Ads 468x60px

Thursday, December 13, 2012

මානසිකව වැටුන කෙනෙක්ගෙ හිත හදන්න ඔබත් කැමතිද?




අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න එනව, දුක හිතෙන දේවල් සිද්ධ වෙනව. මේ වෙලාවලදි එක එක්කෙනා ඒ ප්‍රශ්න වලට මූණදෙන විධි වෙනස්. සමහරු අඬනව, තවත් අය දුක හිත ඇතුලෙ තද කරගෙන හිතින් විඳවනව, තවත් සමහරු ඒ ප්‍රශ්න තව කෙනෙකුට කියල හිත සැහැල්ලු කරගන්නව. අද මේ කතා කරන්න හදන්නෙ ඔය අන්තිමට කියුව කාරණාව ගැන.. 

ඇයි අපි කෙනෙක්ට අපෙ හිතේ තියෙන දුක කියන්නෙ? ඒ කෙනාගෙන් ඒ ප්‍රශ්නවලට උත්තරයක් බලාපොරොත්තුවෙන්මද? එහෙමත් නැත්තන් එයාට ඒ ප්‍රශ්නෙ කියපු ගමන් මැජික් එකකින් වගේ අපේ ප්‍රශ්න විසඳෙයි කියලද? නෑ. අපි තව කෙනෙක්ට අපේ ප්‍රශ්න කියන්නෙ එහෙම කියුවම හිතට පොඩි සැහැල්ලුවක් දැනෙන නිසා.  හිත ඇතුලෙ තෙරපෙන දුක, වේදනාව, තව කෙනෙක්ට කියුවම හිත ටිකක් හරි නිදහස් වෙන නිසා. පොඩ්ඩක් මතක් කරල බලන්න. හිතට දැනුන ලොකු දුකක් ඔබේ විශ්වාසවන්ත සමීපතමයෙකුට කියුවට පස්සෙ ඔබම කියල නැද්ද "ඔයාට මේ කතාව කිවුවට පස්සෙ මගෙ හිත පොඩ්ඩක් සැහැල්ලු උනා" කියල?
 ඒ විදිහට තමන්ගෙ හිතේ තියෙන දේ බය නැතුව කියන්න කෙනෙක් ඉන්න එක කොයි තරම් වටිනවද කියන එක දැනෙන්නෙ අපි ලොකු ප්‍රශ්නෙකට මූණදුන්නම තමයි.

දැන් මේ කතාවෙම අනිත් පැත්ත හිතමු. කීදෙනෙක් ඔබ ගාවට ඇවිත් ඒ අයගෙ ප්‍රශ්න කියල තියෙනවද? ඒ වෙලාවට ඔබ ඒ අවස්ථාවට මූණදුන්නෙ කොහොමද? මේ සටහන ලියවෙන්නෙ ඒවගේ අපිට දුකක් කරදරයක් ගැන කියාගෙන එන කෙනෙක්ට අපි ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියන එක ගැන මම පුද්ගලිකව හිතන දේ ගැන කියන්නයි.

1) ඒ කෙනාට ඔබේ සම්පූර්ණ අවධානය දෙන්න
කෙනෙක් ප්‍රශ්නයක් කියන්න ඔබ ගාවට එන්නෙ කම්මැලිකම යවාගන්න නෙවෙයිනෙ. හිතේ තියෙන දුක අඩු කරගන්න. ඒ වෙලාවට එයාට ඕන කරන්නෙ ඔබේ අවධානය මිසක් කෑම බීම නෙවෙයි. කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියද්දි ඒකෙනාට සම්පූර්ණ අවධානය යොමු කරන්න. වෙන වැඩ කරන ගමන් කතාව අහගෙන ඉන්න එපා. එහෙම උනොත් අනිත් කෙනාට හිතෙනව ඔබට මේ කතාව අහගෙන ඉන්න එක කරදරයක් කියල.

