උදේ ඉඳන් එක දිගට
ආව ප්‍රශ්න අමිලගෙ හිතට එකතු කලේ ඒ
තරම් පහන් හැඟීමක් නෙවෙයි. ඔෆිස් එකේ ඉවරයක් නැතුව තිබ්බ වැඩ ගොඩ, ලොක්කගෙන් අහන්න උන
බැනුම්, ඔෆිස් එකෙන්
එලියට එද්දිම කඩාගෙන වැටුන අනෝරා වැස්ස, ඒ මදිවට ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති බස් එකක යන්තම් එල්ලිලා එන්න උන එක, මේහැම දෙයක්ම අමිලගෙ හිතට
එකතු කලේ නොරිස්සුම් සහගත හැඟීමක්. කාත් එක්ක මොන හේතුවකටද කියල හරියටම දන්නෙ නැති
උනත් අමිලගෙ හිතේ තිබ්බෙ තරහක්.
වැස්සෙ තෙමීගෙන
බස් එකේ තෙරපිලා ආපු අමිලගේ හිතේ තිබ්බ ඒ තරහ වැඩි උනේ වෙනද වගේම වැඩ ඇරිල එන
අමිලව පිලිගන්න ඉස්තෝප්පුවට වෙලා බලාගෙන ඉන්න සකුණිව දැක්කට පස්සෙ.
මෙයාට නම් මොකද
හොඳට ගෙදරට වෙලා ඉන්න එකනේ…මං එපැයි හැම දුකක්ම විඳින්න.
"පුදුම වැස්සක් නේද අමිල.
මං බයේ හිටියෙ... ඔයා හොඳටම
තෙමිල" සකුණි අමිලගෙන් බෑග් එක ගන්න ගමන් කිව්ව.
"මේ වගේ වැස්සකට අහුවෙලා
තෙමෙන්නෙ නැතුව එන්න පුලුවන්ද?"
ඇස් දෙක
දිහා එක එල්ලෙ බලල අමිල තරහෙන් එහෙම
කියද්දි සකුණි නිහඬ උනේ මේ ඇයි කියල හිතාගන්න බැරුව.
හැමදාම හවසට වැඩ
ඇරිල ආවට පස්සෙ ඇඟ හෝදගෙන අමිල ඉස්තෝප්පුවට එද්දි සකුණි උණු තේ කෝප්පෙත් අරගෙන
එතනට එනව. ඊටපස්සෙ දෙන්න පැයක් විතර එදා දවසේ විස්තර කථා කරන එක පුරුද්දක්. එදත්
සකුණි තේ එකත් හදාගෙන අමිල ආස නිසා හවස තේ වලට හදපු අලුව ටිකත් අරගෙන සාලෙට ආවත්
අමිල එතන හිටියෙ නෑ. තේ කෝප්පෙත් අරන් සකුණි නිදන කාමරේට යද්දි ඇඳුම් මාරු කරගෙන
හිටිය අමිල ඇඳේ හාන්සි වෙලා ඇස් දෙක පියාගෙන හිටිය.
"ඇයි අමිල ඔයාට සනීප නැද්ද?" අමිලගෙ ඇඟට අත තියල උණ
බලන ගමන් සකුණි ආදරයෙන් ඇහුවත් අමිල මොකුත් නොකියා හිටියෙ තාමත් හිතේ නොරිස්සුම්
සහගත බවක් තිබුන නිසයි.
මේ වෙලාවෙ
සකුණිගෙ හිතට ආවෙ උදේ තැපැල් කරන්න කියල අමිලට දුන්න ලියුම. රැකියාවකට ඉල්ලුම් කරල
සකුණි හදපු අයදුම් පත උදේ වැඩට යන ගමන් තැපෑලට දාන්න අමිල උදේ පොරොන්දු උනා. අද
තැපෑලට දැම්මෙ නැත්තම් ඒ ලියුම වෙලාවට යන්නෙ නෑ කියල සකුණි දැනගෙන හිටිය.
මේ වෙලාවෙ ඕක
ඇහුවොත් තවත් තරහ යයි.
