Ads 468x60px

Monday, December 02, 2013

ජීවිතය....නුඹ නම් පුදුමාකාරය


2013 වසර අවසාන වීමට ඇත්තේ  දින කීපයක් පමණි. මෙලෙස අවසන් වන්නේ මගේ ජීවිතයේ එතෙක් මෙතෙක් ගෙවුණු අවාසනාවන්තම වසරයි.
මේ වසර ආරම්භයේදී මම මා අතින් ලියවුනු හෘදයාංගමම සටහන මේ බ්ලොග් අඩවියේ සටහන් කලෙමි. එය ලියවුනේ මා වඩාත්ම ආදරය කරනා කෙනෙකු වෙනුවෙනි. එසේම මගේ ජීවිතයේ ඇති එකම ප්‍රාර්ථනයද බලාපොරොත්තුවද එහි සඳහන් කලෙමි.

මා වඩාත්ම සංවේදී ගීතය සහ "ආදරණීය ඔහු" නම් වූ එම සටහනේ මා සඳහන් කලේ මාගේ ආදරණීය මාමා ගැනය. ඔහුට මාමා යැයි අමතන්නට මා අකමැති වන්නේ ඔහු මට මාමා කෙනෙකුට වඩා පියෙකු වූ බැවිනි. මා කුඩා කාලයේදී මා කවා පොවා නහවා රැක බලා ගත්තේ ඔහුය. 13 වසරවන තුරුම දිනපතා මා පාසලට ඇරලවූයේ ඔහුය. සරසවි අධ්‍යාපනය ලබන අවදියේ දිනපතා මා සරසවියට රැගෙන ආවේද ආපසු මා නිවසට ගෙන ආවේද ඔහුය.

ඔහු මට මහත්සේ ආදරය කලේය. ඔහුත් මාත් අතර වූ බැඳීම කිසිවෙකුටත් තේරුම් ගත නොහැකි ආකාරයේ බැඳීමකි. ඉතාම කුඩා දේ පිළිබඳව ඔහු ඉතා සැලකිලිමත් විය. මට මදුරුවන් දශ්ට කරාවි යැයි බියෙන් ඔහු මදුරු විකර්ශක ආලේප ගෙනවිත් දුන්නේය. නිවසේ පිටත යන්තමින් හෝ අඳුරු ස්ථානයක් වෙතොත් විදුලි බුබුළු දමන්නට ඔහු පෙළඹෙන්නේ සර්පයින්ගෙන් මා ආරක්ශා කරගන්නටය. මා ඉල්ලනේවත් නැතිව මා කැමති දෑ ඔහු මට ගෙනවිත් දෙන්නේය. ගෙදර එන්නට යන්තම් හෝ ප්‍රමාද වූ විට ඇමතුම් දෙමින් කෙටි පනිවිඩ එවමින් ඔහු වද වෙන්නේ මට යම් අනතුරක් වේ යැයි ඇති බිය නිසාවෙන්ය.

උසස් පෙළ හදාරන අවධියේ ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා ගුරුවරයෙක් අප පාසලේ නොවීය. උදෑසන හතරටත්පෙර අවධිවන ඔහු අන්තර්ජාලය හරහා අවශ්‍ය සටහන් සකස් කරගෙන මා වෙනුවෙන් පාඩම් මාලා සකස් කරන්නේය. පාසල නිමවී පැමිණ මා රචනා සහ ප්‍රශ්න වලට පිළිතුරු ලියන අතර හවස් කාලයේදි දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔහු මට එම පාඩම් කියා දීමටත් පිළිතුරු නිවැරදි කිරීමටත් වෙලාව සොයා ගන්නේය. මා උසස් පෙළ සමත් වන්නේ ඔහුට පින් සිදුවන්නටය.

මාගේ කුඩා ජයග්‍රහණයක් පවා ඔහුට මහා මෙරක් තරම් විය. උසස් පෙළ සමත් වූ දවසේ, සරසවියට තේරුනු දවසේ, පාසලේදි සහ සරසවියේදි තරඟ වලින් ජය ලැබූ අවස්තාවන්හිදි මෙන්ම අපේ උපාධි ප්‍රදානෝත්සවය දිනයේදී ඔහු තරම් සතුටු වූ කෙනෙකු තවත් නැති තරම්ය. 