මේක මං අත්දැකීමෙන්ම දන්න දෙයක්. සමහරු ඉන්නව අපි කතාව කියද්දි අපේ මූණ දිහාම බලාගෙන ඉන්න අය. ඒ වෙලාවට අපිට හිතෙන්නෙ මෙයා නම් ලොකු ඕනකමකින් කතාව අහනව කියලයි. ඒත් එහෙම ඉඳල එකපාරටම " ආ..න්න දැන් තමයි මතක් උනෙ..මං මේ මෙච්චර වෙලා කල්පන කලා මං ඔයාට මොකක් හරි කියන්න හිටිය කියල. දැනුයි මතක් උනෙ. මං කිවුවෙ නෑ නේද එදා මම අර පාටියට ගිය වෙලේ....." කියල එයාගෙ කතාව කියන්න ගන්නව. අපි අපේ කතාව කියද්දි එයා ඉඳල තියෙන්නෙ වෙන කල්පනාවක. අන්තිමේදි අපේ කතාව පැත්තකට දාල එයා කියන දේ අහන්නයි වෙන්නෙ. එදිනෙදා කතාබහේදි නම් මේක ඒ තරම් දෙයක් නෙවෙයි. ඒ උනත් ප්‍රශ්නයක් කියන්න ඔබ ගාවට ආපු කෙනෙක්ට එහෙම කරන්න එපා.අනිත් හැමදෙයක්ම ඔබේ ඔලුවෙන් අයින් කරල කියන කතාව හොඳින් අහගෙන ඉන්න.

2) ඔබ ඒ කතාව ගැන උනන්දු බව පෙන්නන්න.
කෙනෙක් කතාකරගෙන යද්දි ඔබ ඈනුම් අරින්න ගත්තොත් එහෙම නැත්තම් ඔහේ බලාගෙන හිටියොත්, ප්‍රශ්නෙ කියන කෙනාට දැනෙනව ඔබ අහගෙන ඉන්නෙ ඕනකමකින් නෙවෙයි කියල. එතකොට එයාට ලොකු දුකක් දැනෙන්න පුලුවන්. ඒ නිසා එහෙම ඉන්න එපා. කතාව අතරමැදදි ඊට අදාල ප්‍රශ්නයක් අහන්න, දිගටම හූමිටි තියන්න, මූනෙන් හැඟීම් පල කරන්න. එතකොට ප්‍රශ්නෙ කියන කෙනාට ඔබ ඒ ගැන උනන්දු බව වැටහේවි.

3) හිත රිදෙන කතා කියන්න එපා.
සමහරු කෙනෙක් ප්‍රශ්නයක් කියද්දි හිත රිදෙන කතා කියනව.
"අනෙ මංද ඔයාගෙ ප්‍රශ්න නං…"
"ඔයාගෙ ප්‍රශ්න කවදාවත් විසඳෙන ඒවනම් නෙවෙයි"
"තාම ඔයාගෙ ඔය ප්‍රශ්නෙ ඉවර නැද්ද?"
ඔය වගේ දෙයක් කිවුවම අනිත් කෙනාගෙ හිත කොයි තරම් රිදෙනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කවදාවත් එහෙම කතා කියන්න එපා. ඒකෙන් වෙන්නෙ මානසිකව වැටිල ඉන්න කෙනෙක් තව තවත් වැටෙන එක විතරයි.

4) ප්‍රශ්න සංසංදනය කරන්න එපා
කවදාවත් කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියද්දි ඒ ප්‍රශ්නෙ ඔබට තියෙන ප්‍රශ්න එක්ක සංසංදනය කරන්න එපා. තුවාලෙ තියෙන කෙනාටනෙ අමාරුව තියෙන්නෙ. හැමෝටම තමන්ට තියෙන ප්‍රශ්න ලොකු ප්‍රශ්න විදිහට තමයි දැනෙන්නෙ. ඒව වැඩිය හිතන්න තරම් බරපතල ප්‍රශ්න නෙවෙයි කියල ඔබට හිතෙනව නම් ඒක හොඳින්පැහැදිලි කරල දෙන්න. එහෙම නැතුව
"ඕවට ප්‍රශ්න කියනවනම් මට තියෙන ඒවට මොනවද කියන්නෙ?"
"ඕවත් ප්‍රශ්නද? එහෙනම් නැට්ට පිටින් අලි මැරෙන්නෙ"
"ඇත්තටම ඔයාට පිස්සුද ඕවගේ දේවල් ගැන හිතන්නවත්"
වගේ දේවල් කියන්න එපා. ඒකෙන් අර කෙනාගෙ හිතට සහැල්ලුවක් දැනෙන්නෙ නෑ කවදාවත්. ඒ ප්‍රශ්නෙ තියෙන සරල බව කරුණාවෙන් තෝරල දෙන්න. ඊට වඩා ප්‍රශ්න තියෙන අය ශක්තිමත්ව ඒවට මූණදෙන හැටි කියල දෙන්න. එතකොටයි අර කෙනාගෙ හිත හැදෙන්නෙ.

