Ads 468x60px

Monday, May 06, 2013

ඇහෙන ගීත නෙවෙයි අහන ගීත - 3


මතකද මුලින්ම මොබයිල් ෆෝන් එකක් ගත්තු දවස. කොයි තරම් කාලයක් ඒක ලබා ගන්න හීන මැව්වද. ගත්ත මුල් දවස් වල මොන තරම් පරිස්සමින්ද තියාගත්තෙ..පොඩ්ඩක්වත් හීරෙන්න දෙන්නෙ නැතුව, නැතිවෙයි කියල බයට බොහොම පරිස්සමින් තියාගෙන හිටිය හැටි මතකද. ඒත් කාලයක් යද්දි ඒ තිබ්බ අසාව උනන්දුව නැති උන හැටි මතකද? ඔහේ මේසෙ උඩට ෆෝන් එක විසි කරන්න ගත්ත හැටි මතකද? මීට අවුරුදු පහකට හයකට කලින් ගත්ත මුල්ම ෆෝන් එක අදටත් බොහොම ආදරයෙන් පරිස්සමින් තියාගෙන ඉන්නෙ කීයෙන් කී දෙනාද?

බොහොමයක් දේවල් සම්බන්ධයෙන් මිනිස් හිත වැඩ කරන්නෙ මෙහෙම නේද? දෙයක් ගැන ආසාවක් ඇති උනාම ඒක ලබා ගන්න මොනතරම් උත්සහ කරනවද..මහන්සි වෙනවද...ඒ ගැන හීන දකිනවදහැබැයි ඒ දේ ලබාගත්තට පස්සෙ ටිකෙන් ටික ඒ දේට තියෙන උනන්දුව අඩුවෙලා යනව. සමහරුන්ට තමන්ට ඒ දේ කොයි තරම් වටිනවද කියල හිතෙන්නෙ ඒදේ අහිමි  උනාමයි. සමහරුන්ට නම් එහෙමවත් ඒ ගැන හැඟීමක් ඇති වෙන්නෙ නෑ.

මොකක් ගැනද මේ කියන්න හදන්නෙ කියලද හිතුවෙ. මේ කියන්න හදන්නෙ මිනිස්සුන්ගෙ හිත් ගැන…ආදරය ගැන. වැරදියට තේරුම් ගන්න එපා. මොබයිල් ෆෝන් එකයි ආදරයයි සංසංදනය කරන්න හදනව නෙවෙයි. ඒ උනත් මිනිස් හිත වෙනස් වෙන හැටි මේ උදාහරණයෙන් හොඳින් විස්තර වෙනව කියල හිතුන.

හිතන්න මුලින්ම කෙනෙක් ගැන අදහසක් ඇති උන දවස්වල මනුස්සයෙක් හැසිරෙන හැටි ගැන. කොයි වෙලෙත් තමන් ආදරය කරන කෙනා ගැනම හිතනවා…යාලුවොන්ටත් කනක් ඇහිල ඉන්න දෙන්නෙ නැතුව එයාගෙ විස්තරම කියනව. ආදරේ කරන්න පටන් ගත්ත මුල් දවස් වල හැමකෙනෙක්ම කොයි තරම් නම් තමන් ආදරය කරන කෙනා ගැන හොයල බලනවද? වැඩ කරන අතරේ, පාඩම් කරන ගමන්, කෑම කන වෙලේ පුලුවන් විදිහට වෙලාව හොයාගෙන කෝල් කරන, SMS යවන පෙම්වතුන් අපි අනන්තවත් දැකල තියෙනව නේද? ටවුමට ඇවිත් ගෙදර ගියත් ගිය ගමන් පරිස්සමින් ගියා කියල මෙසේජ් කරන්න කියනව…පොඩි හරි අසනීපයක් හැදුනොත් පැය භාගෙන් භාගෙට කතා කරල සැප දුක හොයනව…

බැලූ බැල්මට එතන ආදරය තියෙනව වගේ පේනව. ඒත් ඒ දෙන්නම විවාහ වෙලා අවුරුදු කීපයක් යද්දි (සමහර වෙලාවට මාස කීපයක් යද්දී) අර මුලින් තිබුන ආදරේ නැති වෙලා යන හැටි එහෙම නැත්තම් අඩු වෙලා යන හැටි පුදුමයි නේද?
කලින් පොඩ්ඩක් එන්න පරක්කු උනොත් දහ පාරකට වඩා කතා කරල පරක්කු ඇයි කියල හොයල බලන පෙම්වතා, ස්වාමිපුරුෂයෙක් උනාට පස්සෙ එයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ එන වෙලාවක එන්නෙ නැතෑ කියල ඉන්න හැටි, පොඩි ඔලුවෙ කැක්කුමක් තිබුනත් ඉක්මනට බෙහෙත් ගන්න කියල තමන්ගෙ ආදරවන්තියට කියන කෙනාම කාලයක් යද්දි මොන අසනීපයක් කිව්වත් කනකට ගන්නෙ නැතුව ඉන්න හැටි වගේම, ආදරය පටන් ගත්ත මුල්කාලෙදි තමන්ගෙ අතින් හැදුව කෑම ගෙනත් පෙම්වතාට දෙන්න බලාගෙන ඉන්න පෙම්වතියම, බිරිඳක් උනාට පස්සෙ උයන්නන් වාලේ උයල ඕනවට එපාවට සැමියට කන්න දෙන හැටි දැක්කම ආදරය කියන්නෙ ක්ෂය වෙලා යන දෙයක්ද කියල හිතෙනව.

සමහරු නම් විවාහ වෙන්න කලිනුත් ඒ තත්වයට වැටෙනව.හිතට මුලින් දැනුන ආදරය ටිකෙන් ටික ජීවිතේට පුරුදු වෙද්දි, මෙයා මට කොහොමත් අයිතියිනෙ කියන හැඟීම හිතට දැනෙද්දි, ඒ ආදරය ගැන මුලින් තිබුන උනන්දුව අඩු වෙලා යන හැටි මං දැකල තියෙනව. ඒ නිසා කවදාවත්ම තරුණ යුවලක් ආදරෙන් ඉන්න හැටි දැක්කම

"කොයි තරම් ආදරයක් ඒ දෙන්න අතරෙ තියෙනවද" කියල මට හිතෙන්නෙම නැති තරම්.