එහෙම හිතපු සකුණි හිමින්ම බෑග් එක ගාවට ගියේ තාම ලියුම බෑග් එකේද කියල
බලන්න.
" මොනවද ඔය අදින්නෙ?"
අමිල සැරෙන්
අහද්දි සකුණි තිගැස්සුනා.
"නෑ මේ..."
"මොනවටද මගෙ බෑග් එක
අදින්නෙ" කලින්ටත් වඩා සැරට අමිල අහද්දි සකුණි තවත් බය උනා.
"අර ලියුම..ඔයා පෝස්ට්
කලාද කියල බැලුවෙ"
"මේ ජරා වැස්සෙ බස් එකේ
තෙරපිල එනව මදිවට තව ලියුමුත් තැපැල් කරන්න යන්න ඕනද මං?"
"අනේ ඇයි අමිල මේ? මං මොනව හරි වැරැද්දක්
කලාද? ඇයි මේ ආපු
වෙලාවෙ ඉඳන් මාත් එක්ක තරහෙන්"
"මහන්සි වෙලා මහන්සි වෙලා
ඇවිත් ටිකක් නිදහසෙ ඉන්න නැති හැටි. ඒ පාර පටන් ගත්තද හරස් ප්‍රශ්න අහන්න"
"අනේ ඇයි මේ අමිල"
"කටවහගන්නව......"
එතනින් පටන්ගත්ත රණ්ඩුව මොන මොන මාතෘකා දිගේ
ඇදිල ගියාද කියල අමිලටවත් තේරුමක් තිබ්බෙ නෑ. උදේ ඉඳන් හිතේ එකතු වෙලා තිබ්බ පීඩනය අන්තිමට පිට
උනේ සකුණිගෙ කම්මුල හරහ වැදුන තද කම්මුල් පාරකින්. උදේ ඉඳන් කෑම කන්නවත් වෙලාවක්
නොදී වැඩ කරගන්න කන්තෝරුවට ආපු මිනිස්සු එක්ක, පොඩි වැරැද්දක් අල්ලගන මුලු ඔෆිස් එකම බලාගෙන ඉද්දි තමන්ට බැනපු ලොක්කත්
එක්ක, ඇඟිල්ලක් ගහන්න
ඉඩ නැති බස් එකට තව සෙනග පටව ගත්ත කොන්දොස්තර එක්ක, තමන්ව තෙත බරිත වෙන්න වැහැපු වැස්සත් එක්ක තිබ්බ තරහ, තමන් අන්තිමේදි යැව්වෙ සකුණි පිටින් කියල ඒ වෙලාවෙ අමිලට
තේරුමක් තිබ්බෙ නෑ.
දෑතින්ම කම්මුල
අල්ලගත්ත සකුණි ඇස් දෙක ලොකු කරන් අමිල දිහා බලාගෙන හිටියෙ අමිල ගැහුවෙ කම්මුලට
උනාට වේදනාව දැනුනෙ හදවතට නිසා. කෑහගල ඇඬුව සකුණි තත්පර ගානකට පස්සෙ මිදුලට බැහැල
ගේට්ටුවෙන් එලියට දුවන හැටි අමිල බලාගෙන හිටිය.
ඔය දුවන්නෙ
අම්මලගෙ ගෙදරටනෙ.
සකුණිගෙ මහ ගෙවල් තිබ්බෙ අමිලගෙ ගෙදර ඉඳන් පයින් ගියොත් මිනිත්තු හතලිස් පහක විතර දුරකින්. රෑ වෙලා එක්කො තාත්ත එක්කරගෙන
එයි නැත්තන් මට හෙට යන්න වෙයි
එක්කරගෙන එන්න. එහෙම හිතපු අමිල කුස්සිය පැත්තට ගියා. සකුණි එයාට හදාගත්ත තේකෝප්පෙ
කුස්සියෙ ඇල්වෙලා යනව අමිලට පෙනුනා.
**************************************************************************************************************************************
පහුවදා උදේ
ඇහැරෙද්දි අමිල සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වෙලා හිටියා. ඒ තිබ්බ නොරිස්සුම් බව
නැතිවෙලා ඊයේ උන දේවල් ගැන ලොකු
කලකිරීමක් ඔහුගෙ හිතට දැනුනා.