5) තනි කරන්න එපා
කෙනෙක් ප්‍රශ්නයක් කියද්දි ඒ වෙනුවෙන් ඔබට කරන්න කිසිම දෙයක් නැති වෙන්න පුලුවන්. ඒ උනත්
"එහෙනම් ඔයා බලන්න මොනවද කරන්න පුලුවන් කියල"
"ඔයාටම තමයි මේකට මූන දෙන්න වෙන්නෙ. අපිට කරන්න දෙයක් නෑනෙ"
වගේ දෙවල් කියන්න එපා. එහෙම උනොත් එයා තනි වෙලා වගේ හැඟීමක් එයි. මේකෙන් අදහස් වෙන්නෙ නෑ ඔබට කරන්න බැරි දේවල් පොරොන්දු වෙන්න කියල. ඒත් "අපි බලමුකො මොනවද ඉස්සරහට වෙන්නෙ කියල"
"ඔයා තනි වෙලා නෑ. අපිට පුලුවන් දෙයක් අපි කරනව" වගේ දෙයක් කිවුවම අර කෙනාගෙ හිතට ශක්තියක් ඇති වෙනව.

6) ඉවසන්න
සමහර වෙලාවට කෙනෙක් එකම ප්‍රශ්නෙ ආයෙ ආයෙ අපිට කියන කොට හිතට පොඩි තරහක් එන වෙලාවල් එනව. එකම කතාව අපිට කට පාඩම් වෙන තරම් කියද්දි 
"දැන් ඕක කී සැරයක් කිවුවද?  අපිටත් තව වැඩ තියෙනවනෙ. ඕක නවත්ත ගන්නකො"
 වගේ දේවල් කියවෙන්න පුලුවන්. ඒ උනත් අපි තේරුම් ගන්න ඕන කෙනෙක් දෙයක් නැවත නැවත කියන්නෙ ඒ කෙනාට ඒ ප්‍රශ්නෙන් දැනෙන පීඩනය වැඩි නිසා කියල. මානසිකව ඒ කෙනා අවුල් සහගත තත්වයක ඉන්න නිසා කියල. ඒ නිසා මෙහෙම අවස්ථාවක බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. අමතක කරන්න එපා…කියපු වචනයක් ආපහු ඇදගන්න බෑ.

7) උපදෙස් දීමේදි කල්පනාකාරී වන්න
මේ සටහනේ මුලින්ම කිවුව වගෙ කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියන්නෙ ඔබෙන් ඒකට උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. ඒ නිසා ඔබ උත්තරයක් ලබාදීම අත්‍යාවශ්‍යම නෑ. නිවැරදි විසඳුමක් කියල හොඳටම විශ්වාස, ඒකෙන් තියෙන ප්‍රශ්න තවත් අවුල් වෙන්නෙ නෑ කියල දන්න දෙයක් විතරක් කියන්න. එහෙම නැතුව ආවේගයෙන් ඉන්න කෙනෙක්ගෙ ඒ අවේගය තවත් වැඩි වෙන විදිහෙ දේවල්වත්, මොනවහරි මේකට කියන්න ඕන නිසා කටට එන ඕනම දෙයක්වත්, කියන්න යන්න එපා. එහෙම උනොත් නැති ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. හිත හැදෙන දෙයක් කියන්න. ඒ කෙනාට ආත්ම විශ්වාසය ඇතිකරන්න. තනි වෙලා නෑ කියන හැඟීම දෙන්න. කෙලින්ම විසඳුමක් දෙන්න ඔබට බැරි උනත් මේ දේවල් ඒ කෙනාගෙ හිත හදන්න උදවු වෙයි.

