආසයි කියල...ඇයි ඒ? මටත් හරියට හිතා ගන්න බෑ.

උදේම නැගිටිනව තරම් එපා කරපු වැඩක් මට නම් තවත් නෑ. ඒත් උදේට ලෙක්චර්ස් වැටුනම කරන්න දෙයක් නෑනෙ...ඉතින් නිදිමතේම ලෙක්චර්ස් යනව. ඊට පස්සෙ ලෙක්චර් එක ඉවර වෙනකම් මායි මගේ යාලුවයි තරඟෙට නලලෙ බාම් ගානව.මොකද හැමදාම අපි දෙන්නට ලෙක්චර් එකේදි ඔලුවෙ කැක්කුම හැදෙනව. පුදුමෙ කියන්නෙ දැන් ආයෙත් මතක් කරද්දි ඒ මතකය පවා හිතට දැනෙන්නෙ සුන්දර මතකයක් විදිහට. උදේට කන්න ගිහින් කන දෙයක් හිතා ගන්න බැරුව කෑම දිහා බලාගෙන ඉන්න හැටි, ඊට පස්සෙ ගත්ත කෑම වලට සල්ලි ගෙවන්න කට්ටිය "ඊයෙ ඔයා ගත්තනෙ අද මං ගන්නම්" කිය කිය එතන සල්ලි ගෙවන්න පොරකන හැටි, ඊට පස්සෙ තේ පෝලිමෙ හිටගෙන ඉන්න හැටි, ඊට පස්සෙ රටේ නැති ඒව කියව කියව කැම කන හැටි හරියට ෆිල්ම් එකක් වගේ මේ වෙලාවෙත් මගේ ඇස් ඉස්සරහ මැවිල පේනව.

ලයිබ්‍රරි එකට ගිහින් පැයක් විතර තෝරල තෝරල කලු ගල් වගේ බර පොත් අමාරුවෙන් අරන් ඇවිත් මේසෙ උඩින් තිබ්බට පස්සෙ ගොඩක් වෙලාවට මාත් පොතක් ගෙනාව  කියල මතක් වෙන්නෙ කවුරු හරි පොතක් දෙන්න ලයිබ්‍රරි යනකොට තමයි. ඇවිත් බලද්දි ගෙනාපු පොත දෙන්න ඕනි දවස පහු වෙලා.නැත්තන් දෙන්න තියෙන්නෙ හෙට. ඉතින් මටම බැන බැන ආයෙත් නම් ගේන පොත් එදාම කියවනව කියල හිතහිත පොත ගිහින් භාර දෙනව. ඒත් මොන එකක්ද මංද මට කවදාවත් ඒ වැඩේ කරන්න බැරි උනා. අන්තිමේදි පොත් ගේන එකත් නැවැත්තුව. තේරුමක් නෑනෙ පොත් නිකන් එහාට මෙහාට ප්‍රවාහනය කරලා.

කැම්පස් එකේ මගෙ සුන්දරම මතකය විදිහට තියෙන්නෙ යාලුවොත් එක්ක කොහේ හරි තැනකට සෙට් වෙලා කතා කර කර ඉන්න එක. ගහක් යට තිබ්බ ලී බංකු තුනක වාඩි වෙලා රස කතා, ආගිය තොරතුරු,අතීත මතක කිය කිය හිතේ හැටියට හිනා වෙවී කතා කර කර ඉන්න මං හරිම ආසයි. ඒ වෙලාවට හිතට දැනෙන සැහැල්ලුවට මං පුදුම විදිහට ආස කලා. මං දන්නව ආයෙත් කවදාවත් මට ඒ විදිහෙ සැහැල්ලුවක් දැනෙන්නෙ නෑ කියලා.ඒ මතකය විතරයි අද මට තියෙන්නෙ.

