Ads 468x60px

Thursday, January 03, 2013

මා වඩාත්ම සංවේදී ගීතය සහ "ආදරණීය ඔහු"


මේ තමයි 2013 අවුරුද්දෙ හිත අද්දරට එකතුවෙන පළවෙනි ලිපිය.අවුරුද්දෙ පළවෙනියටම ලියන ලිපිය මට ගොඩක් දැනෙන සංවේදී මාතෘකාවක් ගැන ලියන්න හිතුනා.

මගේ ජීවිතේ මට ගොඩක්ම සමීප කෙනෙක් තමයි මගේ මාමා. නෑදෑකමට ඔහු මට "මාමා" උනත්, ඔහු තාත්තා කෙනෙක් තරමටම මට ආදරය කරනව. ඔහු මං වෙනුවෙන් කරල තියෙන කැපකිරීම් තාත්තා කෙනෙක්වත් තමන්ගෙ දරුවෙක් වෙනුවෙන් කරනවද කියන්න මං දන්නෙ නෑ. ඒ හැමදෙයක්ම මෙතන ලියන්න ගියොත් එක ලිපියක් නෙවෙයි මුලු බ්ලොග් එකක්ම ඒ ගැන ලියුවත් ලියල ඉවර කරන්න බෑ. ඔහුගෙ මුලු ජීවිතේම කැප උනේ මං වෙනුවෙන්. මගේ ලඟින්ම ඉන්න යාලුවො දන්නව ඔහු මං ගැන කොයි තරම් හොයල බලනවද කියල. ගොඩක් වෙලාවට ඔහු මගේ දෙමවුපියන්ටත් වඩා මං ගැන සලකිලිමත් වෙනව, මහන්සි වෙනව, වද වෙනව. 

අද මං ලබල තියෙන හැම ජයග්‍රහනයක් පිටිපස්සෙම ඉන්නෙ ඔහු. ඔහු නැත්තං මට මේ තරම් දුරක් එන්න ලැබෙන්නෙ නෑ කියන එක මං හොඳටම දන්නව. මං ලබන පුංචිම හරි ජයක් ඔහුට මහ ලොකු සතුටක් ගේනව. මට පොඩි හරි අසනීපයක් උනොත් මගේ ලඟින්ම ඉඳන් ඔහු මාව බලාගන්නව. මට බෙහෙත් පෙත්තක් ගේන්න මහ රෑක උනත් ඔහු ටවුම පුරාම යන්නෙ ඔහුට තියෙන අසනීප ගැන පවා අමතක කරල. ජීවිතේ මට මූනදෙන්න වෙන හැම අභියෝගයක්ම මං බය නැතුව භාර ගන්නෙ ඔහු මට උදව් කරන්න ඉන්නව කියන එක දන්න නිසා. අවිවාදයෙන්ම He is the wind beneath my wingsකියල කියන්න පුලුවන්. ගොඩක් අයට, මගේ මාමා මට දක්වන ආදරයත්, මං මාමට දක්වන ආදරයත් තේරුම් ගන්න බෑ. සාමාන්‍යයෙන් නම් අපි අම්මට, තාත්තට දක්වන ආදරයත්, අම්මගෙ සොහොයුරෙක්ට දක්වන ආදරයත් අතර පොඩි හරි වෙනසක් තියෙනව තමයි. ඒත් මට ඒක එහෙම නෑ. ඒ තුන් දෙනාටම මගේ හිතේ තියෙන්නෙ එක සමාන ආදරයක්. ගෞරවයක්.

අද ඔහු ඉන්නෙ අසනීපයෙන්. මට පුංචි  ඔලුවෙ කැක්කුමක් හැදුනත් ඒක සනීප කරගන්න මහන්සි වෙන මාම වෙනුවෙන් අද මට කරන්න කිසිම දෙයක් නෑ. කොල්ලෙක් වගේ එහෙට මෙහෙට දුවල දොස්තරල ගාවට, ඉස්පිරිතාල වලට ඔහුව එක්කරගෙන යන්න මට බෑ. මට මං ඉල්ලන්නෙවත් නැතුව ගොඩක් දේවල් අරන් දුන්න ඔහු වෙනුවෙන් එක බෙහෙත් වේලක් අරන් දෙන්න මට බෑ.  පුදුම විදිහෙ අසරණකමක් හිතට දැනෙනව. මට පුලුවන් එකම දේ රෑ දවල් දෙකේම ඔහුට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරන එකයි, ඔහු ළඟට වෙලා ඉන්න එකයි විතරමයි.

මං මේ සටහන ලියන්න ගත්තෙ ඔහු නිසාම මගේ හිතට ළං උන ගීතයක් ගැන කියන්න. මං පොඩි කාලෙ අම්මලට රාජකාරි කටයුතු නිසා දුර පළාතකට යන්න උනා. ඒ කාලෙ මං හැදුනෙ මාමයි ආච්චියි එක්ක.  මාව නිදි කරවන්න මාමම අපූරු නැළවිලි ගීතයක් හදාගෙන තිබ්බ. ඊට අමතරව මට නින්ද යනකං ඔහු මගේ ඔලුව අත ගගා මෙන්න මේ ගීතය ගායනා කරනව. අදටත් ඔහු මගේ ළඟ ඉඳන් මගේ ඔලුව අත ගාන ගමන් මේ ගීතය ගයනව අහන්න මං හරිම කැමතියි. ගීතය ඔහේ කියාගෙන යන්නෙ නැතුව ඒ හැම වචනයක්ම බොහොම ආදරයෙන්, හෘදයාංගමව ඔහු ගයද්දි, ඒ ගීතය අහගෙන ඉන්න මං පුදුම ආසයි. 