පව් සකුනි..ඒ කෙල්ල මොන වැරැද්දක් කළාටද මං අර
විදිහට කෑගැහුවෙ. ඒ වෙලාවෙ මට මොකක් උනාද මංද. සකුණි SMS එකක්වත් ඒවලද දන්නෙ නෑ කියල ෆෝන් එක
අතට ගත්තත් සකුණි ගෙදරින් ගියේ ෆෝන් එක අරගෙන නෙවෙයි කියල ඔහුට මතක් උනා.
අද ඔෆිස් යන්නම
තිබුනෙ නැත්තම් දැන්ම සකුලගෙ ගෙදර යන්න තිබ්බ. කමක් නෑ… හවසටම යනව. එතකොට එයාගෙ
තරහත් නිවිල තියෙයිනෙ
**********************************************************************************
ඈතින් සකුණිලගේ
ගෙදර දකිද්දි අමිලගෙ හිතට පොඩි තිගැස්මක් දැනුනේ
සකුණිගෙ ගෙදර අය මොන විදිහෙ ප්‍රතිචාරයක් දක්වයිද කියල බය හිතුන නිසා. ගේට්ටුව අරිද්දිම සකුණිගෙ
අම්ම මල්පැල ගාව මොනවද කරන හැටි අමිලට පෙනුන.
"ආ මේ
පුතානෙ..මං බැලුව ඒත් කවුද කියල.."
"අම්මෙ
සකුණිට පොඩ්ඩක් කථා කරනවද?"
"සකුණි..සකුණි මෙහෙ ආවෙ නෑනෙ
පුතේ"
"මොකක්?"
එක පාරටම අමිලට
හිතුනෙ සකුණි ගෙදර හැංගිලා ඉඳන්
අම්මට එයා නෑ කියල කියන්න කියල ඇති කියල. ඒ උනත් "මේ පොඩ්ඩක්
මෙහෙ එන්නකෝ" කියල අම්මා බය වෙලා වගේ තාත්තට කථා කරද්දි මෙතන කිසිම බොරුවක් නෑ කියල අමිලට තේරුනා.
එතන ඉඳන් රෑ
වෙනකන් අමිලත් සකුණිගෙ දෙමව්පියනුත් කළේ දන්න කියන හැමතැනම සකුණිව හොයපු එක. මධ්‍යම
රාත්‍රිය වෙනකනුත් කිසිම ආරංචියක් නැති තැන "අපි පොලීසියට කියමු" කියල අම්ම
කිව්වෙ වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි උන නිසා.
"දුව ඇත්තෙ
කවුරු හරි යාලුවෙක්ගෙ දිහා. හෙට උදේට සමහර විට අපිට කතාකරයි. මේවා පොලිස් පොතේ
ලියවුනාම ඒ දරුවටමයි හොඳ නැත්තෙ. ඒ නිසා අපි හෙට වෙනකන් ඉවසල බලමු"
තාත්ත එහෙම
කියද්දි හැමෝම ඒ තීරණයට එකඟ උනා.
එදා රෑ අමිලට එක
විනාඩියක්වත් නින්ද ගියේ නෑ. අනේ දෙවියනේ මගේ සකු දැන් කොහෙ ඇත්ද? එයාට මොනවත් කරදරයක්වත්ද..නෑ
එහෙම වෙන්නෙ නැ. මේ හැමදෙයක්ම මං හිංද .මට ඊයේ මොන යකෙක් වැහුනද මංද....අමිල සියවෙනි වතාවටත් හිතුව. ආයෙ නම්කවදාවත්
මං සකූට බනින්නෙ නෑ. එයාව හොයාගත්ත ගමන් එයාගෙන් මං සමාව
ඉල්ලනව……..
පහුවෙනිද් උදේ දහය
වෙනකනුත් කිසිම ආරංචියක් නැති නිසා සකුණිගෙ තාත්තත් එක්ක අමිල පොලීසියට ගියා.
