Ads 468x60px

Friday, June 21, 2013

පරිගණකය ලෙඩ කරන මැල්වෙයා





අද පරිඝනක භාවිතා කරන අය විදිහට අපි හැමෝම දැනගෙන සිටිය යුතුම මාතෘකාවක් ගැන ලියන්න හිතුනා. ඒ තමයි පරිගණක වයිරස්. සාමාන්‍යයෙන් වයිරස් (virus), වර්ම්ස් (worms), ට්‍රෝජන් හොර්සස් (Trojan Horses) ආදී වශයෙන් හඳුන්වන අපේ පරිගණකයට හානි කරන මෘදුකාංග, පොදුවේ හඳුන්වන නම තමයි මැල්වෙයා (Malware). ඒ වචනෙ හැදිල තියෙන්නෙ Malicious Software කියන වචන දෙක එකතු වෙලා. මේ මැල්වෙයා හදන්නෙත් මිනිස්සුම තමයි. මේ මැල්වෙයා හදන්න හේතු තියෙනවා. ඒවා ගන කියන්න කලින් මැල්වෙයා වර්ග හඳුනගෙන ඉමු.

මැල්වෙයාර් වර්ග කීපයක් තියෙනව කියල කලින් කිව්වනෙ. ඒ අතරින් තුනක් ගැන තමයි මේ කියන්නෙ

පරිගණක වයිරස් (Computer Viruses)
සාමාන්‍යයෙන් වයිරසයක් කියන්නෙ පරිගණක කේත යොදාගෙන හදපු මෘදුකාංගයක්. හැබැයි මේ මෘදුකාංගය හදල තියෙන්නෙ පරිගණකයේ යහපතට නම් නෙවෙයි. සාමාන්‍යය වයිරසයකට තනිව ක්‍රියා කිරීමේ හැකියාවක් නෑ. තවත් වැඩසටහනක් එක්ක එකතු වෙලා තමයි මෙයා වැඩ කරන්නෙ.උදාහරණයකට මෙයා අපේ පරිගණකයෙ තියෙන වැඩසටහනක්  affect කරල තිබුනොත් අපි ඒ පරිගණක වැඩසටහන ක්‍රියාකරන හැමවෙලාවෙම වයිරසයත් ක්‍රියා කරනවා.ඒ වගේම මෙයාට පුලුවන් තමන් වගේ තවත් වයිරස් නිපදවන්න.

වර්ම් (Worm)
මෙයාගෙ වෙනස තමයි වයිරසයට වගේ මෙයාට ක්‍රියා කරන්න තවත් වැඩසටහනක් අවශ්‍යය වෙන්නෙ නෑ. ඒ කියන්නෙ මෙයාට තනිව ක්‍රියා කරන්න හැකියාව තියෙනව. ඒ වගේම මෙයා බොහෝවිට නෙට්වර්ක් එකක් හරහා ගමන් කරල තමයි පරිගණකයකට ඇතුල් වෙන්නෙ.

 ට්‍රෝගන් හොර්සස් (Trojan Horses)
මේ අය තමන්ව අඳුන්වල දෙන්නෙ හොඳ වැදගත් වැඩසටහන්ක් විදිහට.උදාහරණයක් විදිහට පරිගණක ක්‍රීඩාවක් වගේ මෙයාල අපේ පරිගණකයට ඇතුල් වෙන්න පුලුවන්. හැබැයි ආවට පස්සෙ කරන්නෙ වෙන වැඩ. ඒ කිව්වෙ අපේ පරිගණකයට හානි වෙන දේවල්.
මීට අමතරව තවත් මැල්වෙයා වර්ග තියෙනව.මේ කීපයක් විතරයි.


දන් බලමු කොහොමද පරිගණකයක වයිරස් ඇතුල් වෙන්නෙ කියල. මේ තියෙන්නෙ ප්‍රධාන ක්‍රම කීපයක්.

ඊමේල් පණිවිඩ  
 
අපි නොදන්න අය එවන ඊමේල් පණිවිඩ වල තියෙන attachment එක වයිරසයක් වෙන්න ගොඩක් ඉඩ තියෙනව.