අප දෙදෙනා අතර වූයේ ඥාති දියණියක් සහ මාමා කෙනෙකු අතර වූ බැඳීමක් නොවේ. ඔහු මගේ හොඳම මිතුරා ඔහු විය. මා ජීවිතයේ නැරඹූ සෑම ක්‍රිකට් තරඟයක්ම නැරඹුවේ ඔහු සමගිනි. අප එක්වී අත්පුඩි ගැසුවෙමු, දෑස් දල්වා ගැහෙන හදින් යුතුව රූපවාහිනිය දෙස බලා සිටියෙමු. අලුත් චිත්‍රපටියක් ලැබුනු විට අප දෙදෙනාම එය නැරඹූවෙමු.  සිත් ගත් ඊමේල් පණිවිඩ හුවමාරු කරගත්තෙමු. එවන් විටෙක එහි සිටියේ මගේ මාමා නොව ඔහු තුල වූ මගේ මිතුරාය. 

මාගේ ජීවිතයේ තීරණ ගන්නට පෙර මා උපදෙස් පැතුවේ ඔහුගෙනි. ඔහුට අපූරු දුරදක්නා නුවණක් විය. ඔහු කියූ කිසිවක් කිසිවිට වැරදි නොවීය. එවන් විටක ඔහු මගේ මාර්ගෝපදේශකයා විය. ජීවිතයේ ඕනෑම දේකට මූණ දෙන්නට මා බිය නොවූයේ ඔහු මා ලඟ සිටි නිසාවෙනි. ඔහු මට මහත් ශක්තියක් විය. සෑම ප්‍රශ්ණයකටම ඔහු සතුව විසඳුමක් විය. මගේ ලෝකයේ සුපිරි වීරයා වූයේ ඔහුය.
මට ලියන්නට, කියවන්නට ආශාවක් ඇති කලේ ඔහුය. මා ලියූ කවි කතා ඔහු ආශාවෙන් කියවීය. ඒවායේ අඩු පාඩු පෙන්වා නිරතුරු මා උනන්දු කරවීය. ඔහු මගේ විචාරකයා විය.

ඔහු වෘත්තීයෙන් නීතිඥයෙකු වුවත් සෑම මාතෘකාවක් ගැනම ඔහු තුල වූ දැනුම පුදුමාකාරය. බොහො සැන්දෑවන් අපි ගෙවන්නෙ මිදුලේ පුටු දෙකක් තබාගෙන කතාකරමින්ය. ලෝක ඉතිහාසයේ සිදුවුනු සිදුවීම් ඔහු මට විස්තර කරන්නේ නම් ගම් සහ දින වකවානු මතකයෙන් පවසමින්ය. ලෝක සාහිත්‍යය ගැනද ඔහුට වූයේ පුලුල් දැනුමකි. දේශපාලනමය, සමාජමය, කාලීන, ක්‍රීඩාමය, තාක්ශණික ආදී එකී මෙකී සෑම මාතෘකාවක් ගැනම මට කියා දුන් ගුරුවරයා ඔහුය.

මේ සියල්ලටම වඩා ඔහු ප්‍රිය කලේ බුද්ධාගම ගැන කතා කිරීමටය. ඔහු නිහඬව බොහෝ පින්කම් කලේය.නිරතුරු පන්සල හා සහසම්බන්ධව කටයුතු කලේය. බෞද්ධ පොත් පත් කියවූයේය. ධර්මය පිළිබඳ මනා දැනුමක් ඔහු සතු විය. සැඳෑ කල්හි කෙරුනු අපේ කතා බහ බොහෝ විට අවසන් වන්නේ ආගම ගැන කෙරෙන කතාවකිනි. අනිත්‍යය මට පසක් කර දීමට ඔහු උදාහරණ කර ගන්නේ තමන්වමය. එවන් මොහොතක මා වහා කතාව නතර කරන්නේ ඔහු නැති දවසක් ගැන යන්තමින් හෝ සිතීමටවත් මා අකමැති වූ නිසාවෙනි. ජීවිතය හැඩගස්වා ගැනීමට උපදෙස් දුන් උපදේශකයා, මට ඔහුය.

දවසේ සිදුවන සෑම දෙයක්ම මම පවසන්නේ ඔහු සමගය. ඕනෑම දුකක් කරදරයක් කියද්දි නිහඬව එයට සවන් දෙන ඔහු ඉතා ආදරණීය ලෙස මගේ සිත සාදන්නේය. රාත්‍රියට නින්දට යාමට පෙර මට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ඔහු ආදරයෙන් මගේ හිස සිඹින්නේ ආදරණීය පියෙකු ලෙසින්ය.