පොලීසියේ ඉන්ස්පෙක්ටර් සකූගෙ තාත්තගෙ යාලුවෙක් නිසා කෙලින්ම එයාට මේ කතාව කියන්න
පුලුවන් උනා.
බොහොම අවධානයෙන්
විස්තර අහගෙන හිටිය ඉන්ස්පෙක්ටර්වරයා සකුණිගෙ හැඩරුවත් අහගත්ත. ඊටපස්සෙ තවත් පොලිස්
නිලධාරියෙක් එක්ක වචන කීපයක් හුවමාරු කරගත් ඔහු
"මිස්ටර්
සමරනායක අපි පොඩි ගමනක්
ගිහින් එමු" කියල කිව්වෙ සකුණිගෙ තාත්ත දිහා බලාගෙන.
"ඒ කොහෙද
ඉන්ස්පෙක්ටර්?"
"ඉස්පිරිතාලේ
හඳුනා නොගත් ගෑණු කෙනෙක්ගෙ මළසිරුරක් තියෙනව. ඒ මිසිස් රත්නායකමයි කියල මං කියන්නෙ
නැ. අපි කෝකටත් ගිහින් බලමු"
"නෑ
ඉන්ස්පෙක්ටර්..කවදාවත් සකූ ජීවිතේට හානියක් කරගන්නෙ නෑ. මං දන්නව මගෙ සකූ එහෙම
කෙනෙක් නෙවෙයි"
"ඔව්
ඉන්ස්පෙක්ටර්..මගේ දුව මේ වගේ දේකට සියදිවි හානි කරගන්න කෙනෙක් නෙවෙයි…"
"මේ සියදිවිහානි කරගත්ත
කෙනෙක් නෙවෙයි මිස්ටර් සමරනායක.. ඇක්සිඩන්ට් වෙච්ච කෙනෙක්. පෙරේද හවස හය හමාරට විතර පාක් එක ලඟදි බස් එකකට
හැප්පිලා. ලඟ හිටපු අය කියන්නෙ කලබලයෙන් වගේ දුවගෙන ඇවිත් වටපිට බලන්නෙ නැතුව පාර
පනින්න ගිහින් බස් එකකට හැප්පුනා කියල. ඊයේ දවසමත් සිහිය නැතුව ICU එකේ හිටිය නිසා අපිටත්
විස්තර අහගන්න විදිහක් තිබ්බෙ නෑ. අද උදේ තමයි නැතිවෙලා තියෙන්නෙ. කලබල වෙන්න එපා. අපි තාම දන්නෙ නෑනෙ ඒ සකුනිමද
කියල.කෝකටත් ගිහින් බලමු"
පොලිස් පරීක්ෂවරය
කියන දේවල් අමිලට ඇහුනේ ඈතින් එන හඬක් වගේ. ඔහුගෙ හිස කරකැවෙන්න පටන් ගත්ත.
ඒ සකුණි නම්
වෙන්න එපා. මගෙ සකූට එහෙම වෙන්න බෑ….අනේ...ඒ සකුණි නම් වෙන්න එපා දෙවියනේ!!!!!!!!
**********************************************************************************
දානෙන් පස්සෙ හැමෝම ගෙදරින් පිට වෙලා ගියාට පස්සෙ අමිල ඉස්තෝප්පුවට ඇවිත් වාඩි උනා. ගෙදර වගේම තමන්ගෙ ජීවිතේත් එක පාරටම පාලුවෙලා ගිහින් තියෙන හැටි ඔහුට දැනුන. පහුගිය දවස් හත ඔහුට දැනුනෙ හීනයක් වගේ.
මේ හැමදෙයකටම
මුල මම. මං මොකක්ද මේ කරගත්තෙ. අනෙ ඇයි අපිට මෙහෙම උනේ සකූ.....
තමන් ගැනම උපන්
තරහකුත්,
ආත්මානුකම්පාවකුත් එකවරම හිතට දැනෙද්දි අමිල ඒ පීඩනය පිට කලේ ළඟ තිබුන කනප්පුවට
මිට මොළවල ගහපු පාරකින්.