8) විශ්වාසය ආරක්ෂා කරන්න
අපි අපට තියෙන ප්‍රශ්න හැමෝටම කියන්න යන්නෙ නෑනෙ. එතනදි අපි හොයන්නෙ අත්තටම අපි ගැන කරුණාවෙන් මේ ප්‍රශ්න අහගෙන ඉන්න, ඒ කතා වෙන අයත් එක්ක කියන්න යන්නෙ නැති කෙනෙක්. ඉතින් ඔබට ප්‍රශ්නයක් කියන කෙනත් ඔබ ගැන ඒ පූර්ණ විශ්වාසය තියල තියෙන බව එක මොහොතකටවත් අමතක කරන්න එපා.

තවත් ගොඩක් දේවල් තියෙනව. මේ සමහර දේවල් මං කිව්වෙ මගේම අත්දැකීමෙන්. මානසිකව වැටිල ඉන්න කෙනෙක්ට නැගිටින්න පොඩි හරි උදවුවක් කරන එක ලොකු පිනක්. කෙනෙක් ඔබට ප්‍රශ්නයක් කියද්දි හැමවෙලාවෙම ඒ ප්‍රශ්නෙ තියෙන කෙනා ඔබ කියල හිතන්න. ඔබ කෙනෙක්ට ඔබේ දුක කියද්දි ඔබ ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය හිතාගන්න. එතකොට ඔබ ගාවට තමන්ගෙ දුක කියාගෙන එන කෙනාට දක්වන්න ඕන ප්‍රතිචාරය ඔබටම වැටහේවි.



Saturday, December 08, 2012

හිත අද්දරට අවුරුද්දයි



බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියල මම මුලින්ම දැනගත්තෙ මගෙ විශ්ව විද්‍යාල සගයෙක් වුනු නදීරගෙන්. මම මුලින්ම බ්ලොග් එකක් කියල කියෙවුවෙත් නදීර ලියන නදීරගේ බ්ලොග් සටහන කියන බ්ලොග් එක. ඊට පස්සෙ ජීවිතේ මල් ලියන සංසාරේ අපි බ්ලොග් එකත් ආසාවෙන් කියෙවුව.

ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මං ලියපු සිංහල වගේම ඉංග්‍රීසි කවි වගයක් පොත් ඇතුලෙ, පෙට්ටි ඇතුලෙ එහෙම දාල තිබිල සැරින් සැරේ හම්බවෙනකොට මේ ඔක්කොම නැති කරගන්නෙ නැතුව එක තැනක පරිස්සමට තිබ්බොත් කවදා හරි දවසක මටම ආයෙ කියවන්න පුලුවන් නේද කියල මට හිතුන. අනිත් අය බ්ලොග් වල මේ වගේ දේවල් දාන කොට මටත් හිතුන මගෙ කවිත් බ්ලොග් එකකට දාන්න. එහෙම හිතාගෙන මාත් බ්ලොග් එකක් පටන් ගත්ත. හැබැයි මං ඒ බ්ලොග් එකේ සෙටිංග්ස් වෙනස් කරල මට විතරක් ඒකෙ තියෙන දේවල් කියවන්න පුලුවන් විදිහට හදාගත්තා. ඒකට හේතු වුනේ මං මේ ලියල තියෙන පුංචි පුංචි කවි සිංදු අනිත් අයට කියවන්න දෙන්න තරම් සුදුසු මට්ටමක නෑ කියල මට හිතුන නිසා. එහෙම ටික කාලයක් ඉන්දැද්දි මටම තේරුනා බ්ලොග් එකක් පටන් අරං මෙහෙම හංගල තියෙන එක තේරුමක් නෑ කියල.එකම බ්ලොග් එකේ සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි ලියන කොට ටිකක් පටලැවෙනවා වගේ දැනුන නිසා ඉංග්‍රීසියෙන් ලියන ඒව දාන්න My life My way බ්ලොග් එකයි සිංහල ඒවට මේ බ්ලොග් එකයි හදාගත්ත. එහෙම පටන් ගත්ත බ්ලොග් එකට තමයි අදට අවුරුද්දක් සම්පූර්ණ වෙන්නෙ. හැබැයි ගිය අවුරුද්දෙ අද වගේ දවසක ඉස්සෙල්ලම පෝස්ට් එක මේකට දැම්මත් ඒ වෙනකොටත් ඒක කියවන්න පුලුවන් කමක් තිබ්බෙ මට විතරයි.මොකද ආයෙත් අර “මේ දේවල් හොඳ මදි” කියන සිතුවිල්ල හිතට ආව නිසා. ඊටත් සෑහෙන කාලෙකට පස්සෙ තමයි මගේ බ්ලොග්ස් දෙකේ සෙටිංග්ස් වෙනස් කරේ. එහෙම වෙනස් කරෙත් කවුරු හරි වැරැද්දක් අඩු පාඩුවක් පෙන්නුවොත් ඒව හදාගෙන ඉස්සරහට යන්න පුලුවන් නිසා(හැමදාම මමම ලියල මමම කියෙවුවොත් හැමදාමත් එක තැනමනෙ ) 
කොහොම කොහොම හරි ඔය තරම් පෙරුම් පුරල, කල්පනා කරලා පටන් ගත්ත බ්ලොග් එකට අද මොකද වෙලා තියෙන්නෙ?

