Ads 468x60px

Tuesday, June 11, 2013

නික්ම යාම



ඔහු දුම්රිය ස්ථානයේ වූ බංකුවක් මත හිඳ ගත්තේය. වෙලාව පස්වරු තුන පසු වී මිනිත්තු දහයක් බව දුම්රිය ස්ථානයේ වූ ඔරලෝසුව ඔහුට පැවසීය. දින තුන හතරකින්ම හරි හමන් කෑමක් ඇඟට නොවැටුන නිසා මුලු ඇඟම පණ නැතිවී ගෙන එන බව ඔහුට දැනුණි. උදේ ලැබුනු තේ කෝප්පය හැරුණු විට මේ වෙනතෙක් කිසිම ආහාරයක් ඔහුට ලබාගත නොහැකි විය. ගිනි ගහන මද්දහන ඔහු තලා පෙලා දැමූ තරම මදි යැයි සිතීදෝ, අහස කලු වලාවන් එක්රැස් කරන්නේ ඔහුව වැස්සෙන් තෙත බරිත කිරීමට මෙන්ය. ඇඟට දැනුන දැඩි වෙහෙස නිසාම, සිලි මල්ලක ඔතාගත් ඇඳුම් කඩමාලු කීපය හිසට තබාගත් ඔහු බංකුවේ ඇල උනේ කෙටි හෝ නින්දක් ලබාගැනීමටය

**************************************************************************************

වැඩිමහල් සොයුරෙක් හා සොයුරියක් සිටි ඔහු, පවුලේ බාලයා විය. කුඩා කල සිටම පොත් පත්කියවීමට ඔහු මහත් රුචියක් දැක්වූයේය. පාසලෙන්ට වඩා ඔහු ඉගෙන ගත්තෙ සමාජයෙනි. අයියා සහ අක්කා විවාහ වූ පසු මහගෙදර නැවතී සිය මවද බලාගෙන ජීවත් වීම ඔහුට ප්‍රිය විය. විශාල වේතනයක් නොලැබුවත් ලැබෙන මුදල එදිනෙදා අවශ්‍යතාවයන් පියවා ගැනීමට ප්‍රමාණවත් විය. කුමක් හෝ හේතුවක් නිසා විවාහ නොවීමට තීරණය කල ඔහු, තමන්ගේ පාඩුවේ ජීවත්වන්නෙක් ලෙස අන් අය හැඳින්වූහ.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවෙද්දී ඔහු මැදිවියට ළං විය. මේ අතරවාරයේදී ඔහුගේ මව මිය ගිය අතර තවත් වසර ගණනාවක් ඔහු තනිව නිවසේ වාසය කලේය. වයසට යාමත් සමග ඇතිවන්නාවූ විවිධ රෝග මේ අතරේ ඔහු සොයා පැමිණියහ. නිවසද බොහෝ අබලන් වී තිබුණි. එය යලි ගොඩ නගා ගැනීමට අවශ්‍ය මුදල් හෝ ශක්තිය තමන්ට නැති බව ඔහු දැනසිටියේය. තවදුරටත් තනිව ජීවත් විය නොහැකි බව දැනුනු කල ඔහු මහලු නිවාසයක පිහිට පැතීය. ඇඳුම් කීපය දමාගත් සිලි බෑගයක් පමණක් අතින් ගත් ඔහු සිය නිවසින් නික්මී ගියේය.

උදෑසන අවදිවෙන ඔහු දිනය ගෙවා දැමුවේ මහත් අපහසුවෙනි. වෙනදා උදෙන්ම ඔහු ටවුමට යන්නෙ පුස්තකාලයට ගොස් පුවත් පත් කියවීමටය, ඉන් අනතුරුව ඔහුගේ යහලුවන් හමුවී මඳ වේලාවක් කතා බස් කිරීමටය. නමුත් වැඩිහිටි නිවාසයෙන් ඒසේ සිතූ සිතූ පරිදි පිට විය නොහැක. තමන් සිර කර ඇති බවක් ඔහුට දැනුණි. ඉඩ ලද හැම අවස්ථාවකදීම පාළනාධිකාරියට නොදන්වා ඔහු තමන්ගේ පුරුදු ජීවිතය සොයා ගියේය. ඔහුට එසේ නොකරන්නැයි ලැබුනු අවවාද ඔහු නොතැකුවේය. තවදුරටත් ඔහු ගැන වගකීමක් ගන්නට මහලු නිවාසයට නොහැකි බැවින් ඔහුට එයින් පිටවෙන ලෙසට නියෝගයක් ලැබින. ගෙදරින් ගෙනා ඇඳුම් දැමූ සිලි බෑගයත් ගෙන ඔහු මහලු නිවාසයෙන් පිටවිය.
පරණ ගෙදරද තව දුරටත් ඔහුට සෙවණක් දිය නොහැකි තරමටම ගරා වැටී ඇත. සිය සොයුරියද මියගොස් ඇති නිසා ඔහුට යාමට සිටියේ සොයුරා පමණි. ඉතා වයෝවෘද්ධ පුද්ගලයෙකු එම සොයුරාටද සිය මලණුවන් වෙනුවෙන් කල හැක්කක් නොවීය.  සිය නෑණන්ඩියද තමන් එහි සිටීම ගැන ප්‍රසාදයක් නොදක්වන බව තේරුම් ගත් ඔහු නැවතත් සිය බෑගයද රැගෙන පිටත් වූයේ ඈත නගරයක ජීවත් වන දුරින් නෑදැවෙන පිරිසකගේ පිළිසරණක් සොයාගෙනය. එහෙත් අවාසනාව ඔහු පසු පසින්ම විය. ඔවුන්ද ඔහුව භාර ගැනීමට නොහැකි බව දැන්වූ පසුයි, ඔහු නැවත සිය ගම බලා යන්නට දුම්රිය පොලට පැමිණියේ.