ඒ සද්දෙට බය වෙලා
මෙච්චරවෙලා ඉස්තෝප්පුවෙ කොට බිත්තිය උඩ වහල හිටිය ගේ කුරුල්ලා ඈතට පියඹලා යන හැටි
අමිල බලාගෙන හිටියා........
http://www.rgbstock.com/ |
ලොකුම ලොකු කතාවක් කියන කෙටිකතාවක් අක්කො...ගෙදර ප්‍රශ්නයි ඔෆිස් එකේ ප්‍රශ්නයි පටලගන්න මිනිස්සුන්ට,තමන්ට ලෝකයක් තරම් ආදරේ කරන හිත බාහිර ප්‍රශ්නවලින් මිදිලා සනසන්න බැරි මිනිස්සුන්ට,ඒ වගේම ඉවසීමෙන් ජීවිතේ දිහා බලන්න බැරි මිනිස්සුන්ට,කලබල වෙලා ඉවසීම නැති කරගෙන ප්‍රශ්න විසදන්න බෑ කියලා දන්නැති අයට.. හැම දෙනෙක්ටම පාඩම් ගොඩක් කියා දෙනවා.ඊටත් වඩා චිත්තරූප මැවෙන්න ලස්සනට ලියා තියෙන මේ භාෂා රටාව නිසා කෙටිකතාවක් විදියටත් සකුණි ගොඩක් ලස්සනයි.ජය වේවා අක්කෝ...
ReplyDeleteඔව් නංගියෝ. ඒ වගේම මං සකුණි ලිව්වෙ කොයි තරම් පීඩනයක් හිතට දැනුනත් ඒක පිට කරන්න තියෙන හොඳම විදිහ කවුරුම හරි කෙනෙක්ගෙ පිටින් ඒක යවන එක නෙවෙයි කියල කියන්න වගේම, මොන දේ කරලත් සමාව ඉල්ලුවම හරි කියල හිතන අයට, සමහරවිට ආයෙ කවදාවත් සමාව ඉල්ලන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ කියල කියන්නයි.
Deleteස්තූතියි ඔයාගෙ අදහස් වලට නංගෝ...
:(( :(( :(( මමත් අද ඉඳන් හනී බනීට බනින්නෙ නෑ... ඒත් කරන ගොං වැඩ වලට මල පනිනවනෙ
ReplyDeleteඅන්න හොඳ ළමයා g-) ඉතින් ඒ වගේ වෙලාවට එයාට හොඳින් කියන්න...එතකොට හරිනෙ :)
Delete01.ක්ෂණික තරහා යෑම
ReplyDelete02.ක්ෂණික තීන්දු තීරණ
ඉතා භයානක ප්‍රතිඵල ළඟා කරලිය හැකියි..
විශේෂෙන්ම තමන්ගේ ළඟින් ඉන්න අයට නම්
කොච්චර පීඩනයකින් උන්නත් හිත රිදෙන්න නම්
කතා කරන්න හොඳ නැහැ ...
හැබැයි ළඟ ඉන්න අයත් දැනගන්න ඕනේ ඒ ඒ විදිහට
හැසිරෙන්න ..
ඔයාගේ කතාව ඇතුලේ විශාල පණිවිඩයක් තියෙනවා
චම්ස් ..කෙනෙක්ට හිතල පාඩමක් ඉගෙන ගන්න ගොඩක්
දේවල් තියෙනවා...
//විශේෂෙන්ම තමන්ගේ ළඟින් ඉන්න අයට නම්
Deleteකොච්චර පීඩනයකින් උන්නත් හිත රිදෙන්න නම්
කතා කරන්න හොඳ නැහැ//
මට මේ කථාව හරහා කියන්න ඕන උනෙත් ඒකයි සහන්. දෙයක් උනාට පස්සෙ ඒ ගැන දුක් වෙනවට වඩා ඒ වගේ දේවල් වෙන එක වලක්වා ගන්න එකයි වැදගත්.
ස්තූතියි ඔයාගෙ අදහස්වලට...
කතාව ලස්සනයි චාම්ස්!
