Ads 468x60px

Friday, March 29, 2013

අනාගතය, ඔබ නොඑන්නේ නම් මැනවි.....




බොහෝ දෙනා වෛර කරන්නේ අතීතයටය. පිළිකෙව් කරන්නේ වර්ථමානයය. පෙම් බඳින්නේ අනාගතයටය. නමුදු මා අතීතයට බෙහෙවින් ආදරය කරන්නෙමි. ඒ මට මතක් කර සිනහා වන්නට තරම් සොඳුරු මතක ගබඩාවක් එය මට ලබා දුන් බැවිනි. වර්ථමානය අතීතය තරම් සොඳුරු නොවුවද එහි මහා ලොකු වරදක් මා දකින්නෙ නැත. එහෙත් අනාගතය??? එය වෙනමම කථාවකි.

අනාගතය යනු මට නම් තෙරක් නොපෙනන දරුණු සුළි කුණාටු පිරි සාගරයකි. බයංකාර සතුන් පිරි ඝණ කැළෑවකි, යාන්තම් හෝ එළියක් පෙනෙන්නේ නැති බිම් ගෙයකි. කෙටියෙන්ම කිවතොත් ජීවත් වීමට තරම් නුසුදුසු අතිශය භයානක තැනකි.

ඒ මන්දැයි ඔබ සිතනු ඇත. අනාගතය යනු බිය විය යුත්තක් නොව, ආදරයෙන් භාරගත යුත්තක් බව ඔබ විශ්වාස කරනු ඇත.

එහෙත් අනාගතය යනු ජීවිතේ සුන්දරත්වය මාගෙන් සොරාගන්නට පැමිනෙන සොරකු යැයි මට හැඟේ. මා ආදරය කරන පිරිස මගෙන් ඈත් කරවන, මට හුරු පුරුදු දිවි පෙවෙත මට අහිමි කරවන, මා අකමැති තීරණයන් ගැනීමට මා හට බල කරන, අනාගතයට මම වෛර කරන්නෙමි.

අතීතයට ගොස් ජීවත් වීමට හැකිනම් මා ඊට වඩා කැමති දෙයක් නැත. කුඩා දරුවකු ලෙසින් පවුලේ සැමගේ ආදරය ලබමින්, කිසිම දෙයක් ගැන අබ මල් රේණුවක තරම්වත් තැකීමක් නොකර සෙල්ලම් බඩු ටිකෙන් එහා ලෝකයක් ගැන නොදැන, ගෙවන ඒ සැහැල්ලු දිවියට මා පෙම් කරන්නෙමි. බෝනික්කාගේ අතක් ගැලවීමත්, සෙල්ලම් කෝච්චිය හිටි හැටියේ නතර වීමත්, වදෙන් පොරෙන් කවන කෑමත්, ජීවිතයේ ඇති දරුණුම ප්‍රශ්න යයි සිතුන කාලයට යාමට මම ආසා කරන්නෙමි. එසේ කල නොහැකි නම් අඩුම තරමේ වර්ථමානයේ නවතින්නටවත් හැකි නම් කෙතරම් හොඳදැයි මට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එය අන්තිම ගොන් කථාවක් ලෙස ඔබට සිතෙනවාට සැක නැත. ඒ ගැන මා පුදුම නොවන්නේ එය ගොන් කථාවක් බව මාද දන්නා නිසාය. නමුත් මම ඒ ගොන් කතාවට කැමත්තක් දක්වමි. මා ඉදිරියේ ඇති යථාර්තයට වඩා ඒ මායාවට මම අශා කරන්නේමි.