කම්පියුටර් ලැබ් එකට යන්න වෙන එකටනම් මං හරිම අකමැතියි. පැය තුනක් විතර AC එකේ ඉඳල එළියට එනකොට මුලු ඇඟම ගල් වෙලා වගේ. ඒත් ඉතින් මොනව කරන්නද...සමහර වෙලාවට මං ලැබ් එකට ගියෙ අයිස්ලන්තයට යනව වගේ. අත් දිගට තියෙන ඝනකම් බ්ලවුස් එකක් ඇඳල තව ජර්සියකුත් ඇඳල ඇතුලට ගිය වෙලේ ඉඳල අත් දෙක එකට අතුල්ල අතුල්ල හිටපු හැටි මතක් වෙනකොටත් හිනා. හොඳම වැඩේ වෙන්නෙ උදේ ලැබ් එකේ ලෙක්චර්ස් තිබිලා හවස තියෙන ලෙක්චර් එක පටන් ගන්නකන් ඉන්න කාළය. දවල්ට එළියෙ තියෙන රස්නෙත් එක්ක අර විදිහෙ බ්ලවුස් ඇඳන් ඉන්න ගියාම පිස්සු හැදෙනව.

අපේ කැම්පස් එක තියෙන්නෙ හරිම සුන්දර පරිසරයක. කාලෙකදි මුලු සරසවියම මීදුමෙන් වැහෙනව. ඔය පහලින් දාල තියෙන්නෙ කැම්පස් එකේ පින්තූර ටිකක්.

 
යාලුවොත් එක්ක කතා කර කර ඉන්න තැනක්





ඡායාරූප අයිතිය නදීර සඳරුවන්


ඡායාරූප අයිතිය නදීර සඳරුවන්


සමහර වෙලාවට ඈතින් පේන කඳු ටික දිහා බලාගෙන ඉන්න මං හරිම ආසයි. හවස දේශන ඉවරවෙලා ඉර බැහැගෙන යද්දි යාලුවොත් එක්ක හිමින් හිමින් ඇවිදගෙන සරසවිය පුරාම ආයෙත් යන්න ඇත්තම් කොච්චර හොඳද කියල මට පහුගිය මාස දෙකට හිතුන වාර ගාන අනන්තයි.

කැම්පස් එකේදි මං ටිකක් නිහඬ චරිතයක්. ඉස්කෝලෙ කාලෙ කෑගහල දඟලල හිටිය මං කැම්පස් එකට ගිය ගමන් හරි තැන්පත් කෙනෙක් උනා. අන්තිම දවසෙ අපේ කට්ටිය එකතු උන වෙලාවකදි මගෙ සගයෙක් මාව හැඳින්නුවෙත් ටිකක් හැංගිලා ඉන්න උත්සහ කරපු කෙනෙක් විදිහට. එක අතකින් ඒකත් ඇත්ත. ඉස්කෝලෙදි හැම වැඩකටම පැනගෙන ගිය මං සරසවියෙදි කැමති උනේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ආයෙත් මට මුල ඉඳන්ම කැම්පස් යන්න ලැබුනොත් මීට වඩා සැහැල්ලුවෙන් ඉන්න, හරියටම කියුවොත් මම මං විදිහටම ඉන්න උත්සහ කරාවි. එහෙම උනානම් මීටත් වඩා සරසවි ජීවිතය ලස්සන වෙන්න තිබ්බ කියල දැන් මට හිතෙනව.

මීට කලින් භාගෙට ලියපු ලිපි වගයක් තියෙද්දි හදිස්සියේම මගෙ සරසවි ජීවිතය ගැන ලියන්න හිතුන හේතුව මට හිතාගන්න බෑ. ඒත් අද මහ පාලුවක්, කාන්සියක් හිතට දැනුනා. ඒ වෙලාවෙ ඉබේටම වගේ හිතට ආපු මේ සුන්දර මතකයන්  ටික හිතට එන විදිහටම ලියලා දාන්න හිතුනා.