ReplyDeleteටිකක් ඉවසලා,අනිත් කෙනා කියන දේ,කරන දේ තේරුම් ගන්න පුලුවන්නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ.අනිත් කෙනාව තේරුම් එයත් එක්ක හැසිරීම වැදගත් මං නම් කියන්නේ.
ස්තූතියි ඔයාට... :)
Deleteඔව් ඉශාන්..ඒක ඇත්ත. ඉවසීම ගොඩක් ප්‍රශ්න විසඳාගන්න වගේම අලුත් ප්‍රශ්න ඇතිවෙන එක වලක්වාගන්නත් හොඳ ක්‍රමයක්
හ්ම්.. කේන්තිය පාලනය නොකලොත් වෙන්නේ විනාසේ..
ReplyDeleteකතාව ලියල තියනවා ලස්සනට..
ඒකනේ...
Deleteස්තූතියි අයියෙ.. :)
ලස්සන කතාවක්.. ආදර්ශ ගොඩක් එක්ක..
ReplyDeleteස්තූතියි නන්ඳු... :)
Deleteලස්සනට ලියල තියෙනවා.. ඒත් දුක හිතෙනවා.. ක්‍ෂණික කෝපය නිසා වෙන දේවල්... මගෙ අම්මෝ!!
ReplyDeleteස්තූතියි මල්ලි...කෝපය කොහොමත් ගේන්නෙ නරක ප්‍රථිඵලම තමයි.
Deleteමටත් හරි කේන්තියි අනේ..
ReplyDeleteඅනේ ඒ ඇයි නලින් අයියේ :-SS
Deleteමේ කතාව මාරම මාර ගති...නියමයි. හදසි කෝපය ගොඩක් ප්‍රශ්න වලට මුල තමයි...දෙන්නම පොඩ්ඩක් හිතුවා නම්. කවුද වැරදි. කෙනෙක්ට කියන්න පුළුවන් සැමියා කියලා, කෙනෙක්ට කියන්න පුළුවන් බිරිඳ කියලා.
ReplyDeleteමම නම් කැමතියි කතාව මෙතනින් නතර කළා නම්" ඒ සකුණි නම් වෙන්න එපා දෙවියනේ"
තමන්ගෙ පීඩනය අහිංසක කෙනෙක් පිටින් යවල මෙතනදි සැමියා ලොකු වරදක් කරනව. ඒ වගේම බිරිඳත් තව ටිකක් ඉවසුවා නම් මේ තත්වය දුර දිග නොයවා විසඳගන්නත් තිබුනා...දෙන්නගේම ඉවසීමක් නොතිබුන නිසා දෙන්නම මෙතනදි වැරදිකාරයෝ වෙනවා.
Deleteඔව් එතනින් ඉවර කලානම් කියවන කෙනාගෙ පරිකල්පනයටත් ඉඩක් ලැබෙනව. ඒත් පටන් ගත්ත කථාව ඉවරම කරන්න හිතුන. මේ ඉතින් මගේ පළවෙනි කෙටිකථාවනෙ. තව එකක් ලිව්වොත් ඒ විදිහටත් කරල බලන්නම්කො :)
ස්තූතියි පැතුම් ඔයාගෙ අදහසට....
නියමයි චාම්ස්! වටින කතාවක්, අද කාලේ මානසික පීඩනයත් එක්ක ජීවත් වෙන හැමෝටම හොඳ පණිවිඩයක්. කොයි තරම් ප්‍රශ්න ආවත් කෙන්තිය පාලනය කර ගන්න එක වගේම, තමන්ගේ පවුලේ අය ගැන සැලකිලිමත් වීම වටිනවා.
ReplyDeleteඔව් ගිමන්..මානසික පීඩනය පාලනය කරගෙන ජීවත්වෙන්න පුලුවන්නම්ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුලුවන්..
Deleteස්තූතියි ඔයාට :)
කතාව සුපිරියි චාම්ස්!
ReplyDeleteකසාද බැඳීමෙන් පසු වැස්සේ තෙමී ගෙදර ඒම අනතුරුදායකය!
ස්තූතියි ඔයාට...