කෙටියෙන්ම පවසතොත් ඔහු මට මුලු ලෝකයම විය. මා ජීවිතයේ ලද සෑම ජයක් පිටුපසම ඔහු සිටියේය. අම්මාත් අප්පච්චීත් මාමාත් යන තිදෙනාගෙන් එහා ලෝකයක් මට නොවීය. ඒ ලෝකයේ මට තිබූ ලොකුම ශක්තිය ඔහුය.

ඉතින් 2013 ලබද්දී මට ලොකු ආශාවන් හීන තිබුනේ නැත. තිබුනු එකම බලාපොරොත්තුව වූයේ එකල අසනීපයෙන් සිටි ඔහු සුවපත් කරගෙන පාඩුවේ, නිදහසේ ජීවත් වීමටය. ඔහු වෙනුවෙන් මා අතින් ලියවුනු "මා වඩාත්ම සංවේදී ගීතය සහ "ආදරණීය ඔහු"" සටහන කියවූ අම්මා මාමටත් මේක පෙන්න්වන්නයැයි කීවාය. දැන් මේක පෙන්නුවොත් දුක හිතෙයි. හොඳටම සනීප උනාම පෙන්වන්නම්. මම කීවෙමි. ටිකෙන් ටික එයට සුදුසු කාලය උදාවෙන අයුරු මම මහත් ආශාවෙන් බලාසිටියෙමි. අසනීපය සුව අතට හැරී සාමාන්‍ය ජීවිතයට ඔහු ක්‍රමක්‍රමයෙන් හැඩගැසෙන්නට පටන් ගත්තේය. මාස 10ක් පමණ නිවසටම වී සිටි ඔහු නැවත රැකියාවට යන අයුරු සතුටු කඳුලු පිරි දෙනෙතින් මම බලා සිටියෙමි. උදේ හවස මා අයැදූ, ප්‍රාර්ථනා කල එකම දේ ඔහුගෙ සුවය පමණි. එය ඔහුට ලැබෙනු දැක මම සතුටුවූ තරම් දන්නේ මා පමණි. යළිත් සතුට අප සොයා එන බවට ලැබුණු ඉඟි දෙස මම ආශාවෙන් බලා සිටියෙමි.

කුණාටුවට පෙර පැවතෙන නිශ්චලතාවය පිළිබඳ මට එවකට අවබෝධයක් තිබුනේ නැත.

අනාගතය පිළිබඳව සුභ සිහින දකින්නට මා පටන් ගත්තා පමණි. නොසිතූ මොහොතක මගේ දෑස් ඉදිරියේ මගේ ලෝකයම, ජීවිතයම කඩාගෙන වැටුනි. ජීවිතයේ මට තිබූ එකම  බලාපොරොත්තුව බොඳ වුනි. එක් මොහොතකදී ජීවිතයේ මට තිබූ ලොකුම ශක්තිය මා හැර ගොස් තිබුණි....

තවත් මා ජීවත් වීමේ තේරුම මා දන්නේ නැත. හෙටක් ගැන සිතන්නට තරම් ශක්තියක් මා සතුව නැත. ජීවිතය මට මෙතරම් කුරිරු දඬුවම් දෙන්නට තරම් මා කල වරද මා දන්නේද නැත.

මම ලොකු හීන ආශාවන් තිබුනු/තිබෙන කෙනෙක් නොවෙමි. මා සතුටක් ලැබුවේ කුඩා දේවල් තුලිනි. පවුලේ අය හා එක්ව මගේ පාඩුවේ සැනසිල්ලේ ජීවත් වන්නට මිස ලෝකය ජයගන්නට මම යත්න නොදැරුවෙමි. ඒ පුංචි ආශාවද අහිමි වූ තැන ජීවිතයේ අර්ථය සිතා ගනු නොහැකිව මම බලා සිටිමි.