ඒ උනත් කසාද බැඳල අවුරුදු තිහ හතලිහක් ගියාට පස්සෙ තමන්ගෙ සැමියා ගැන බොහොම ආදරයෙන්, ඕනකමින් හොයල බලන බිරිඳක් දැක්කම, අසනීපෙන් ඉන්න තමන්ගෙ බිරිඳව වෛද්‍යවරයා පරික්ෂා කරද්දි හිතේ තිගැස්මකින් ඒ දිහා බලාගෙන ඉන්න සැමියෙක් දැක්කම, වයස හැත්තෑවක් අසූවක් වෙලා උනත් හිනාවෙවී බොහොම සැහල්ලුවෙන් කතා කර කර ඉන්න අඹු සැමි යුවලක් දැක්කම, අන්න එතනදි මම සැබෑ ආදරය දකිනව.

searchquotes.com

දෙන්නෙක් අතර ආදරයක් ඇතිවෙලා කාලයත් එක්ක ඒ ආදරය ටිකෙන් ටික හිතෙන් ඈත් වෙන්න ගත්තම, අනිත් කෙනා ගැන හිතේ තියෙන උනන්දුව අඩු වෙලා යන්න ගත්තම,  ඉස්සර නොදැක ඉන්න බෑ කියල අඬපු කෙනා පස්සෙ කාලයකදි දකින්නවත් එන්නෙ නැති උනාම, මොන විදිහෙ තත්වයක් උදාවෙයිද?

දෙන්නටම ඒ විදිහට දැනෙනව නම් ප්‍රශ්නයක් නෑ…බොහෝ විට කතා බහ කරල ඒ දේවල් විසඳ ගන්න පුලුවන් වෙයි. ඒත් එක්කෙනෙක් තමන්ගෙ ආදරවන්තයා/ආදරවන්තිය ගැන මුලින්ම ආදරයක් ඇති උන දවසෙ තිබ්බ ඒ ලෙංගතුකමම, ඒ සෙනෙහසම, අදටත් තමන්ගෙ හිතේ ඒ විදිහටම තියාගෙන ඉන්දැද්දි, අනිත් කෙනා වෙනස් වෙන්න ගත්තොත් දැනෙන දුක කොයි තරම් වෙයිද…

කොයි තරම් වයසට ගියත්, ජීවිතේ මොන තරම් වගකීම් වැඩි උනත්, තමන්ගෙ ජීවිතේ බෙදා ගන්න සුදුසුයි කියල තමන්ම තීරණය කරපු කෙනා ගැන ඇති කරගත් ආදරය, මියයන තුරාම නොවෙනස්ව තියාගන්න පුලුවන් නම්...........
අන්න එහෙම උනොත් නම් කිසිම කෙනෙක්ට කිසිම දවසක මෙන්න මේ වගේ දුක් ගී ගයන්න සිදු නොවේවී.


ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ

හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්

profilepics99.com


ගායනය:H.R ජෝතිපාල





49 comments:

  1. ගීතය නං හරිම දුක්බර වොයිස් එකකින් යනවා. ඔබ මතුකරපු කාරණා හුගක් ඇත්ත. ඒ වගේම එහෙම නොවෙන අයත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ජෝතිපාලයන්ගෙ දුක්බර හඬ නිසාමයි ගොඩක්ම මේ ගීතය හිතට දැනෙන්නෙ. ඔව් දේශකයා එහෙම නොවෙන අයවත් අපි සමාජයේ දකිනවා...හැබැයි ගොඩක්ම කලාතුරකින්.

      Delete
  2. //ඒ උනත් කසාද බැඳල අවුරුදු තිහ හතලිහක් ගියාට පස්සෙ තමන්ගෙ සැමියා ගැන බොහොම ආදරයෙන්, ඕනකමින් හොයල බලන බිරිඳක් දැක්කම, අසනීපෙන් ඉන්න තමන්ගෙ බිරිඳව වෛද්‍යවරයා පරික්ෂා කරද්දි හිතේ තිගැස්මකින් ඒ දිහා බලාගෙන ඉන්න සැමියෙක් දැක්කම, වයස හැත්තෑවක් අසූවක් වෙලා උනත් හිනාවෙවී බොහොම සැහල්ලුවෙන් කතා කර කර ඉන්න අඹු සැමි යුවලක් දැක්කම, අන්න එතනදි මම සැබෑ ආදරය දකිනව.//

    සම්පුර්ණයෙන්ම ඇත්ත චම්ස්. බුදුරජාණන් වහන්සේත් අගය කල නකුල මාතා සහ නකුල පිතා වගේ.

    ReplyDelete
    Replies
    1. අයිලාශ් අයියා කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ :) හ්ම්...කාලයත් එක්ක අඩු වෙලා යන දේකට 'සැබෑ ආදරයක්' කියන්න බෑනේ.

      Delete
  3. මට මතකයි ෆෝන් එක ගත්තු දවස. කොච්චර පරිස්සමෙන්ද පාවිච්චි කලේ..ඔයා මෙහෙම කියනකොට මට හිතුන මම එදා ෆෝන් එකට දක්වපු ඒ සැලකිල්ලෙන් 10% විතර දැන් අඩු වෙලා නේද කියල.

    සැබෑ ආදරයක් හරිනම් කවදාවත් ක්‍ෂය වෙන්නේ නෑ. මම හිතන විදිහට වයසට යන්න යන්න ඒවා තව තවත් ශක්තිමත් වෙන්න ඕනි. ඇත්තටම ඔයා කියන විදිහටම "මෙයා මට කොහොමත් අයිතියිනෙ කියන හැඟීම" තමයි ඕකට ගොඩක්ම බලපානවා ඇත්තේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ නිසා වෙන්න ඇති කෙනෙක්ව අයිති වෙන්න කලින් එයාට ලොකු අවධානයක් දීලා අයිති උනාට පස්සෙ ඒ අවධානය අඩු කරන්නෙ.

      //සැබෑ ආදරයක් හරිනම් කවදාවත් ක්‍ෂය වෙන්නේ නෑ. මම හිතන විදිහට වයසට යන්න යන්න ඒවා තව තවත් ශක්තිමත් වෙන්න ඕනි.//

      ඇත්තටම ඔව්. හරි නම් වෙන්න ඕනෙත් ඒකයි...