Delete//කසාද බැඳීමෙන් පසු වැස්සේ තෙමී ගෙදර ඒම අනතුරුදායකය!// අනේ අනේ ඉමල්ක..කතාවෙන් ගත්ත ආදර්ශය මේකද ආ???
හි හී එක අතකින් ඒකෙත් ඇත්තක් තියෙනව..නෙ. වැස්සෙ ප්‍රශ්නෙ නොතිබුනනම් මේ දේවල් මෙහෙම නොවෙන්නත් තිබුන තමයි ;-)
කතාව නියමයි. හ්ම්ම්ම් බනින්නෙ නැතුව කෙන්තිය පාලනය කරගන්න බලන්න ඔනේ මාත්.
ReplyDeleteස්තූතියි මදාරා...කේන්තිය පාලනය කරගන්න පුලුවන්න නම් ඒක ගොඩක් හොඳ දෙයක් :)
Deleteමට තරහ යන්නෙම නැති තරම්..ඒ නිසා ප්‍රශ්න නම් අඩුයි..ඒත් තරහ ගිය දවසට ඉවරයි.. :ඩී
ReplyDelete
Deleteඔතොකොටත් වැඩක් නැහැ ...
කිරි කාලේට අපද්‍රව්‍ය වැටුණා වගේ ... :)
@තටු සිඳුනු කිරිල්ලී: ගොඩක් ඉවසන අයට ඉඳල හිටල හරි තරහ ගියාම සෑහෙන්න දරුණු වෙන්න පුලුවන්නෙ s-)
Delete@silentsahan: හැමදෙයක්ම ඉවසන අයගෙන් සමාජය අයුතු ප්‍රයෝජන ගන්න වෙලාවල් තියෙනවනෙ සහන්. සමහරු හිතන්නෙ ඉවසීම නිවට කමක් කියල. ඒ වගේ වෙලාවට කොයි තරම් ඉවසීමක් තියෙන කෙනෙක්ට උනත් තරහ ගන්න සිද්ධ වෙනව. එයාව ඒ තැනට තල්ලු කරන්නෙ මේ සමාජයම තමයි :(
Deleteමම නිකන් විහිලුවටත් එක්ක තමයි තටු සිඳුණු කිරිල්ලිට
Deleteඅරහෙම කිව්වේ චම්ස් ..අපි හිත ඇතුලෙන් හොඳ උනාට පිට
ලෝකෙට ඒක පේන්න ඉන්න හොඳ නැහැ ..කපටි මිනිස්සු
කරන්නේ හෙමීට ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක .
මම නම් පුද්ගලික ජීවිතේ ගොඩක් සැර කෙනෙක්.කිසිම කෙනෙක්ට
ඔලුවට අත හෝදන්න දෙන්නේ නැහැ.ඉස්සර තරම් දැන් කාටවත් අනුකම්පා
කරන්න යන්නෙත් නැහැ .බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්නේ ..
ගිණි පෙරල්ලෙන් බැට කාපු කෙනා කණා මැදිරියටත් බයයි කියනවනේ ...
// අපි හිත ඇතුලෙන් හොඳ උනාට පිට ලෝකෙට ඒක පේන්න ඉන්න හොඳ නැහැ//
Deleteහ්ම්ම්....
අම්මෝ මුං යක්කු වගේ !
ReplyDeleteහ්ම්...
Deleteසෑම්ව සාදරයෙන් පිළිගන්නවා හිත අද්දරට :)
මාර දුකක් දැනුනා කතාව කියවද්දී. ක්ෂණික කෝපය ඉවර වෙන්නේ මේ වගේ නේ??.
ReplyDeleteගොඩක් වෙලාවට එහෙම තමයි අසර්...
Deleteඅදමයි ආවෙ මං.
ReplyDeleteහිතට දැනුන කතාව .හම්ම්..ඇත්තටම මෙහෙම දේවල් කොච්චර වෙනවද.
ඔයා ලස්සනට කතාව ලියලා..
ඔයාව ආදරයෙන් පිළිගන්නව මගෙ බ්ලොග් එකට :-h
Deleteමෙහෙම දේවල් සෑහෙන්න වෙනව නිශි...
ගොඩක් ස්තූතියි ඔයාට :)