Ads 468x60px

Friday, July 26, 2013

උපාධියට පසුවදනක්

ඔන්න දැන් මම පොඩි කතාවක් කියන්න යන්නෙ.
ඔන්න කාලෙක ඉඳන් ගෑණු ළමයෙක් ලොකු හීනයක් දැක්කා. ඒ තමයි කවදා හරි දවසක කැම්පස් යන්න. ඒ හීනය කවදා කොහොම හිතට ආවද කියන්න එයාවත් දැනන් හිටියේ නෑ. කොහොම හරි මීට අවුරුදු පහකට කලින් ඒ හීනය හැබෑ උනා.  ගෙදර අයත් එක්ක ඇය සරසවි භූමියට ඇතුල් උනේ සතුටින් වගේම චකිතෙන්. අඳුරන්නෙ නැති මිනිස්සු වගේම පුරුදු නැති වටපිටාවත් ඇගේ හිත චංචල කලා. ගෙදරින් පිට ඉඳලම නැති ඇයට නාඳුනන මිනිස්සු ගොඩක් මැද දැනුනෙ ලොකු තනිකමක්. ගෙදර තනි කාමරයක රජ කරපු ඇයට හොස්ටල් කාමරේ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න එක අලුත් අද්දැකීමක් උනා. උදේ නමය දහය වෙනකන් කිසි කරදරයක් නැතුව නිදාගන්න පුරුදු වෙලා හිටිය ඇයට පාන්දර හතරේ ඉඳන් ඇහෙන කට්ටියගෙ සද්දත් එක්ක ඇහැරෙන එක සෑහෙන්න අමාරු උනා. උසස් පෙළට හැදෑරූ විශයන්ගෙන් වෙනස්ම විශය ධාරාවකින් ඉගෙන ගන්න එකත් ලොකුම ලොකු අභියෝගයක් උනා. කොහොම හරි කාලයත් එක්ක එයා ඒ හැමදේටම හුරු උනා. අලුත් පුරුදු, පුරුදු උනා, අලුත් මිනිස්සු ගොඩක් අඳුරගත්තා, වෙනස් වෙනස් විශය කරුනු දැනගත්තා...හැමදේටම වඩා ඇය ජීවිතය ඉගෙන ගත්තා.

ඔව් ඒ ඇය තමයි මම. කෙටියෙන්ම කිව්වොත් පහුගිය දවසක අපේ කොන්වකේශන් එක තිබ්බ. කාලයක් තිස්සෙ කොන්වකේශන් දවසට මෙන්න මේ දේවල් කරනව කියල හිතේ ලිස්ට් එකක් තියාගෙන හිටියත් අන්තිමේදි ඒ එකක්වත් කරගන්න ලැබුනේ නෑ. හිතට දැනෙන්න නියමිතව තිබුන සතුට වෙනුවට මොකක්දෝ ලොකු පාලුවක් වගේම හිස් බවකුත් දැනුනා.

ඒ දේවල් කොහොම උනත් ඔය උපාධි සහතිකේ මගේ අතට ලැබීම සම්බන්ධයෙන් ඍජුවම  වගකියන්න ඕන පාර්ශව කීපයක්ම ඉන්නවා.

මුලින්ම මගේ ගෙදර අය. එයාලගෙන් ලැබුන ආදරය, වගේම සහයෝගය නොවෙන්න උපාධිය තියා ජීවිතේ කිසිම දෙයක් සාර්ථක කරගන්න ලැබෙන්නෙ නෑ.

ඊලඟට ගුරුවරු. ඉස්කෝලෙ පළවෙනි වසරෙ ඉඳන් කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ අන්තිම සෙමෙස්ටරය වෙනකන් අධ්‍යාපනයෙන් වගේම ජීවිතය ගැන දැනුමෙනුත් මාව පෝෂනය කරපු ඔවුන්ව මේ මොහොතෙ මම ආදරයෙන් සිහි කරනවා.

අනිත් අය තමයි මේ රටේ ජනතාව. ජීවිතේට දැකලවත් නැති මටත්, මම වගේම තවත් දාස් ගානකටත් ඉගෙන ගන්න වියදම් කරපු හැමකෙනෙක්ටම ස්තූතිවන්ත වෙන්නම ඕන. 

Last but never the least  මගේ යාලුවෝ. මොන්ටිසෝරියේ, ඉස්කෝලෙදි වගේම කැම්පස් එකේදිත් මගෙ ජීවිතේට ළං උන මගේ ආදරණීය යාලුවො ටික නොහිටින්න, මගේ ජීවිතේට ලස්සන මතක සටහන් ගොඩක් නොලැබී යන්න තිබුනා. විශේෂයෙන් කැම්පස් එකේදි හමුවෙලා මගේ පවුලෙම අය තරම් මට සමීප උන, මගෙ ප්‍රශ්න වලදි මාත් එක්ක හිටිය, ජීවිතේ තේරුම් ගන්න මට උදවු කරපු, ඒ ආදරණීය යාලුවො ටික මට ගොඩක් වටිනවා. ඒ හැමෝම ජීවිතේ කිසිම දවසක මට අමතක වෙන්නෙ නෑ.

ඔන්න ඔය අය තමයි මේ වෙලාවෙ මට විශේෂයෙන් මතක් කරන්න ඕන උනේ...
අහ්...තව සහයෝගය දක්වපු කට්ටියක් ඉන්නවනෙ 

ඔන්න ඉතින් ඔය විදිහට තමයි මට මතක ඇති කාලෙක ඉඳන් දැකපු එකම හීනේ යථාර්තයක් උනේ. මෙතනින් ඉස්සරහට කරන්න ඕන මොනවද කියල මට ලොකු අදහසක් නෑ. රස්සාවත් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි දැන් නම් කරන්නෙ. එහෙම ඉන්න එකේ පැති දෙකක් තියෙනවා. එක අතකින් දැන් ජීවිතේ හරි සරලයි. අරමුණක් හදාගෙන ඒක ඉෂ්ට කරගන්න දුවන කාලෙට වඩා ජීවිතේ දැන් නිදහස්. අනිත් අතට මෙතනින් ඉස්සරහට ජීවිතේ මොන වගේ වෙයිද කියන එක ටිකක් පැටලිලි සහගතයි. හැබැයි ඉතින් ඒකට නම් කමක් නෑ. වෙන දෙයක් වෙන්නෙ නැතෑ කියල හිටියම ඉවරයිනෙ
  



 The End