මා අනාගතය පිළිගැනීමට සූදානම් නැත..එහෙත් එසේ කියා මට වෙන කරන්නට දෙයක්ද නැත. අතීතය නම් වූ සුන්දර තැනක සිට පැමිණි මා වර්ථමානය නම් වූ අම්බලමේ රැඳී සිටින්නෙමි. මෙතැනින් පිටවී අනාගතය නම් වන මා කිසිවක් නොදන්නා තැනකට යාමට මට සිදුවේ. එය එතරම් ප්‍රසන්න තැනක් නොවනු ඇති බවට මගේ හිත මට ඉඟි කරයි. එය එසේ නොවේ යැයි නිශ්චිතවම කියන්නට කිසිවෙකුටත් නොහැකි වීම මගේ සිත තව තවත් බියට පත් කරයි. කාලය අල්ලා නතර කරගන්නට හැකි නම් කෙතරම් අගනේදැයි මට සිතේ. මා අනාගතයට පියමන් නොකිරීමට තීරණය කලද එය මා වෙත ඒම මට වලක්වාලිය නොහැකි බව මා දනිමි. මා දන්නේ මා එය සිනා සී පිළිගන්නට සූදානම් නැති බවය..

මට පිස්සු යැයි කෙනෙක්ට සිතෙන්නට පුලුවන. මේ කතාව කියන සෑම විටම මා වටා සිටින අය කියන්නේද එයමය. අනාගතයට බිය විය යුතු නැති බවත් එය සාර්ථක කරගැනීමේ හැකියාව මට ඇති බවත් ඔවුහු මට පවසති. එහෙත් මසිත වෙලාගෙන ඇති බියෙන් මා මුදවාගැනීමට එය සමත් නොවේ.

මා අනාගතයට මේ තරම් බිය ඇයිදැයි මා කල්පනා කරන්නෙමි. තවමත් ගවේශනය නොකල අලුත් භූමියක් බඳු වන අනාගතය කොයි තරම් ආශ්වාද්ජනක විය හැකි දැයි සිතීමට මම උත්සහ දරන්නෙමි. ඒ සැණින් මතක් වන්නේ මා බියට පත් කරන කරුණුය. වර්ථමානයේ පවුලේ සුරතලා ලෙස ගත කරන සුන්දර කාලය අනාගතය විසින් උඳුරා ගනීවියැයි මට සිතේ. සැහැල්ලුවෙන් යහලුවන් හා ගෙවන සොඳුරු කාලය වෙනුවට දරාගත නොහැකි වගකීම්, ප්‍රශ්න, අනාගතයේදී මට උරුම වේයැයි මට හැඟේ. හැමදාමත් මා ප්‍රිය කරන නිස්කලංක ගම වෙනුවට මා කිසිදා ප්‍රිය නොකල නාගරික ජීවිතය මට ලබාදීමට අනාගතය අර අඳින බව මට දැනේ. දිනෙන් දින වියපත් වන මා අනාගතයේ යම් දිනක කිසිවක් කර කියාගත නොහැකි කෙනෙකු වේ යැයි සිත කියයි. ඉදින් මා අනාගතයට පෙම්කරන්නේ කෙසේදැයි මම මගෙන්ම ප්‍රශ්න කරමි. මෙය ඔබගේ මුවගට සිනහවක් එක් කිරීමට ඉඩ ඇති බව මා දනිමි. "මේක මහ පිස්සු කතාවක්" ඔබ කියනු ඇත. මෙය මට පමණක් උරුම දෙයක් නොවන බවත් අනාගතයේදි සියලු දෙනාටම මුහුණදීමට සිදුවන පොදු ධර්මතාවක් බවත් ඇතැම් විට ඔබ පවසනු ඇත. මා මේ සටහන තබනුයේ එය නොදැන නොවේ. එහෙත් අතීතය හා වර්ථමානය මට නිර්මාණය කර දී ඇත්තේ අතිශය සොඳුරු, ආදරණීය ජීවිතයකි. මා අනාගතයෙන් බලාපොරොත්තු වන්නේද එයයි. අනාගතයට මා මෙතරම් බිය වන්නේ, අද මේ මොහොතේ පටන්, මා මියයන මොහොත දක්වාවූ කාලය දෙස යථාර්තවාදීව බලන කල, එය එපමණටම සුන්දර, සැහැල්ලු, ආදරණීය නොවනු ඇති බවට මා තුල ඇති හැඟීම නිසාවෙනි.