      Delete
  4. ඔයා කියලා තියෙන කතාව ඇත්ත චාම්ස්.... ඒත් ඔය අතර සැබෑ ආදරවන්තයොත් නැතුවාම නෙමෙයි.
    (මේ ගැන තව කියන්න බොහෝ දේ ඇත. ඒත් මේ වෙලාවේ ලියන්න බැරියෝ.... )

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ අය ඉන්නව සමනළී. මම දන්න ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි හිටියා. ගොඩාක් ආදරෙන් ඒ දෙන්නා හිටියෙ. ආච්චි ටික කාලෙකට කලින් නැති උනා. අදටත් ඒ සීයව බලන්න ගියාම ඇස් දෙකේ කඳුලු පුරවගෙන කථා කරන්නෙ ආච්චි ගැනමයි.

      (කමක් නැතෝ...වෙලාවක් තිබ්බොත් පස්සෙ ඒ කියන්න තියෙන දේවලුත් ලියල යන්නකෝ :) )

      Delete
  5. චම්ස් ඔහොමම යු ටියුබ් සින්දුව එම්බෙඩ් කරන්න.
    පෝස්ට් එක හොඳටම හිතට දැනෙනවා සින්දුව
    මේ ගමන්ම අහන්න තියෙද්දී...

    චම්ස් දන්නවා ඇතිනේ මම ඔය ගැන දරණ මතය.
    ප්‍රේමය පටන් ගනිද්දිම අසීමිතව හීන ලෝකයකින්
    පටන් ගන්න අයගේ විවාහ ජීවිතය හුලන් ගියපු බැලුමක්
    වගේ වෙනවා...

    බොරුවට හුලන් වලින් පුම්බන්නේ නැතුව තියෙන
    හැටියට ජීවත් උනා නම් ඔය වගේ බලාපොරොත්තු
    කඩ වීම් නැහැ.

    ආදරය , සෙනෙහස , හුරතලය , ලමකත්වය ඕනේ තමයි
    විවාහ ජීවිතේට.එත් බොරුවට ලෝකෙට පේන්න
    ආරෝපණය කර ගත්ත හුරතලේට නම් පැවැත්මක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දාද්දි මං වීඩියෝ එක එම්බෙඩ් කරන්න හද්දදි බ්ලොගර් ඒ සඳහා මට දුන්න අනර්ඝ සහයෝගය නිසාම ඒ වැඩේ අතඇරල දාල තමයි ලින්ක් එකක් විදිහට දුන්නෙ. හැබැයි දැන් ආයෙත් කරල බලද්දි නම් අවුලක් උනේ නෑ..ඇති යන්තම් y-)

      ආදරය වගේ දෙයක් ලෝකෙට පේන්න කරල නම් කිසිම වැඩක් නෑ...එතන මුල ඉඳන්ම තියෙන්නෙ බොරුවක්නෙ...

      Delete
  6. ඇත්ත කතාව.
    වයසට ගියත් වෙනසක් නැතුව කුරුළු ජෝඩුව වගේ ඉන්න අයත් ඉඳ හිට දකින්න ලැබෙනවා. අර සින්දුව මගේ කොම්පීතරයේ තිබේ. :)

    ReplyDelete
    Replies
    1. //අර සින්දුව මගේ කොම්පීතරයේ තිබේ. //
      හි හී ඔහෙත් එහෙමද??? මෙහෙත් එහෙමයි :D

      Delete
  7. මරු මරු.මුලින්ම මොබයිල් ෆෝන් කතාව දැක්කම මට හිතුණා මේ ලව් ඉලව්වක් ගැන තමයි කියන්න යන්නෙ කියලා..)))))

    ..කොහොම හරි මට හිතෙන්නෙ අක්කෙ ඔය ගොඩක් දේවල්වලට හේතුව අපේ සමාජයෙ තියෙන යාන්ත්‍රික බව.අපි අපිට ආදරය කරන අය දිහා බලන්න ඕනේ එයාලා ලෝකෙ ඉන්න හොදම ලස්සනම අය විදියටනේ.ඒත් එහෙම නිස්කලංකව හිතන්න මේ සමාජය ඉඩ දෙන්නැති තරම්.ඒත් අපි දැනගන්න ඕන ඒ විදියට හිතන්න.අර අසු ගණන්වල අනූ ගණන්වල අරලිය පත්තරවල තියෙනවා වගේ!!!

    ....සින්දුවෙ ලින්ක් එක නම් වැඩ නෑ.මං මේ සින්දුවට හරි ආසයි.වචනවත් තේරෙන්නැති කාලෙ ඉදන් ගොත ගගහා ඕක කියනවා..)))))))

    ගූගල් දෙය්යෝ තුන් පාරක් මගෙ කමෙන්ට් එක අන්තරස්ධාන කෙරුවා!!!! ඒත් මේකට කමෙන්ට් නොකර යන්න බැරි නිසා ආයෙත් කමෙන්ට් එකක් ලිව්වා!

    ReplyDelete
    Replies
    1. ෂා ඔයා නියමයිනෙ නංගියා..ගොනා හැරෙනකොටම පොල පැලේ කන්නයි යන්නෙ කියල දැනගත්තා නේද? :))

      දැන් කාලේ ආදරය කරනව කියන එකත් ඔහෙ කරන්නන් වාලේ කරන ගානට වැටිලද කියල හිතෙනව. ගොඩක් අය මේ තියෙන තරඟයත් එක්ක දුවද්දි ආදරය වගේ හැඟීම්වලට ජීවිතේ අඩු තැනක් දෙන්න පුරුදු වෙලා.

      ලින්ක් එක වැඩ කලානෙ නංගියෝ..කොහොම උනත් දැන් නම් වැඩ කරන්න ඕන.

      එයා ඔය වගේ වැඩ හරියට කරනව නංගි. මේ තරම් මහන්සි වෙලා කමෙන්ට් කලාට ඔයාට ගොඩක් ස්තූතියි හොඳේ :)

      Delete
  8. ඒක නම් ඇත්ත චාම්ස්.

    ආදරය කරන්න පටන් අරගන්න එක නෙවෙයි වැදගත්. ඒ ආදරය පවත්වාගෙන යන එක.
    ඔයා හරිම ලස්සනට විස්තර කරල තියෙනව.