**************************************************************************************

මේ මේ නැගිටිනව. මෙතන නිදාගන්න තැනක් නෙවෙයි 
දුම්රිය සේවකයාගේ ගෝරනාඩුවෙන් ඔහු තිගැස්සී ගියේය. එක දෙක වැහි පොද වැටෙන්නට පටන් ගෙන තිබුණි. සිය සිලි මල්ලද තුරුලු කරගත් ඔහු රේල් පාර අයිනෙන් ඇවිද යාමට පටන් ගත්තේය. තමන් තරුණ කාලයේ ගෙවූ ජීවිතය ඔහුට මැවී පෙනෙන්නට විය. තමන් සිය මව හා ජීවත් වූ අයුරු ඔහු ආදරයෙන් සිහි කලේය. දැන් තමන් කාත් කවුරුවත් නැති අසරණයෙක් බව සිතේද්දී ඔහුගේ හදවත වේදනාවෙන් මිරිකී ගියේය. ඉවසාගත නොහැකි තරම් වූ බඩගින්නක් දැනුනද ඔහුට කෑමට යමක් දීමට කිසිවෙකු නැති බව ඔහු තේරුම් ගත්තේය. තමන්ට යාමට තැනක් නැති බව දැනුන කල, තමන් භාර ගැනීමට කිසිවෙක් නොමැති බව වැටහුන කල, ඔහුගේ දෑසින් කඳුලු රූරා වැටෙන්නට විය.


ඈතින් ඇසුන හූ හඬ ඔහුට යමක් මතක් කලේය. ඒ තමන් සිය නිවසින්, මහලු නිවාසයෙන්,සිය සොයුරාගේත් නෑදෑයන්ගේත් නිවාස වලින් හා දුම්රිය පළින් නික්ම ආ අයුරින්ම මෙතනින්ද නික්ම යා යුතු බවය. අහසින් කඩා වැටුන වැහි බිඳු ඔහුගේ දෑසින් කඩා වැටෙන කඳුලු හා මුසු වෙද්දී, වේගයෙන් ගැහෙන හදවතින් යුතුව, සීතල දෙපා තබා, ඔහු රේල් පීලි අතර වූ සිල්පරකොටන් මත සිටගත්තේය. 

කෝච්චිය ටිකෙන් ටික ලංවන විට, වෙව්ලන දෑතින් සිය ඇඳුම් මල්ල තුරුලු කරගත් ඔහු සිය දෑස් තදින් වසා ගනිද්දී, දෑස් අගින් එලියට ආ කඳුලු කැට කීපයක් ඔහුගේ රැලි ගැසුණු කම්මුල් මතින් ගලා යන්නට විය.

 http://4.bp.blogspot.com

(සත්‍ය කතාවක් ඇසුරිණි)

24 comments:

  1. බොහොම තදින් හද සලලා කරන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ. මේ විස්තර දැනගත්ත වෙලාවෙ මාත් ලොකු කම්පනයකට පත් උනා.

      Delete
  2. සත්‍ය වුණත් වෙන්න බැරි දෙයක් ‍වගේ. අනේ මන්දා! ඔය වගේ කතා තව කොච්චර නං ඇති ද . . .

    ReplyDelete
    Replies
    1. මේ කතාව සත්‍ය කතාවක් කියල මම හොඳටම දන්නව. නිර්මාණාත්මක අවශ්‍යතාවයන් සඳහා යම් එකතු කිරීම් කලාට සමස්ථයක් විදිහට මේක ඇත්ත ලෝකෙ සිද්ධ උන සිදුවීමක්. මේ වගේ දේවල් සිද්ධ වෙනවා...ඔය සමනළිත් කියල තියෙන්නෙ පහල ඒ වගේ කතාවක්.