ජීවිතයේ යථාර්තයට මුහුන දිය යුතු බව මා හොඳාකාරව දනිමි. එසේ නම් මෙවැනි සටහනක් මා ලියා තබන්නේ මන්දැයි කෙනෙක් සිතනු ඇත. මෙයින් කිසිවක් වෙනස් නොවන බව මා දනිමි. එහෙත් අනාගතයේ යම් දිනෙක, මා මේ මොහොතේ අනාගතය කෙරෙහි දැක්වූ අදහස් යළි කියවීමට මට අවැසිය. එදිනට මේ සටහන කියවා අවසන, යකා මා සිතා සිටි තරම් කලු නැති බව, මට මාහටම කියාගත හැකි නම් කෙතරම් අගනේදැයි මා කල්පනා කරමි…..

28 comments:

  1. ඔව් චාම්ස්, ඇත්තටම අපේ අතීතය සුන්දරයි, විශේෂයෙන් අපේ ළමා කාලය. අපි කැමැත්තෙන් නෙවෙයි වර්ථමානෙට ආවෙත් අනාගතයට යන්න බලාපොරුත්තු වෙන්නෙත්. ඒත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අපි ඒකට මූන දෙන්න සිදුවෙනවා නේද. එම නිසා අපි ප්‍රාර්ථනා කරමු හැම දෙයම සතුටින් බාරගන්න දිරිමත්ව මුණ දෙන්න අපිට ශක්තිය ධෛර්ය ලබේවා කියලා..:)

    ReplyDelete
    Replies
    1. ඔව් ෆාතිමා..අපි එහෙම ප්‍රාර්ථනා කරමු :)

      Delete
  2. // යකා මා සිතා සිටි තරම් කලු නැති බව, මට මාහටම කියාගත හැකි නම් කෙතරම් අගනේදැයි මා කල්පනා කරමි

    …අනාගතේ දි අද ගැන එහෙම හිතන්න ලැබේවා කියලා පතනවා, හැබැයි ඒකට මහන්සි වෙන්න වේවි.... කාටත්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලහිරු ඒ ප්‍රාර්ථනයට...

      Delete
  3. අතීතයේ කළ වැරදි වලට දිය හැකි හොඳම දඬුවම නම් අනාගතය යහපත් අයුරින් ඇරඹීමයි....

    ReplyDelete
    Replies
    1. අතීතයේ වැරදි කලා නම්, ප්‍රශ්න තිබුන නම් ඔයා කියන කතාව හරි. ඒත් මං මේ කථා කරන්නේ ඉතාමත්ම සුන්දර අතීතයක් ගැන. ඒ අතීතයේ ප්‍රශ්න කරදර මට තිබුනෙම නැති තරම්. මට තියෙන ගැටලුව අනාගතය ඊට වඩා වෙනස් වේවි යැයි කියන බියයි.

      Delete
    2. යසිත් බහුභූතයා පවසා ඇත මේ කතාව සමග නම් සියයට සියයක් එකග වෙමි.අනාගතය යහපත් අයුරින් අදම අරඹන්නේ නම් සොයුරියේ,ජීවිතය ගැන කිසිදු බියක් ඇති කර ගත යුතු නොවේ.හැකි තාක් අන් අයට උපකාර කරන්න.ජීවිතය තමන්ට සේ ම අන්‍යයන්ටත් ප්‍රයෝජනවත් කර ගනිමින් ජීවිතය විදින්න....ජීවිතය යනු විදගැනීමට මිස විදවීමට ඇති දෙයක් නොවේ!ජය වේවා!!!