ඇතැම් වෙබ් අඩවි

සමහර වෙබ් අඩවිවලට ගිය පමණින්ම අපේ පරිගණකයට වයිරස් එන්න පුලුවන්

පරිගණක ජාල

පරිගණක ජාලයක් හරහා අපේ පරිගණකයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනිකුත් පරිගණක වලිනුත් කලින් කිව්ව වගේ වර්ම්ස්(worms) අපේ පරිගණකයට එන්න ඉඩ තියෙනව.

වයිරස් ආසාදිත මෘදුකාංග.

සමහර අවස්ථාවලදි අපි වැඩිය හොයල බලන්නෙ නැතුව මෘදුකාංග අපෙ පරිගණකයට install කරනවනේ. ඒව තුලිනුත් මැල්වෙයාර් එන්න පුලුවන්



පරිගණකයට පිටතින් ඇතුල් කරන උපාංග (removable media) 
 
අපි ගොඩක් වෙලාවට පෙන් ඩ්‍රයිව්ස්, CD එතකොට ඩිජිටල් කැමරා, photo frames වගේ දේවල් පරිගණකයට සම්බන්ධ කරනව. මේවට පුලුවන් ලේසියෙන්ම අපේ පරිගණකයට වයිරස් අරන් එන්න.





මේ විදිහට මැල්වෙයාර් එකක් අපෙ පරිගණකයට ඇවිත් මොනවද කරන්නෙ?


  • සමහර වයිරස් වරින් වර අදාල නැති මෙසේජස් පෙන්නන්න පුලුවන්.

  • තවත් ඒවා අපේ පරිගණකයෙ තියෙන අපිට අවශ්‍ය දේවල් මකල දාන්න පුලුවන්. මේක සමහර වෙලාවට ෆයිල් එකක් දෙක ඩිලීට් කරන තත්වයක් වෙන්න පුලුවන් වගේම, සම්පූර්ණ හාර්ඩ් ඩ්‍රයිව් එකම ඩිලීට් කරන තත්වක් වෙන්නත් පුලුවන්.

  • කම්පියුටරේ ක්‍රෑශ් වීම වගේම සැරින් සැරේ රී-ස්ටාර්ට් වීමත් මැල්වෙයාර් නිසා ඇති වෙන්න පුලුවන් තත්වයක්.

  • ඒ වගේම සමහර වෙලාවට අපිට ඩිස්ක් ඩ්‍රයිව්ස් access කරන්න ඉඩ දෙන්නෙ නැති වෙන්නත් පුලුවන්.

  • තවත් දෙයක් තමයි මැල්වෙයාර් නිසා පරිගණකයේ වේගය අඩාල වෙන්නත් හැකියාවක් තියෙනවා.


ඇයි මැල්වෙයා හදන්නෙ


කලින් කිව්වනෙ මැල්වෙයාර් හදන්නෙ මිනිස්සුම තමයි කියල. ඉතින් ඇයි එයාල තමන්ගෙ කාලය ශ්‍රමය යොදවල මේ විදිහෙ දෙයක් කරන්නෙ? හේතු කීපයක් තියෙනව.

  • සමහරුන්ට ඕන වෙනව තමන්ට වයිරස් එකක් හදල සාර්ථකව ඒක ව්‍යාප්ත කරන්න පුලුවන්ද කියල බලන්න.මෙයාලට ලොකු හානියක් කරන්න අදහසක් නැතිවෙන්න පුලුවන්. අර සැරින් සැරේ මෙසේජ් එකක් ඩිස්ප්ලේ වෙන විදිහෙ දේවල් තමයි මේ අය වයිරසය හරහා කරන්නෙ.

  • තවත් ඉන්නව තමන්ට ප්‍රයෝජනයක් නැති උනත් අනිත් අයට හානියක් කරල සතු‍ටු වෙන පිරිසක්. මේ අය තමයි අපේ පරිගණකයෙ තියෙන පරිගණක වැඩසටහන්, ෆයිල්ස් එහෙම ඩිලීට් වෙන විදිහෙ වෛයිරස් හදන්නෙ.