    සින්දුව නම් ඉතිං ඉස්සර ඉඳන්ම ආසාවෙන් අහන එකක්.
    ඒ වගේ අහන තව සින්දුවක් තමයි


    "මහ වරුසාවට...
    පසුව නැගෙන සඳ...
    වෙනදාටත් වැඩියෙන් එලියයි...
    නෝක්කාඩුවට පසුව ඔබේ වත...
    ඒ එලියට වැඩියෙන් එලියයි.."

    ReplyDelete
    Replies
    1. //ආදරය කරන්න පටන් අරගන්න එක නෙවෙයි වැදගත්. ඒ ආදරය පවත්වාගෙන යන එක.//
      ++++++++++++++++++++++++++++++++++
      සහතික ඇත්ත සසිනි. ඒත් අවාසනාවකට ගොඩක් අයට ඒක තේරෙන්නෙ නෑ.

      හ්ම් මාත් ගොඩක්ම ආස සිංදුවක් තමයි ඒක..ඔය වගේම රණ්ඩුවක් ගැන කියවෙන "මහ වැස්සක් බිමට හෙලා" කියන සිංදුවටත් මම හරිම කැමතියි :)

      Delete
  9. දැන් ගායකයෝ බහුලයි - පද රචකයෝ විරලයි..

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්...දැන් කාලේ ගොඩක් සිංදුවල තියෙන්නෙ තේරුමක් නැති වචන ටිකක් විතරයිනෙ.

      ජය වේවා!!!

      Delete
  10. ""අර මුලින් තිබුන ආදරේ නැති වෙලා යන හැටි "" - හැම දේම සාපේක්ෂයි අක්කේ.

    තමන් හිමිකරගන්න ඕනේ තමන් ආදරය කරන කෙනාව නෙමේ තමන්ට ආදරය කරන කෙනාව. මොකද කවදාවත් තමන්ට ආදරය කරන කෙනා තමන්ව දාල යන්නේ නැහැ.

    අනික තමා දෙන්නෙක්ට ආදරය කරනවානම් අනිවාර්යෙන් හිමිකරගන්න ඕනේ දෙවෙනි කෙනාව. පලවෙනිකෙනාගෙන් හරිහමන් ආදරයක් හම්බුනානම් කොහෙත්ම දෙවන්නෙක් ලගට යන්න විදියක් නැහැ. (FB එකෙන්)

    ආදරයක් නොවෙනස්ව පවතින්නනම් අනෙකාව හරියට තෙරුම් ගන්න ඕනේ. විවාහයක් හිතන්න කලින් අඩුම අවුරුදු 3 ක් වත් ආදරයකලානම් බොහෝ විට ඒ විවාහා දිවිය සාර්ථකයි ....

    ReplyDelete
    Replies
    1. //තමන් හිමිකරගන්න ඕනේ තමන් ආදරය කරන කෙනාව නෙමේ තමන්ට ආදරය කරන කෙනාව//
      මෙහෙමයි මල්ලි මට නම් හිතෙන්නෙ තමන්ට ආදරය කරන කෙනාට තමනුත් ආදරය කරනවද කියල හොඳට කල්පනා කරල ඒ කෙනාව ජීවිතේට ළං කරගන්නව නම් හොඳයි කියල. මොකද තමන් ඒ කෙනාට ආදරය කරන්නෙ නැත්තම් ඒක ඒ කෙනාට කරන අසාධාරනයක් වෙනව නේද? අනිත් එක, එක්කෙනෙක් ආදරය කරද්දි අනිත් කෙනාගෙන් ඒ ආදරය ලැබෙන්නෙ නැත්තම් ඒකත් ප්‍රශ්න වලට මුලක් කියල හිතෙනව

      //ආදරයක් නොවෙනස්ව පවතින්නනම් අනෙකාව හරියට තෙරුම් ගන්න ඕනේ. විවාහයක් හිතන්න කලින් අඩුම අවුරුදු 3 ක් වත් ආදරයකලානම් බොහෝ විට ඒ විවාහා දිවිය සාර්ථකයි ....//

      අන්න ඒ කතාවත් එක්ක නම් මං සීයට දෙසීයක් එකඟයි. සමහරු කරන රඟපෑම් තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ කාලයක් එයාලව ආශ්‍රය කරනකොටයි. අනිත් එක එකිනෙකාව තේරුම් ගන්නත් ඒක වැදගත්.

      කථාවෙන් කථාවෙන් ඔයාව පිළිගන්නත් බැරි උනානෙ. එහෙනම් ඔන්න හිත අද්දරට මල්ලිව සාදරයෙන් පිළිගන්නවා :-h

      Delete
    2. එත් මල්ලි වෙලාවකට සමහර මිනිස්සු තමන්ට ආදරේ කරන අයව අහිමි කරගන්නවා. මොකද ඒ කෙනා ගැන තමන්ට ආදරයක් නැති නිසා. ආදරයක් පවතින්නේ දෙන්නටම එක වගේ ආදරේ කරන්න පුළුවන් නං විතරයි. නැත්තන් ආදරේ කරන කෙනා හැමදාම දුකෙන්...ඒ නිසා ඉස්සර මන් ඔය මතය දරුවට දැන් ඕකට විරුද්දයි මම.....:(

      Delete
    3. //තමනුත් ආදරය කරනවද කියල// -- ඔව් එක හරි අක්කේ. නමුත් තමන්ට ආදරය කරන කෙනා කවදාවත් තමන්ව රිදවන්නේ, දාලයන්නේ, වරදක් කරන්නේ නැහැ. කෙල්ලෙක්ගෙ පැත්තෙන් බලපුවහම සමාජෙත් එක්ක මේක එයාලට ගොඩක් වටිනා දෙයක්. තමන්ට ආදරය කරන කෙනෙක්ට ආදරය නොකරන්න තරම් හේතුවක් නැති වේවි යන්නයි මගෙනම් අදහස...

      මොන දේ උනත්, මමනම් අදටත් ආදරයට ආදරෙයි

      Delete
    4. කසුන් ඔය තරම්ම ආදරය විස්වාස කරන්න එපා ආදරය මත යැපෙන්න එපා.