      Delete
    3. යසිත්ගෙ අදහසට මාත් එකඟයි නංගි..ඒ උනත් මං මෙතනදි කථා කරන්නෙ ඊට වඩා වෙනස් තත්වයක් ගැන.
      අනාගතයේ යම් දේවල් අපට ප්ලෑන් කරල සාර්ථකව කරගන්න පුලුවන්. ඒත් සමහර තත්වයන් තියෙන්නෙ අපේ පාලනය යටතේ නෙවෙයි. අන්න ඒ අපේ පාලනයෙන් තොරව සිද්ධ වෙන, අපේ සතුට උඳුරාගන්න දේවල් ගැනයි මට බය තියෙන්නෙ :(
      ස්තූතියි නංගියෝ ඔයාගෙ අදහසට..ඔයාටත් ජය!!!

      Delete
    4. මේකයි අක්කේ මං නං හිත්නනේ අපේ පාලනයෙන් තොරව සිදු වන්නෙත් සංසාරෙ අපි අතින් සිදු වුණ කර්මවලම විපාකයන්නේ.ඒවා වෙන කවුරුවත් නෙවෙයි අපිම කරපුවායෙ ප්‍රතිපල.ඒව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි විදින්නම වෙනවා.හැබැයි මේ ආත්මෙට පව් මල්ල පුරවගන්නැතුව ඉන්න අපිට බැරිකමක් නැහැනෙ.ලොකු දෙයක් ඕන නෑ.නරක දේවල් කරන්නේ නැතුව හිටියාම හරි.

      Delete
    5. ඔව් නංගියෝ. මාත් දැන් ගොඩක් වෙලාවට හිත හදාගන්නේ එහෙම හිතල තමයි. එන විදිහකට මූණදෙනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ. කලින් ආත්මෙක කරපු කුසල් කර්මයන් නිසා වෙන්න ඇති මට ලස්සන අතීතයකුත් වර්ථනමානෙකුත් ලැබුනෙ.සමහර විට අනාගතයත් ඒ වගේ වේවී.. බලමු
      මේ ආත්මයේදි නම් දැනුවත්ව කාටවත් වැරැද්දක් කරන්නෙ නම් නෑ..පුලුවන් තරම් හොඳින් ජීවත් වෙන්න උත්සහ කරනව මිසක්...

      Delete
  4. සුන්දර සටහනක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට..ආදරයෙන් පිළිගන්නව හශාරාව හිත අද්දරට :)

      Delete
  5. නුඹේ අකුරු මා කියෙව්වේ ඉතාමත් නිවී සැනසිල්ලේ හදවතින්මයි. කියවනවාත් සමග නුඹේ ජීවිතය හා මා මගේ ජීවිතය සසදා බැලුවෙමි. මම අතීතය මතක් කිරීමට පවා බිය වන්නෙමි.මා වර්තමානයේ තටු සවිමත් කර ඉදිරියේදී එළඹෙන අනාගතයේ සතුටින් ඉගිලිමට වෙන දරන්නියක්මි.ඉතිං මා අනාගත‍ය එළඹෙන තෙක් බලා සිටින්නියක්මි. එබැවින් නුඹත් මාත් වර්තමානයේ අදහස් හා සැසදූ විය රේල්පීලි දෙකක් බදුය.

    ReplyDelete
    Replies
    1. ඔව් බට්ටි..ඒ අතින් අපි දෙන්නගේ අදහස් බලාපොරොත්තු ගොඩක් වෙනස්. කොහොම උනත් ඔයා බලාපොරොත්තු වෙන විදිහෙ ලස්සන, සතුටින් පිරුණු අනාගතයක් ඔයාට ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව.........

      Delete
  6. සිරාවටම මේ කතාව ඇතුලේ ඔයා කියන විදිහට පිස්සු කතාවක් නෑ කියල මට හිතෙන්නේ . මමත් ඔයත් අපි කවුරුත් කැමති වගකීම්වලින් නිදහස් සැහැල්ලු අතීතයට..දවසක් අනාගතයට එකතු වෙනවා කියන්නේ ජීවිතයට අමතර වගකීමක් එකතුවුනා කියන එක,

    යකා මා සිතා සිටි තරම් කලු නැති බව, මට මාහටම කියාගත හැකි නම් කෙතරම් අගනේදැයි මා කල්පනා කරමි…..