අදට මගේ බ්ලොග් එකට අවුරුද්දයි. අනිත් බ්ලොග් එකට පෙරේදට අවුරුද්දයි. ආපස්සට හැරිලා බලද්දි මගේ හිතට පුදුම දුකක් දැනෙනව. මම මේ බ්ලොග් දෙක පටන් ගත්තෙ කවි සිංදු විතරක්ම දාන්න නෙවෙයි. මගේ අත්දැකීම් බෙදාගන්න, හිතට දුකක් දැනුනාම, කියාගන්න කෙනෙක් නැතිකොට අඩු ගානෙ බ්ලොග් එකේ හරි ඒ දුක ලියල හිත ටිකක් සැහැල්ලු කරගන්න, ඒ වගේම මම දන්න දේවල්, මම අලුතින් ඉගෙන ගන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න....ඔය වගේ සෑහෙන්න බලාපොරොත්තු මගේ හිතේ තිබ්බ. කාලීන තොරතුරු, ආගමික කරුනු, ඉතිහාසෙ ගැන විස්තර, වගේ මං කතා කරන්න කැමති ඒත් කතා කරන්න කෙනෙක් නැති දේවල්ගොඩක් ගැන විස්තර මම මගේ බ්ලොග් එකේ ලියන්න හිතුව.

ඒත්......
අවුරුද්දක් ගෙවෙද්දි මගේ බ්ලොග් එකේ තියෙන්නෙ පෝස්ට් 15ක් විතරයි. මං කලින් ලියල තිබ්බයි කියපු කවි ටිකවත් මට බ්ලොග් එකට දාන්න බැරි වෙලා. ඒ ගැන දැන් පුදුම පසුතැවිල්ලක් තියෙන්නෙ. අඩු ගානෙ සතියකට එක පෝස්ට් එකක් හරි දාන්න තිබුනනෙ කියල හිතෙනව. අලුත් ඒව ලියන්න වෙලාවක් නැත්තන් කලින් ලියපු එකක් හරි දාන්න තිබුනනෙ කියල හිතෙනව. මගේ ආත්ම තෘප්තියට හරි දිගටම ලියන්න තිබුනනෙ කියලත් හිතෙනව.