      Delete
    5. මගේ යාලුවෙක් කෙනෙක්ට ගොඩක් ආදරය කලා.බැලූ බැල්මට පෙනුනෙ දෙන්නම ආදරයෙන් සතුටින් ඉන්නව කියල. ඒත් ටික කාලෙකින් අර කෙනා මගෙ යාලුවට කියල තිබ්බ මේ සම්බන්දෙ පටන් ගත්ත දවසෙ ඉඳන් මම ඔයාට ආදරේ කරන්න උත්සහ කලා ඒත් මට ඔයා ගැන ආදරයක් දැනෙන්නෙ නෑ ඒ නිසා අපි මේ සම්බන්දෙ නවත්වමු කියල. එතනදි මගෙ යාලුව කොයි තරම් දුක් උනාද කියල මං දැක්ක. මුල ඉඳන් අර කෙනාගෙ හිතේ මෙයා ගැන එහෙම හැඟීමක් තිබ්බෙ නැත්තම් සම්බන්ධය පටන් නොගෙන ඉන්න තිබ්බනෙ. මැදකදි එහෙම කියන එක වැරදියිනෙ.

      ඒ සිද්ධියෙන් මම තේරුම් ගත්ත අර කඩුපුලී කිව්ව වගේ ආදරය පවතින්නනම් දෙන්නම එකිනෙකාට ආදරය කරන්න ඕන කියන එක. ඒ නිසයි තමන්ට ආදරය කරන, තමනුත් ආදරය කරන කෙනෙක් ජීවිතේට ලං කරගන්න එක හොඳයි කියල මං විශ්වාස කරන්නෙ :)

      Delete
  11. සින්දුව අහන ගමන් මේක කියෙව්වම ඇඩෙනවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ අඬන්න එපා රජතුමනි!

      අඬනකොට සුභ වෙන්නෙ නෑනෙ...එතකොට රාජ සම්පතුත් ලැබෙන එකක් නෑ මයෙ හිතේ :(

      Delete
  12. චාම්ස් කියල තියෙන්නෙ ඇත්තටම සම්බන්ධතාවක් ගලාගෙන යන විදිහ.
    ආදරය කරන සමයෙයි විවාහයට පසුයි ආදරය අඩු වීමක්ම නෙවෙයි සිද්ද වෙන්නෙ. (එහෙම වෙන අයගෙ අඩුවකුත් නෑ ) නමුත් ගොඩක් වෙලාවට ආදරය පෙන්වීමේ රටාවයි වෙනස් වෙන්නෙ. අපි මතුපිටින් නොදැක්කට ගොඩක් අය ගාව මේ බැඳීම තියෙනවා.
    ගොඩක් ආසාවෙන් අහපු ගීතයක්. හැබැයි තේරුම ගැන සැලකිලිමත් වුනේ අදයි. චාම්ස්ගෙ පැහැදිලි කිරීම හින්දා. :) දැන් ගීතය වටිනවා වැඩියි වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ගිමන් ආදරය පෙන්වන විදිහ නම් කාලයත් එක්ක වෙනස් වෙනවා.ඒක නම් එච්චර ප්‍රශ්නයකුත් නෙවෙයි...මොකද අවුරුදු විස්සේදි ආදරය කරන කාලෙ කියපු කරපු දේවල් අවුරුදු හැටේදිත් ඒ විදිහටම බලාපොරොත්තු වෙන්න බෑනෙ.හැබැයි "මෙයාව ලැබුනෙ නැත්තම් ඉඳල වැඩක් නෑ" කියල විවාහවෙලා ටික දවසකින් එකිනෙකාව පේන්න බැරිවෙන, ඊටත් පස්සෙ විවාහය දික්කසාදයකින් කෙලවර කරන අයත් සමාජයේ ඕන තරම් ඉන්නවනෙ.අන්න එතන නම් ප්‍රශ්නයක් තියෙනව කියල හිතෙනව...

      තේරුම ගැන සැලකිලිමත් උනාම ගීතයක් දැනෙනව වැඩියි නේද... :)

      Delete
  13. මට හිතෙන්නේ මෙහෙමයි, ඕනෙම යුවලක් විවාහ ජීවිතේ හොඳ කාල, නරක කාල වලට මුහුණ දෙනවා. ආදරේ අඩු වැඩි වෙනවා. සැබෑ ආදරය, නොවෙනස් ආදරය කියන ඒවා 100% ප්‍රායෝගික නැහැ. මිනිස්සු වැරදීම් වලින් ඉගෙන ගන්නවා, වැටුනහම නැගිටිනවා. ජීවිතේ අත්දැකීම් වලින් පරිණත වෙද්දි, ඉවසීම වගේ ගුණාංග ප්‍රගුණ කලාම, තමන්ගේ සහකාරිය/සහකරු සමග ගෙවපු ජීවිතය, දෙදෙනා එකට මුහුණ දුන් ඇත්දැකීම් තුලින් ඒ දෙදෙනා අතර පෙර නොවූවිරූ බැඳීමක් ඇති කරනවා. වයසට යනවිට මෙහෙම ආදරේ කරන දෙන්නෙක් මුළු ජීවිතේම එහෙම හිටියා කියලා අදහස් වෙන්නෙ නෑ. නමුත් ඒ 'නරක' කාල පසු කරගෙන යන්න අනිවාර්යයෙන් දැඩි බැඳීමක් අවශ්‍යයි. මතුපිටින් නොපෙනුනත් සමහරුන්ගේ ඒ බැඳීම තියනවා.

    මුල ඉඳන් අගට නොවෙනස් ආදරයක් කියන එක එතරම් ප්‍රායෝගික දෙයක් නෙමෙයි මට හිතෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. නරක කාල පහුකරගෙන ජීවිතේ දුක සැප බෙදාගෙන ඉස්සරහට අය දකින එකත් වාසනාවක්. ඒත් "හැම ප්‍රශ්නයකටම අපි දෙන්නා එකට මූණදෙමු" කියල පටන් අරන් ප්‍රශ්න එන්න ගත්තම එක්කෙනෙක්ව තනි කරල අනිත් කෙනා යනවනම්...එහෙම නැත්තම් ඒ ප්‍රශ්න වල වගකීම එක්කෙනෙකුට පවරල අනිත් කෙනා අත හෝද ගන්නවනම් නම් අන්න එතනදි පටන් ගනිද්දි තිබුන ආදරයට මොකද උනේ කියන ප්‍රශ්නෙ එනව නේද. ආදරය පෙන්වන විදිහ, ආදරය දැනෙන විදිහ, ආදරය විඳින විදිහ නම් කාලයත් එක්ක වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේ සිංදුවෙන් කියවෙනව වගේ අවුරුදු ගානක් ආදරය කරපු අයට තමන් ආදරය කරන කෙනා කාලයත් එක්ක එපා වෙනවනම් ඒක හරිම අවාසනාවන්ත දෙයක් කියල හිතෙනව.