    යකා කියන තරම් කළු නෑ කියකා කියන්නේ කට කහනවට නෙමෙයිනේ.

    මේ වචන ගැලපිල්ලට, මේ ලියන රටාවට මම ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඒත් සමහරු කියනවනෙ මේ මහ පිස්සු කථාවක් කියල. :((
      කොහොම උනත් ජීවිතේ සැහැල්ලුම කාලේ ගෙවිල ඉවරයි කියලයි මට නම් හිතෙන්නෙ. බලමුකො යකා ටිකක් හරි සුදුද කියල..
      ස්තූතියි පැතුම් :)

      Delete
  7. කාටත් නොකියා හිතේ තියන් හිටිය දෙයක් ඔයා අතින් ලියවිලා තියෙනවා කියලයි කියවපු ගමන් හිතුණේ!
    "බොහෝ දෙනා වෛර කරන්නේ අතීතයටය. පිළිකෙව් කරන්නේ වර්ථමානයය. පෙම් බඳින්නේ අනාගතයටය"
    මේක නම් පිළිගන්න බෑ වගේ චාම්ස්! කොච්චර කටුක අත්දැකීම් ලැබුනත් අපි ගොඩක් වෙලාවට අතීතයට ආදරේ කරනවා.
    අනිත් කාරනේ ඔයාගේ හැඟීම ගොඩක් අයට දැනෙනවා. අපි කාට වුනත් අනාගතේ අවීශ්චිතයි, අපි සූදානම් වී හිටියත් නැතත් අනාගතේ අපි වෙත එනවා. ඉතින් කොහොමත් අපිට ඒක බාර ගන්න වෙනවා නම්, එය මිතුරෙක් ලෙස බාර ගැනීම තමයි හොඳම දේ. අනෙක අනාගතය ඔහේ ඇතිව් ඊමට ඉඩ නොදී අපි කැමති අනාගතයක් උදා කර ගන්න මහන්සි වුනොත් අනිවාර්යෙන් අපි ආදරේ කරන අනාගතයක් උදා කර ගන්න පුලුවන් වේවි!

    ReplyDelete
    Replies
    1. සමහරු ඉන්නව ගිමන් අතීතය ගැන හිතන්නවත් අකමැති. එයාල තාම ඇවිල්ලවත් නැති අනාගතයට පුදුම විදිහට ආදරේ කරනව... මං හිතන්නෙ ඒක සාපේක්ශයි.

      //කොහොමත් අපිට ඒක බාර ගන්න වෙනවා නම්, එය මිතුරෙක් ලෙස බාර ගැනීම තමයි හොඳම දේ//
      මේ කථාව නම් සම්පූර්ණ ඇත්ත ගිමන්. මාත් උත්සහ කරන්නෙ ඒකට තමයි. ඒත්....තාමත් හිත ඒකට සූදානම් නෑ වගේ :-SS
      පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරනව මං කැමති විදිහෙ අනාගතයක් උදා කරගන්න...බලමුකෝ.
      ස්තූතියි ගිමන් මේ අදහස් බෙදාගත්තට :)

      Delete
  8. මම නම් බලාගෙන ඉන්නේ අනාගතය එනකන්.. ඒ හිතේ බලාපොරොත්තු තියෙන නිසා.. අතීතයේ හුඟාක් දවස් වලට මම ඇත්තටම කැමති නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ හැම බලාපොරොත්තුවක්ම සාර්ථකව ඉටු කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව... :)

      Delete
  9. ගොඩක් දේවල් හිතන්න තියෙන තව පෝස්ට් එකක් චම්ස් .
    එක එක අය අතීතය එක්ක ගණුදෙනු කරන්නේ එක එක විදිහට.
    එකම සිද්දිය උනත් වෙනස් විදිහට දැනෙන්න පුළුවන් ..ආදරේ
    කරපු එකම අතීතය වෙලාවකට දුකක් වෙන්න පුළුවන් ...