බැලූ බැලූ අත ඇත්තේ ඔහු හා සබැඳි මතකයන්ය. හිතට දැනෙන දුක බෙදා ගන්නට මට ඉන්නේ අම්මා පමණි. එහෙත් සිය එකම සොයුරා අහිමිවීමේ දුකින් කල් ගෙවන ඇයට මගේ දුකත් පවසන්නට මට නොහැකිය. ඔයා ශක්තිමත්ව ඉන්න. මේ දිනවල මට හමුවන සෑම දෙනාම පවසන්නේ එයයි. මගේ ජීවිතයේ තිබූ එකම හයිය මට නැති වූ කල මා ශක්තිමත්ව ඉන්නේ කෙසේදැයි ඔවුන් කියන්නේ නැත. මට කතා කරන හැම යාලුවෙකුටම හිතේ ඇති දුක නොනවත්වාම කියවාගෙන ගියද එය නොකල යුත්තක් බැව් මට දැන් හැඟේ.
හිතේ ඇති දුක පිට කිරීමට ඇති එකම මග ලෙස, මා එය මෙසේ ලියා තබන්නේ එබැවිනි.

ජීවිතය තවමත් ගලාගෙන යන්නේය. කාලය බොහෝ දේ සුවපත් කරන බැව් අසා තිබුනද මා තුල ඇති වේදනාව සමනය කිරීමට එයට මෙතෙක් හැකි වී නැත. සමාජයේ ජීවත් විය යුතු නිසා මම අන්‍යයන් හා කතා බස් කරමි, සිනාසෙමි, රැකියාවට යමි, කිසිවක් නොවුනා සේ හැසිරෙමි. ඒ අතරේ කඩා වැටුනු ලෝකයේ සුන්බුන් අතර සිරවී සිටිමින්ම, වෙන කල හැක්කක් නොමැති නිසාම ආශ්වාස ප්‍රාශ්වාසද කරන්නෙමි...එහෙත් ජීවිතය මා හැරදා ගොසිනි..




පලි: වෙනස් දේකට හිත යොදවන්න.අඩු ගානේ ආයෙ බ්ලොග් එකවත් ලියන්න. කියා මට කිව්වේ මිතුරු නදීරය. වෙන මාතෘකාවක් ගැන ලියන්න යැයි ඔහු කීවද මේ කාලයේ ලියන්නට තරම් "වෙන" මාතෘකා මට නැත.  මෙය හෝ ලිව්වේ එයින්වත් හිත යන්තම් හෝ සැහැල්ලුවේයැයි යන විශ්වාසයෙනි.


24 comments:

  1. සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දාලා..

    ReplyDelete
  2. මාමා ගැන මට හුඟක් දුක යි, චාම්ස් අක්කේ. මේ සටහන කියවන විට මට ඇඬුනා. ලියපු ඔබට කොතරම් වේදනාවක් දැනෙනවා ඇති ද කියලා හිතුනා. හිත හදා ගන්න කියලා මම කියන්නේ නෑ. ඒත් කාලයත් එක්ක දුක තුනී වෙයි කියලා විශ්වාස කරන්න.

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක මටදුක දැනෙනවා වැඩියි නංගි...ගෙවෙන හැම දවසකම ඒ අඩුව මට තදින්ම දැනෙනවා..

      Delete
  3. ඔබේ ආදරණීය මාමා වෙනුවෙන් අපේ ඇසින් ද කඳුළක් ඉපදුණි. එවන් මිනිසුනට මේ සසරේ කිසි දිනෙක නොවරදිනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි මමත් ඒක තදින්ම විශ්වාස කරනවා

      Delete
  4. ඔයාගේ හිත සැහැල්ලු වෙන්න ඇති පොඩ්ඩක් හරි...
    ජීවිතය අපිව වට්ටවනවා නමුත් අමාරුවෙන් හරි අපි නැගිටින්න ඕනේ..

    වෙන මුකුත් මට කියාගන්න බෑ :(

    ඔහු හොඳ "මනුෂ්‍යයෙකු" නිසා හොඳ තැනක උපත ලබා ඇති..දුක් නොවී ඉන්න උත්සාහ කරන්න ඒ නිසා..:)

    ReplyDelete
    Replies
    1. //ජීවිතය අපිව වට්ටවනවා නමුත් අමාරුවෙන් හරි අපි නැගිටින්න ඕනේ// මෙච්චර කාලයක් මම වැටුන හැමවෙලාවෙම මම නැගිට්ටෙ ඔහු නිසා..ඒත් දැන් නම් නැගිටින්න තරම්වත් හේතුවක් තියෙනවද කියල මට හිතාගන්න අමාරුයි රෙහානි..