      //සැබෑ ආදරය, නොවෙනස් ආදරය කියන ඒවා 100% ප්‍රායෝගික නැහැ.//

      ඇත්ත තිසර මාත් ඒක පිලිගන්නව. සැබෑ ආදරය, නොවෙනස් ආදරය කෙසේ වෙතත් 'ආදරය' කියන එකම ප්‍රායෝගික දෙයක්ද කියලත් වෙලාවකට මට හිතෙනව :-?

      Delete
  14. ඇත්ත..., ආදරේ පටන් ගන්න කලේ ගොඩක් සුන්දරයි... ඔය කිව්වා වගේම ඒ කලේ ඒ දෙන්නටම ඊට වැඩ දෙයක් නැහැ...හැම දේම හොයල බලනවා.එත් ඊට පස්සේ ආදරේ වෙනස් වෙන්නේ තමන්ට අයිතියි කියල හිතන නිසා වෙන්න පුළුවන්.. මන් ඒ මතේට එකයි.. දෙයක් ලබගන්නකන් තියෙන ආසාව ඒ දේ ලබා ගත්තට පස්සේ අපි ගාවින් ඈත් වෙනවා ....
    ඔය කියපු තව දෙයකට මන් එකයි.... ඒ හැගීම දෙන්නටම එකම විදියට දැනෙනවනන් එතන සමතයකට එන්න පුළුවන්...එත් එක්කෙනෙක්ට විතරක් එහෙම දැනෙනවා නං එක ලොකු පවක්.. අනිත් කෙනාට එහෙම නොදැනුනත් බදින්න කලින් නං එක එහෙමයි කියල දෙන්නට ඇත වෙන්න පුළුවන්.. එත් ආදරේ කරන කෙනෙට එක දුකක්...එත් ලංකාවේ ගොඩක් ගැනු ය ඔය දුක දරාගෙන ඉන්නවා වෙන කරන්නම දෙයක් නැති නිසා...

    ඒත් අවුරුදු 40, 50 ගියාමත් ඒ වගේම ආදරේ කරනඅය ඉන්නෙත් මේ පොලව උඩම තම..එතකොට වෙනස තියෙන්නේ ආදරේ කරන අයගේ හිතේ...ටික දෙනෙක්ට හරි යාලු වුන දවසේ වගේ ආදරේ කරන්න පුළුවන් නං අනිත් අයට බැරි වෙන්න විදියක් නැනේ..

    ටිකක් දිග වැඩි වුනාද මන්ද ???
    එත් මේකත් කියන්නම ඕන..mobile phone එක ගැන ගත්ත උදාහරණෙ මේකේ එකට නියමට වෙනවා..මාත් හිතුව ලව් සීන් එකක් තමයි කියල..

    ලස්සනයි සින්දුවත් ඇහුව..
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. //එත් ලංකාවේ ගොඩක් ගැනු අය ඔය දුක දරාගෙන ඉන්නවා වෙන කරන්නම දෙයක් නැති නිසා...//

      ඇත්ත....සමහරු විවාහය පවත්වාගෙන යන්නෙ දරුවො ගැන හිතල, එහෙමත් නැත්තම් සමාජයෙන් අපවාද අහන්නවෙයි කියන බයට. එහෙම නැතුව ආදරයක් තියෙන නිසා නෙවෙයි.
      මොන ප්‍රශ්න ආවත් දෙන්නා අතර තියෙන ආදරය නැති නොකර තියාගන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා.

      //mobile phone එක ගැන ගත්ත උදාහරණෙ මේකේ එකට නියමට වෙනවා..මාත් හිතුව ලව් සීන් එකක් තමයි කියල..//

      මෙයත් වැඩේ මුලින්ම අල්ලගෙනනෙ :))

      Delete
  15. ආදරේ එක එක ප්‍රබේධ තියෙනව. දෙමව්පියන්ගෙ ආදරේ, සහෝදර සහෝදරියන්ගෙ ආදරේ, පෙම්වතුන්ගෙ ආදරේ වගේ... ඒත් ‘ආදරේ‘ කියල කියද්දි අපේ හිතට ගොඩක් වෙලාවට එන්නෙ ඔය ප්‍රේමවන්තයන්ගෙ, ප්‍රේමවන්තියන්ගෙ ආදරේ ගැන විතරයි. ඒත් බලාගෙන යද්දි කාලෙත් එක්ක වැඩිපුරම වෙනස්කම් වලට බාජනය වෙනව පේන ආදරෙත් ඒකමයි. එහෙම නොවෙන අම්මල තාත්තලගෙ ආදරේ හරි සහෝදර සහෝදරයන්ගෙ ආදරේ හරි ගැන අපි සංවේදී වෙනව අඩුයිද කොහෙද? ඉතින් එතකොට මෙහෙම ප්‍රශ්ණයක් එනව.

    ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියල මිනිස්සුන්ට වැටහීමක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. //එහෙම නොවෙන අම්මල තාත්තලගෙ ආදරේ හරි සහෝදර සහෝදරයන්ගෙ ආදරේ හරි ගැන අපි සංවේදී වෙනව අඩුයිද කොහෙද? //

      එහෙම්මම කියන්නත් බෑනේද පරිකල්පන. මම නම් ඕනම කෙනෙක්ගෙන් ලැබෙන ආදරය දිහා බලන්නෙ පවුලෙ අයගෙන් ලැබෙන ආදරයත් එක්ක සංසන්දනය කරල. ඒක අන්තිම වැරදි, තේරුමක් නැති වැඩක් කියල මම දන්නව..මොකද ඒ වගේ ආදරයක් අපිට වෙන කාගෙන්වත් ලැබෙන්නෙ නැති නිසා. ඒ උනත් මම 'ආදරය' මොන වගේද කියල තේරුම්ගත්තෙ පවුලෙ අයගෙ ආදරයත් එක්ක. එයාලගෙ ආදරයට කොන්දේසි නෑ..කාලයත් එක්ක අඩු වෙනව/නැතිවෙනව කියල එකක් නෑ.
      ඉතින් ඒ විදිහට බලද්දි සෝඩා බෝතලේ ඇරියා වගේ ඇතිවෙලා නැතිවෙලා යන 'සමහර' පෙම්වතුන්ගෙ ආදරය මායාවක් කියල හිතෙනව.