    කොටිම්ම මාත් අතීතෙන් මිදෙන්න බැරුව
    ඉන්න කෙනෙක් ..කෙනෙක්ගේ අතීතය බරපතල විදිහට එයාව පාලනය
    කරනවා නම් වර්තමානය කොහොම උනත් අනාගතය නම් අඳුරු වෙන්න
    පුළුවන් ..අපි මේ කතා කරන්නේ එකම අතීතය ගැන ..එකම වර්තමානය .
    එකම අනාගතය ..ඒත් එකිනෙකාගේ ඔය කාල 3 ගොඩක් වෙනස් චම්ස් ....
    හරි පුදුමයි ..දෙවියනි ඔබ මැවූ ලොව හරි පුදුමයි...!

    ReplyDelete
    Replies
    1. //අපි මේ කතා කරන්නේ එකම අතීතය ගැන ..එකම වර්තමානය .
      එකම අනාගතය ..ඒත් එකිනෙකාගේ ඔය කාල 3 ගොඩක් වෙනස්//
      ඒක ඇත්ත සහන්. සමහරු මං දන්නව අතීතය මතක් කරන්න වත් අකමැතියි. ඒයාලට ඒක භයානක හීනයක් වගේ. මට ඒකෙ අනිත් පැත්ත. අතීතය තරම් සුන්දර කාලයක් ආයෙත් ජීවිතේට එයි කියල හිතන්නවත් බැරි තරමට මගේ අතීතය ලස්සනයි. වර්තමානයත් නරකම නෑ. ඒත් අනාගතය ගැන තියෙන්නෙ පුදුමාකාර අවිනිශ්චිතබවක්. මේ සටහන මගේ අතින් ලියවුනෙත් ඒ නිසාමයි.
      ස්තූතියි සහන් අදහසට :)

      Delete
  10. මං මේකට කමෙන්ට් එකක් දැම්මනේ. කෝ ඒක...? :-?

    ReplyDelete
    Replies
    1. අනේ ඒ කමෙන්ට් එක ඇවිත් නෑනෙ අයියෙ. ස්පෑම් වෙලත් නෑ..ඊ මේල් notification එකක් ඇවිල්ලත් නෑ :-SS :-SS

      Delete
    2. හ්ම්.. එහෙනම් මොකක් හරි අවුලක් වෙන්න ඇති..

      අතීතයට අපි කැමති ඒක ආයේ ලැබෙන්නේ නැති නිසා වෙන්නත් පුළුවන්. //මගේ අතීතය ලස්සනයි. වර්තමානයත් නරකම නෑ.// එහෙනම් අනාගතයත් ඊට වඩා ලස්සන වෙයි.. එතකොට තව ලස්සන මතක ටිකක් අතීතයට එකතු වෙයි.. :)

      Delete
    3. වෙන්නැති අයියෙ. මටත් ඕක සෑහෙන්න වෙලා තියෙනව. දාන කමෙන්ට්ස් කොහෙ යනවද මන්ද [im] http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/106.gif [/im]

      //එහෙනම් අනාගතයත් ඊට වඩා ලස්සන වෙයි.. එතකොට තව ලස්සන මතක ටිකක් අතීතයට එකතු වෙයි.//
      එහෙම වෙනවනම් කොච්චර හොඳද... ගොඩක් ස්තූතියි අයියේ ආයෙත් සැරයක් ඇවිත් කමෙන්ට් කරල ගියාට [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]

      Delete
  11. මං හිතන් හිටියෙ මට විතරයි කියලා මේ ලෙඩේ තියෙන්නෙ.. :D ඇත්තම කිව්වොත් මගේ අනාගතේට මමත් හරි බයයි.. :( මොනවා වෙයිද කවුද දන්නෙ..

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් ඔයත් මගේ බෝට්ටුවෙමයි නේද? d-)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)