  • තවත් අය අපෙ පරිගණකයේ තියෙන පෞද්ගලික තොරතුරු හොරකම් කරන්නත් වෛයිරස් හදනවා. උදාහරනයක් විදිහට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක, පින්තූර, පෞද්ගලික ලිපි වගේ දේවල් අපිටත් නොදැනිම මේ අය හොරකම් කරන්න පුලුවන්.

  • පිරිසක් ඉන්නව එයාල ඔත්තු බලන්න වයිරස් නිපදවනව. ඒ කියන්නෙ අපි අන්තර්ජාලය පාවිච්චි කරන විදිහ වගේ දේවල් ගැන විස්තර හොයාගෙන, වෙලඳ ප්‍රචාරක කටයුතු වලට ඒවා යොදාගන්නව වෙන්න පුලුවන්.

  • සමහරු වෛයිරස් යොදාගෙන අපේ පරිගණකයෙ පාලනය ඒ අය අතට ගන්න පුලුවන්. එතනදි එයාලගෙ ෆයිල්ස් අපේ පරිගණකයෙ තැන්පත් කරනව වගේ දේවල් සිදු කරන්න එයාලට හැකියාව ලැබෙනවා.
 පරිගණක වෛයිරස් වලින් බේරෙන්න නම්....



  • හොඳ වෛයිරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න. සමහරු මුලින් වෛයිරස් ගාඩ් එකක් දාගත්තට පස්සෙ ආයෙ කවදාවත් ඒක යාවත්කාල (update) කරන්නෙ නෑ. ඒක වැරදියි. සමහර වෛයිරස් ගාඩ් නම් අපි අන්තර්ජාලෙට සම්බන්ධ වෙනකොට ඉබේම අප්ඩේට් වෙනවා. එහෙම නැත්තම් වයිරස් ගාඩ් එක අප්ඩේට් කරගන්න අමතක කරන්න එපා.

  • inbox එකේ තියෙන හැම මේල් එකක්ම බලන්න යන්න එපා.අඳුරන්නෙ නැති අය එවපු ඊ මේල් වල තියෙන attachments නම් ඩවුන්ලෝඩ් කරගනිද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න. දන්න අය එවන මේල් වල උනත් තියෙන attachments  scan කරල මිසක් ඩවුන්ලෝඩ් කරන්න එපා.
 

  • Chain emails හරහ වෛයිරස් එන්න වැඩි ඉඩක් තියෙන නිසා ඒ වගේ මේල්ස් ගැන සැලකිලිමත් වෙන්න.

  • වැඩිය දන්නෙ නැති වෙබ් අඩවිවල තියෙන links ක්ලික් කරන්න කලින් දෙපාරක් හිතන්න.

  • නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න සමහර දේවල් හරහ වෛයිරස් එන්න ඉඩතියෙන නිසා විශ්වාසවන්ත වෙබ් අඩවි වලින් පමණක් බාගත කිරීම් කරන්න.

  • පුලුවන් නම් ඕපන් සෝර්ස් (open source) මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්න.
  • කොයිම වෙලාවකවත් පෙන් ඩ්‍රයිව්ස්, CD වගේ භාහිර දේවල් scan කරල මිසක් පාවිච්චි කරන්න එපා.

  • ඒ වගේම fire wall එකක් භාවිතා කරන්න.




 





මේ මොන දේ කලත් සමහර විට මැල්වෙයාර් එකක් අපේ පරිගණකයට ඇතුල් වෙන්න පුලුවන්. එහෙම ඇතුල් වෙලා අපිට අවශ්‍යම කරන දේවල් නැතිකරල දාන්න පුලුවන්. ඒ නිසා ඔයාලට අත්‍යවශ්‍ය දේවල් බැකප් කරල තියා ගන්න අමතක කරන්නත් එපා.




ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා අපිට වටින, අපේ කම්පියුටරේ, ආදරයෙන් පරිස්සම් කරගමු  







පින්තූර ටික ඉල්ලගත්තෙ මෙයාලගෙන්

webclipart.about.com
dreamstime.com
computer-protection-software-
antivirus.com
old.kidsmart.org.uk
acus.org
http://www.microsoft.com
clipartguide.com
converseprisonnews.com
trickmik.com
polyvore.com
cliparts101.com
m-it-info.blogspot.com