      //ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියල මිනිස්සුන්ට වැටහීමක් තියෙනවද?//

      මං හිතන්නෙ නෑ. හැමෝම ඒ ආදරය කියන එක නිර්වචනය කරන්නෙ තමන්ගෙ අදහස්, සිතුම් පැතුම් එක්ක. ලස්සන, හොඳ, වගේම ආදරයත් සාපේක්ෂ දෙයක් කියලයි මට හිතෙන්නෙ.
      "එනමුදු ප්‍රේමය කිමැයි කියා හඳුනාගත් කිසිකෙනෙකු නැතී" කියල කියනවනේ :)

      Delete
  16. අනේ මම කලින් දාපු කොමෙන්ටුව පළ වෙලා නැහැනේ :'(හ්ම්ම්, ඇත්ත ම කතාවක් චාම්ස්. හැමදාමත් නොවෙනස් වෙන ආදරයක් තියෙන්නේ කලාතුරකින්. එහෙම ආදරයක් ලබන්න මොන තරම් පින් කරන්න ඕනෙ ද?

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කමෙන්ට් එකක් තිබුනෙ නෑ ධාරා...හොයල බලන්න තියෙන හැමතැන බැලුව h-( මීට කලින් සමහරු ඔය කමෙන්ට් අතුරුදහන් වෙන කතාව කියල තිබුනා. දැන් මටත් ඒ වැඩේ වෙනව වගේ :(
      හ්ම්...ඇත්තටම එහෙම ආදරයක් ලබන්න වාසනා කරල තියෙන්න ඕන.....

      Delete
  17. හුඟාක් හොද කාරණා කිපයක් චාම්ස් මතු කරලා තියෙන්නේ.. ආදරයක් ඇති වෙන්න.. ආදරයක් කියන්න.. ආදරයක් දිනා ගන්න හරි ලේසියි.. ඒත් ආදරය ජීවිත කාලෙටම එක වගේ රදවන් යන්න හරි අමාරුයි.. කාලයත් එක්ක ආදරේ වෙනස් වෙන්නේ නැතුව තියා ගන්න එකයි වැදගත්ම දේ..

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක ආදරේ වැඩි වෙනව නම් හොඳයි..අඩුම තරමෙ අඩු නොකර තියාගන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්.

      Delete
  18. වැදගත්ම දේ පවත්වාගෙන යාමයි.අද සමාජයේ වෙන් විම් වැඩි වන්නේ අවබෝධයක් නැති කමින්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකිනෙකා අතර හොඳ අවබෝධයක් නැත්නම් කිසිම සම්බන්ධයක් සාර්ථක වෙන්නෙ නෑ.

      Delete
  19. දෙන්නෙකුගේ විවාහයේ මුල් කාලයේ බැඳීම පසු කාලීනව නැති උනොත් පවල් ජීවිතය අසාර්ථකයි