      Delete
  5. ජීවිතේ ගොඩාක් වෙලාවට දරාගන්නම බැරි වේදනාවක් විඳපු කෙනා තමයි වඩාත් ප්‍රබලම විදියට නැගිටින්නේ අක්කේ.මගේ තාත්තගෙ සහෝදරයා අවුරුදු තිස් හතේදී මිය ගියා.දරාගන්නම බැරි විදියට ඒ මොහොතේදී ඇද වැටුණු තාත්තා ඉන්පස්සෙ අනිත් මිනිස්සුන්ගෙ ජීවිත යහපත් කිරීම වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයම වෙනුවෙන් උපරිම උත්සාහ කරනවා.. කෙනෙක් මිය ගියාට පස්සෙ එයා වෙනුවෙන් දුක් නොවී ඉඳීම පහසු දෙයක් නොවෙයි තමයි.ඒත් එයා අපෙන් බලාපොරොත්තු වූ දේවල් ලෝකය වෙනුවෙන් ඉටු කරන එක දුකේ ඇලී ගැලී ඉන්නවට වඩා වටිනවා... කාලයත් එක්ක මේ තරම් වේදනාවක් දැනෙන එකක් නැහැ.ඒත් ඔයාගේ මතකයෙන් ඒ සොඳුරු මිනිසා නික්ම යන එකකුත් නැහැ.ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරන්න.මෙතේ බුදුන් අබියසදී නිවන් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔහුට.ඔහු හොඳ තැනක ඉපදිලා ඇති..!

    ReplyDelete
    Replies
    1. //එයා අපෙන් බලාපොරොත්තු වූ දේවල් ලෝකය වෙනුවෙන් ඉටු කරන එක දුකේ ඇලී ගැලී ඉන්නවට වඩා වටිනවා// ඇත්ත නංගි..මමත් මට පුලුවන් උපරිමයෙන් ඒ දේවල් කරන්න උත්සහ කරනවා.
      //ඔයාගේ මතකයෙන් ඒ සොඳුරු මිනිසා නික්ම යන එකකුත් නැහැ// ඔව් කවදාවත්ම. මගේ ජීවිතේ හැම දාවසක්ම පටන් ගත්තෙත් අවසන් උනෙත් ඔහුත් එක්ක..මගේ දෑස් ඉදිරියේ ඔහු නැති උනත් අදටත් හැම මොහොතකම ඔහු මාත් එක්ක ඉන්නවා..මට එහෙම දැනෙනවා

      Delete
  6. කණගාටුයි! සෑම දෙයක්ම යම් මොහොතක අහිමි වන බව ඔහුගෙන් ඉගෙනගත්තේ නැද්ද?
    ඒ වගේම කාලයත් එක්ක ඔයාගෙ කණගාටුව අඩුවේවි.

    ReplyDelete
    Replies
    1. ඔහු මට හැම වෙලාවෙම කියන්න උත්සහ කලේ ඒකයි රාජ් අයියේ. ඒ උනත් මම අහන්න අකමැතිම උනෙත් ඒ දේමයි. ඔහු දැනන් හිටියා ඔහු නැතිව මට ජීවිතේට මූණදෙන එක කොයි තරම් අමාරු වෙයිද කියල. ඒ වගේම ඔහු නැත්තන් මට ඒ දේවල් කියල දෙන්න කෙනෙක් නැහැ කියලත් ඔහු දැනන් හිටියා. ඉතින් මට මේ ජීවිතේ තියෙන අනියත බව වටහල දෙන්න ඔහු සෑහෙන්න මහන්සි උනා. අනිත් මොන දේ ඉගෙන ගත්තත් ඔහු නැතිව ජීවත් වෙන හැටි ඉගෙන ගන්න තියා යන්තම් අහන්නවත් මට ඒ දවස් වල හිතුනෙ නෑ.ඔහු බොහොම සරලව බොහොම ඕනකමින් ඒ දේවල් මට කියල දෙන්න උත්සහ කරද්දි ඒ දේවල් තේරුම් ගන්න උත්සහ කලා නම් හොඳයි කියල දැන් මට හිතෙනවා. ඒත් ඒ කාලේ ඒ යතාර්ථය ගැන අහන්නවත් මම බය උනා අයියේ

      Delete
  7. ඔබට ලියන්නට මාතෘකා සිතට නැගේවා...

    ReplyDelete
  8. දෙයියනේ අක්කේ.තේරුම්ගන්න පුළුවන් ඔයාට කොච්චර දුකද කියල ..හොඳ අයට වරදින්නේ නෑ .මාම හොඳ තැනක ඇති ..කාලයත් එක්ක හිත හදාගන්න පුලුවන්වෙයි .තනියම හිතන්නේ නැතුව හිතෙන මේ වගේ කියල හිත සැහැල්ලු කර ගන්න හදන ඒක හොඳයි අක්කේ .