 ඇයි මට ලියන්න බැරි උනේ? 
මම කලින් පෝස්ට් එකක කියල තිබ්බ වගේ මේ ගෙවුන අවුරුද්ද මානසිකව මට සෑහෙන්න අභියෝගාත්මක අවුරුද්දක් උනා. මුල්කාලේ කැම්පස් එකේ අන්තිම එක්සෑම් එකට, ඊට පස්සෙ ට්‍රේනින් එකට මහන්සි වෙනකොට මං හිතුවෙ මේ දේවල් ඉවර උනාම ටිකක් නිවී සැනසිල්ලෙ ටික දවසක් දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්නව කියල. ලියන්න ඕන දේවල් පෝලිමට හිතේ ගොඩගහල තිබ්බ. කලබලේට ලියන්නෙ නැතුව හිත නිදහස් කරගෙන ලියනව කියල හිතුව. ඒ උනත් මං එච්චර වාසනාවන්ත උනේ නෑ.
ට්‍රේනින් ඉවරවෙනවත් එක්කම මූන දෙන්නවුන ප්‍රශ්න ගොඩත් එක්ක මං පුදුම විදිහකට කඩාගෙන වැටුන. හිතට දාරාගන්න බැරි දුකක් දැනෙනකොට මං කැමති හැමදේකින්ම ඈත්වෙන එක මගේ හැටියක්. ඒ කාලෙට මං පුලුවන් තරම් තනි වෙන්න උත්සහ කරනව. ඒ වෙලාවට මං බ්ලොග් එකෙනුත් ඈත් උනා. ඒත් ටික කාලයක් යනකොට මටම තේරුනා මේ විදිහට ප්‍රශ්නත් එක්කම හිටියොත් මට පිස්සු හැදෙයි කියල.ඒ නිසා පුලුපුලුවන් වෙලාවට පෝස්ට් එකක් දෙකක් දාන අතරෙ පුලුවන් තරම් අනිත් අයගෙ බ්ලොග් කියවන්න පටන් ගත්ත. ඒ ටික වෙලාවට හරි හිත වෙන පැත්තකට ගෙනියන්න පුලුවන් උන එක ලොකු දේයක් උනා. හිතට දැනෙනෙ දුක පෝස්ට් එකක් විදිහට බ්ලොග් එකට නොදැම්මත් හිතෙන් ඒක පෝස්ට් එකක් විදිහට හැදුව. එහෙම කරන එකත් වෙලාවකට හිතට ලොකු සැනසීමක් ගෙනාව.

ඉතින් අද මේ පෝස්ට් එක ලියන්න හිතුවෙ අවුරුද්දක් ගතවෙලත් තාම එකම තැන වගේ තියෙන මේ බ්ලොග් එක වටේ ඉන්න හැමෝටම ගොඩාක් ස්තූතියි කියන්න.

අවාරෙට පොල් වැටෙනව වගෙ ඉඳල හිටල පෝස්ට් වැටෙන මේ බ්ලොග් එකට ඇවිත් ඒ පොස්ට් කියවල ඒවට කමෙන්ට් කරල මට ශක්තියක් වෙන ඔයාල මට ගොඩක් වටිනව. ඒ වගේම විශේෂයෙන් මට බ්ලොග් ගැන කියල දුන්න, මගේ බ්ලොග් එකේ මුල්ම follower වගේම පලවෙනි කමෙන්ට් එකත් දාපු නදීරට ස්තූතියි කියන්න ඕන. 
බොහොම බයෙන් බ්ලොග් ලෝකෙට ආපු මම, අද වෙනකොට මේ විදිහටවත් ලියන්නෙ ඔයලා හැමෝම මට ශක්තියක් උන නිසයි. "ලිවීම" කියන්නෙ මං ගොඩක් ආසාවෙන් කරන දෙයක්. ඒ ආසාව නිසාම මම පටන් ගත්ත මේ බ්ලොග් දෙක පස්සෙ කාලෙක මට දැනුන මානසික පීඩනය අඩුකර ගන්නත් උදවු වුනා. උදාවෙන අවුරුද්දවත් හිතේ හැටියට මං අර ලියන්න ආසාවෙන් ඉන්න දේවල් ලියාගන්න ලැබෙන, මම ගොඩක් ආසාවෙන් පටන් ගත්තු දේ හිතේ සැනසිල්ලෙන් කරගෙන යන්න ලැබෙන අවුරුද්දක් උනොත් කොච්චර හොඳද….. ඒ අවුරුද්දෙදිත් ඔයාල මාත් එක්ක ඉඳීවි කියල හිතනව :-)

හිත අද්දර රැඳුන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි!!!!!

Tuesday, November 20, 2012

ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න!!!!


ප්‍රශ්න උනත් දැනගන්න ඕන 
එනකොට  පෝලිමේ එනවා උනත් 
අඩුම තරමේ එකක් ඉවර උනාම අනිත් එක එන්න..
ඔක්කොම එකපාර කඩාගෙන වැටෙන්නෙ නැතුව.