    ReplyDelete
  20. ඇත්තටම කියනව නම් මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ වගේ . ආදරය කියන කාරණාව සම්බන්ධයෙන් වෙන සියලු කරුණු මෙතන තියෙන හැඩයි. බොහොම ලස්සන ගීතයක්. මං ගාව නොතිබ්බ නිසා download එකක් දීලා අහන්න ඕනේ. ඒ වගේම කියල තියෙන කරුණුත්.
    ඇත්ත තමයි. දෙමාපියන්ගේ ආදරේ සහ ප්‍රේමය සන්සන්දනය කරන්න බෑ. ඒ ආදරේ කොන්දේසි විරහිත ආදරයක්. දැන් අවුරුදු 29ක් වෙන්න ඇවිල්ලත් දැන් ගෙදරට කතා කරත් අම්මා අහන්නේ‘කොහොමද ලොකු පුතේ, තොරතුරු‘ කියලා. කට හඩේ පුංචි වෙනස් වීමක් වුනත් ඒ පපුවට දැනෙනවා හොඳට. ඇයි අසනීපෙන්ද කියලා දුකෙන් අහන්නේ තමන්ට අසනීප වුනා වගෙයි. හදිසියේ ඈනුමක් ගියොත් මට, කීය වෙනකම් ඇහැරලා ඉන්නවද මයෙ පුතේ. කල් ඇතුව නිදා ගන්න කියලා කොච්චර නම් කියනවද මම කියලා දොස් මුරයයි. ඒ කොන්දේසි නැති ආදරේ. අවුරුදු 29ක් මාව අහන දකින අම්මා කවදාවත් වෙනස් නොවෙද්දි අවුරුදු දෙක තුනක් ආදරේ කරලා තේරුම් නොගෙන යන එකත් බලද්දි අමුතුයි. ජීවිතය කියන්නේ පුදුමාකාර අත්දැකීම් ගොන්නක්. ඒ අත්දැකීම් ගොන්න අතරේ ආදරේ කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්. මේ ආදරේ නිසා ජිවිතේ වෙනස් වෙන්නේ පුදුමාකාර වේගයකින්.ආදරේ නැති උනා මත් ජිවිතේ වෙනස් වෙන්නේ පුදුමාකාර වේගයකින්. ඒ ආදරේ හැටි.චූටි මම ඒ කාලේදී වැටුනම ඒ වේදනාවට මන් ඇඩුවා. ඊට පස්සේ ඉස්කෝලෙදි සෙල්ලම් කරන කොට තුවාල වෙලා ඇඩුවා. පස්සේ ලොකු වෙලා, ගුටි කාලා ඒ වේදනාවටත් මම ඇඩුවා.ඒත් දන්නවද. දැනෙන ලොකුම වේදනාව ඒක නෙවෙයි. ආදරේ අහිමි උනාම දැනෙන වේදනාව ගොඩක් දරුණුයි. ඒක තමයි ජිවිතේ ලැබෙන ලොකුම වේදනාව. දෙන්නගෙම ආදරේ එක විදිහට දෙන්න පුලුවන් නම් ආදරේ හැමදම තියේවි කියන අදහස නම් ඇත්ත.නමුත් ආදරේ කරන්න කලියෙන් ඒ දෙන්නා ආදරේට ඉඩ නොදි ටික කාලයක් ඇසුරු කරලා බලන්න ඕන. ඒ කාලෙදි තේරුම් ගන්න පුලුවන් වේවි දෙන්නා ගැන ගැඹුරින්. හැබැයි එක්කෙනෙක්ට එක්කෙනෙක් අවංක වෙලා තමන්ගේ ඇත්ත ප්‍රතිරූපය මත ජීවත් වුනොත් විතරයි ඒ.නැත්නම් එක පාරම නොයක් හේතු කියලා මග ඇරලා දාලා ගියාම අර ආදරේ හිතේ තියාගෙන කෙනාට වෙන්නේ ලොකු දුකක්. ඇත්තම කියනව නම් මම හොඳටම බැනුම් ඇහුවා එයාගෙන් මට ආයේ කරදර කරන්න එපා කියන තැනටම. So happy to left you කිවම පොලව පලාගෙන යන්න තරම් දුකක් ඇති වුනා මට. එහෙම කිවේ මම තවත් තවත් එයාවම හොයපු නිසා. ඒත් මගෙ හිතේ පුංචි තරහක්වත් නෑ. මොකද මම දන්නවා එයා පොඩි දේටත් බැනලා තරහ වෙන බව. වෙනද නම් ආයෙත් එයාම කතා කරලා බැන්න එක ගැන සමා වෙන්න කිය කියා මා එක්ක ඇවිටිලි වෙනවා . නමුත් මම දැන් දන්නවා යථාර්තය. දුකක් වුනාට ඒ තමයි ඇත්ත. ආයේ එන් නැ කියලා. එහෙමයි ආදරේ , ප්‍රේමයේ හැටි. කොන්දේසි තියෙනවා. වටිනාම දේ තමයි ආදරේ නැත්නම් අනිත් කෙනාට දුකක් නොදි අයින් වෙන එක. හැබැයි ගැඹුරට අතු විහිදුනු ආදරේකට එහෙම දුකක් දෙන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. නැත්නම් බැන්දට පස්සේ වෙනස් වුනාම දුක වැඩියි. ආදරේ ජීවිතේ පුරාවටම එක වගේ තියා ගන්න දෙන්නගේම උනන්දුව තියෙන්නෙ ඕනේ. ආදරේ මුල් අවධියේදි mobile එකෙන් වරු ගණන් මල් කඩන, මොන දේ වුනත් කලත් පුංචි හරි feedback එකක් දෙන ආදරේ කාලයත් එක්ක වෙනස් වෙන නොවෙන එක දෙන්නගේ අතේ තියෙන්නේ. දෙන්නම හොඳ තේරුමු ගැනීමක ඉන්න ඕනෙ දෙදෙනා පිලිබඳව. එහෙම නොවෙන්න හේතු හොයන්න ඕනේ.හිතේ තියන් ඉඳලා දුක්විඳිනවට වඩා අනිත් කෙනාට එයාගේ අඩු පාඩු පෙන්නන්න ඕනේ. තනි අතකින් අත්පුඩි ගහන්න බැහැනේ. දිග වැඩි වුනාද මන්දා..

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න ඕන ඔයාගෙ කමෙන්ට් එක පබ්ලිශ් කරන්න මෙච්චර පරක්කු උනාට සමාවෙන්න කියල...පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න විවේකයක් තිබුනෙ නැති නිසයි එහෙම උනේ. So sorry :(

      ඔයා කියල තියෙන හැම කතාවක්ම ඇත්ත. ආදරේ කරනව කියන්නෙ ලොකු වගකීමක්. තමන් ඒවගකීමදරන්න ලෑස්ති නැත්තම් ආදරේ නොකර ඉන්න එක වැඩිය හොඳයි.

      //ආදරේ කරන්න කලියෙන් ඒ දෙන්නා ආදරේට ඉඩ නොදි ටික කාලයක් ඇසුරු කරලා බලන්න ඕන.//

      ඇත්තටම ඔව්. එතකොටයි ඒ දෙන්නා අතර ගැලපීමක් තියෙනවද නැද්ද කියල තේරුම් ගන්න පුලුවන්. එහෙම නැතුව ඉක්මන් තීරණ ගත්තොත් ඒක ප්‍රශ්න වැලක ආරම්භය වෙන්න පුලුවන්.

      අම්මලගෙ ආදරය ගැන ඔයා කියන එකත් ඇත්ත. ඒ විදිහෙ ආදරයක් නම් වෙන කාගෙන්වත් ලැබෙන්නෙ නෑ.

      ඔයාගෙ කමෙන්ට් එකේ මේ පෝස්ට් එකෙන් කතා කරන්න උත්සහ කරපු මාතෘකාවට අදාල හැම කරුණක්ම වගේ තියෙනව. ඔයා ගොඩක් මහන්සි වෙලා මේ අදහස් ලියල ගියාට බොහොම ස්තූතියි රතී.....

      Delete
  21. පහු පහු වෙනකොට - කොහු කොහු වෙනවලුනේ.....

    හැමෝම ආස ඇති ඔහොම ජීවත් වෙන්න, ඒත් ඒක ප්‍රායෝගිකව අමාරුයි

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකනෑමයි කියන්නත් බෑ හැබැයි :-?

      Delete
  22. මුල් උදාහරණයට නම් ඉතින් පිළිතුර nokia 1100 වගේ phone එකක් ගන්න එක. එතකොට ඉතින් ගලේ ගැහුවත් phone එකට නම් හානියක් වෙන්නේ නැහැ :D

    ReplyDelete
    Replies
    1. ඒක පළවෙනි ප්‍රශ්ණෙට නිවැරදි පිළිතුරක් ලෙස භාරගන්නවා..දෙවෙනි ප්‍රශ්නෙට? :D

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)