    ReplyDelete
    Replies
    1. ආයෙත් මම බ්ලොග් එක ලියන්න ගත්තෙත් ඒකයි මල්ලි...

      Delete
  9. මට මේකට කියන්න wise crack එකක් මතක් වෙන්නෙම නැත්තේ, මේ කතාව කියවලා මමත් කම්පා වූ නිසයි. දියණියන් දූෂණය කරන පියවරුන් සිටින මේ රටේ ඔය වැනි මාමෙක් හිටියායැයි සටහන්කරන්නට හැකිවීමම වාසනාවක් කියලා හිතන්න චාම්ස්.

    ReplyDelete
    Replies
    1. මගේ තිබුන මොකක් හරි වාසනාවකට තමයි ඩූඩ් ඔහු වගේ කෙනෙක් මගේ ජීවිතේට ලැබුනෙ. ඒ වගේම මගේ තියෙන අවාසනාවට තමයි ඔහු මට නැති උනේ. ඩූඩ්ට මතකද මගේ ඉන්ග්‍රීසි බ්ලොග් එකේ මම ලියපු "Father - A daughter's first love " පෝස්ට් එක. එකේ Father කියල ලියපු හැම වචනයක් වචනයක් ගානේම මගේ හිතේ හිටියෙ මගෙ අප්පච්චි විතරක් නෙවෙයි. මාමත් හිටියා..මොකද මට මාම කෙනෙක්
      ඉන්නව කියනවට වඩා තාත්තල දෙන්නෙක් ඉන්නවා කියලයි මම හැම වෙලේම හිතුවෙ.

      Delete
  10. මට තාමත් මේක හරියට තේරුණේ නැහැ චම්ස්.... ( තේරෙන්නේ නැත්තේ නැහැ... එසේ නොවේවා කියන ප්‍රාර්ථනාව තමයි හිතේ තාම තියෙන්නේ... මම වැරදි නම් මගේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න එපා... මම තේරුම් ගන්නම් ඒකෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා )

    ReplyDelete
    Replies
    1. // එසේ නොවේවා කියන ප්‍රාර්ථනාව තමයි හිතේ තාම තියෙන්නේ// මගේ හිතෙත් තාමත් ඒ ප්‍රාර්ථනාව තියෙනව සහන්. පහුගිය කාලෙ පුරාම මේක නපුරු හීනයක් කොයි මොහොතක හරි කවුරු හරි මාව ඇහැරවාවි..ඊට පස්සෙ ආයෙත් දුවල ගිහින් මාමව තුරුල් කරගෙන "අනේ යන්තම් ඇති ඒක හීනයක්" කියල කියන්න පුලුවන් වේවි කියන හැඟීමක් හැම වෙලාවෙම හිතට දැනුනා. අදටත් ඔහු නැතුව මම ජීවත් වෙනවා කියන එකත් මට විශ්වාස කරන්න අමාරුයි. එක්කෙනෙක් තවත් කෙනෙක්ගෙ මුලු ලෝකයම, ජීවිතයම, උනාට පස්සෙ ඒ කෙනා නැතුව ජීවත් වෙන එක කොයි තරම් අමාරුද කියල මට තේරෙන්නේ දැනුයි.

      Delete
  11. ඔනෑම දුකකට එකම සහ හොදම විසදුම කාලය..

    ආයෙ ලියන්න ...

    ReplyDelete
    Replies
    1. බලමුකො ඉස්සරහට..

      Delete
  12. ජීවිතේ අනිත්‍ය බව ගැන කියල දුන්න කෙනා ම ඒ බව ඔප්පු කරලා පෙන්නුවම ටිකක් දරාගන්න අමාරුයි, නමුත් දුක්වෙලා, හඬලා ඵලක් නැහැ නේද? කරන්න තියෙන්නෙ මාමාගෙ ගුණ සිහිකරලා පින් අනුමෝදන් කරන එකයි හැමවෙලාවෙම. ඒක තමයි කරන්න පුළුවන් ලොකු ම ප්‍රත්‍යුපකාරය.... කාලයත් එක්ක ම මේ දුක අඩුවෙලා යාවි සහෝ!

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරු..මාත් එහෙම හිතනවා....

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)