      Delete
  3. වයසට ගියාම ‍ඔහොහ බොළද වෙලා බෑ.. හැක්.. කතාව හොදයි..

    ReplyDelete
    Replies
    1. මේ ඉතින් එක එක්කෙනා ඉන්න මානසිකත්වය අනුව ගන්න තීරණනෙ. ස්තූතියි දේශකයා...

      Delete
  4. හදවත කම්පනයෙන් කම්පනයට ලක් කළා මේ ලියැවිල්ල..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහස් දක්වූවාට නලින් අයියෙ...

      Delete
  5. ඔය තැනටම පත් උනාට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ චම්ස්... :( මම නම් කවමදාවත් සිය දිවි නසා ගන්න කෙනෙක්ට දොසක් කියන්නේ නැහැ.. ( ඇත්තටම අපියි අපිට දොස් කියාගන්න ඕනේ.. එයාව ජීවත් කරවන්න බැරි උන එක ගැන අපියි ලැජ්ජාවට පත් වෙන්න ඕනේ..)

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහසත් එක්ක මම සියට සීයක්ම එකඟයි සහන්. මේ කතාව බ්ලොග් එකේ දාන්න හිතුවෙ කෙනෙක් අසරණ උනාම එයාට තව කෙනෙක්ගෙ පිහිටක් කොයි තරම් අවශ්‍යද කියන එක මේ සිද්ධියෙන් පැහැදිලිවෙන නිසා. ඒ වෙලාවෙ ඒ කෙනා වෙනුවෙන් යමක් කරන්න බැරි නම් ඔහු හෝ ඇය මේ වගේ දරුණු තීරණයක් ගත්තම ඒකට දොස් කියන්න අයිතියක් තියෙනව කියල මමත් හිතන්නෙ නෑ.

      Delete
  6. අපි හැමෝටම උරුම වෙන්න පුළුවන් ඇත්ත කතාවක්. ටික වෙලාවකට හරි යථාර්තය මතක් කරලා දුන්නට පින්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඕනම කෙනෙක් මේ තත්වෙට පත්වෙන්න ඉඩ තියෙනවා.

      Delete
  7. හ්ම්ම්... සත්‍ය කතාවක්. හරිම දුකයි.මේ වගේම සත්‍ය කතාවක් අපේ ගෙවල් පැත්තෙත් සිදු වුනා.වෙනස තියෙන්නේ ඒ සියට දරුවෝ පස් දෙනෙක් හිටියා. ඒත් අන්තිමට ඒ සියා වහ බිලා මැරුණා.අනේ මන්දා.....

    ReplyDelete
    Replies
    1. දරුවොත් ඉඳල ඒ වගේ තීරණයක් ගන්න සිදුවුනා කියන්නෙ හරිම ඛේදනීය තත්වයක්නෙ.. :(

      Delete
  8. අඩේ මං දාපු කමෙන්කටුව කෝ.. මක්කැයි උනේ.. ඒකට..

    ReplyDelete
    Replies
    1. ඔන්න තියෙනවා :) මේ දැන් තමයි කට්ටිය දාල තිබ්බ කමෙන්ට්ස් ටික පබ්ලිශ් කලේ දේශකයෝ :)

      Delete
  9. දුක හිතෙන කතාවක්.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....

      කාලෙකින් චන්දන අයියගෙ අලුත් පෝස්ට් එකක් දැක්කෙ නෑ :-?

      Delete
  10. සත්‍ය කතාවක් කියලා අන්තිමේ දකින්න කලින් වුනත් හිතට දැනුනේ දුක් මුසු හැඟීමක්..

    ReplyDelete
  11. මේ වගේ මිනිසුන් කොයි තරම් ඉන්නවද.......සියුම් කම්පනයක් ඇතිවුණා කිව්වොත් නිවැරදියි

    ReplyDelete
    Replies
    1. එහෙම අය ගොඩක් ඉන්නව සිත්තමී...

      Delete
  12. අනේ පව් .................දුක හිතුන ! :( :(

    ReplyDelete
  13. ඇත්තටම පිලිසරණක් බලාපොරොත්තු වෙන්න බැරි නම් , දුක් වෙන්න - හොයන්න බලන්න තමන්ගේ කියලා තවත් කෙනෙකුත් නැත්නම් මමත් ඒ තීරණේට එකඟයි. යථාර්තය ඕක තමයි අපිට වුනත්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතී අදහසට....

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)