මේ තමයි ඒ ගීතය.

සිරිමා බෝ මැඩ - මුනිඳුන් වැඩ හිඳ
දස මර සේනා දිනූ  බෙලෙන්
ජයපැන් කරඬුව දෝත දරා...
නිදන්න දූ කුමරී….

බක්කුල මහ තෙරිඳූ බෙලෙන්
නිදුක් නිරෝගී වේවා….
සූවිසි මුණි ගුණ  - පින් මහිමෙන්
නිරතුරු ආයු වැඩේවා….
අසූ සාරදහසක් දම් තෙඳ කඳ
සෙවන දෙවා සුරකීවා….

සිරි දළදා සමිඳූ නමින්
ළතෙත් ගුණය ඉතිරේවා….
වම් සිරිපා රන් පද්ම බෙලෙන්
අනන්ත නුවණ වැඩේවා….
මහා සීවලී මහිමි අනුහසින්
ඉසුරු සැපත් බෝ වේවා….

සිරිමා බෝ මැඩ....

ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: වික්ටර් රත්නායක

ගීතය මෙතනින් අහන්න

මගේ ජීවිතයේ මාව වැඩිපුරම සංවේදී කරන ගීතය තමයි මේ. මගේ රත්තරන් මාමට මං කොයි තරම් ආදරෙයිද කියල කියන්න මං උත්සහ කරන්නෙ නෑ..මොකද කවදාවත්ම මට ඒක විස්තර කරන්න බැරි නිසා. ඔහු මට මේ මුලු ලෝකයම තරම් වටිනවා. 
උදාවූ අවුරුද්දෙ ඔහුට නිදුක් නීරෝගී සුවය ලැබිලා දීර්ඝායුෂ ලැබිල හිතේ සතුටින් ඉන්න ලැබේවා කියල මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
උදාවූ අවුරුද්දෙ මං ප්‍රාර්ථනා කරන එකම දේ ඒකයි.


34 comments:

  1. ඔයාගේ මාමාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා මාත් පතනවා...!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සමනළී..ඒ ප්‍රාර්ථනාව මට ගොඩක් වටිනවා.

      Delete
  2. ඔයාගේ මාමට ඉක්මනින් සුවය ලැබෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා නංගෝ..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ. මේ වෙලාවෙ ඒ ප්‍රාර්ථනාව මට ගොඩක් වටිනවා..

      Delete
  3. // අද මට කරන්න කිසිම දෙයක් නෑ. කොල්ලෙක් වගේ එහෙට මෙහෙට දුවල දොස්තරල ගාවට, ඉස්පිරිතාල වලට ඔහුව එක්කරගෙන යන්න මට බෑ. මට මං ඉල්ලන්නෙවත් නැතුව ගොඩක් දේවල් අරන් දුන්න ඔහු වෙනුවෙන් එක බෙහෙත් වේලක් අරන් දෙන්න මට බෑ.//

    ඇයි බැරි ???????

    ReplyDelete
    Replies
    1. හේතු දෙකක් නිසා. එකක් මාමට ප්‍රථිකාර ගන්න ඇවිත් ඉන්නෙ පිට පළාතකට. මෙහෙ පාරවල්වත් තැන්වත් මං දන්නෙ නෑ. ඒ නිසා පවුලෙ අයත් එක්ක මාමව අරන් ඒ තැන් වලට යනව මිසක් අතනට යන්න මෙතනට යන්න කියල කිව්වට එහෙම යන්න තරම් දැනුමක් මට තාම නෑ. අනිත් එක මාමා අසනීප උනේ මං කැම්පස් එකෙන් අයින් වෙලා දවස් දෙකකින් විතර. ඒත් එක්ක ඒ දේවල් ගැන හිතන්න උන නිසා රස්සාවක් හොයා ගන්න තරම් කාලයක් මට ලැබුනෙ නෑ. ඒත් පුලුවන් ඉක්මනින් මං ඒ හැම දෙයක්ම කරනව.

      Delete
  4. ඔයාගෙ මාමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පරිකල්පන...මගේ ජීවිතේ දැන් තියෙන එකම ප්‍රාර්ථනය ඒකයි.

      Delete
  5. අපේ ජීවිත වල කවුරු හරි අපි ගොඩක් ආස කරන අපිට ගොඩක් වටින කෙනෙක් ඉන්නවාමයි.. මාමට ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්. මගේ ජීවිතෙත් ඒ වගේ තුන්දෙනෙක් ඉන්නව..ඒ අම්මයි, අප්පච්චියි, මාමයි. ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට...

      Delete
  6. ඔයාගේ මාමාට ඉක්මන් සුවය පතනවා. මහ ලොකු දේවල් බැරි උනත් මාමා වෙනුවෙන් ඔයාට මොනවම හරි කරන්න පුළුවන් වෙයි. සමහර විට එදා දවසේ පත්තරේ මාමට ඇහෙන්න කියවන එක වගේ.. (උදාහරණයක්)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිසර. ඔව් ඔහු වෙනුවෙන් මට කරන්න පුලුවන් හැමදේම මං කරනව..

      Delete
  7. ඔයාගේ මාමට ඉක්මණට සම්පූර්ණ සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. එයාට තියෙන අසනීප තත්වෙ මොකක්ද? සමහර විට උපදෙසක් දෙන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිමන්...ඔහු බඩවැල් ආශ්‍රිත ශල්‍යකර්මයකට මූණදුන්නා. මේ දවස් වල සැරින් සැරේට උණ ගන්නව. මාමට දියවැඩියාව තියෙන නිසා තුවාල සනීපවෙන්නත් කල් යනව. තුවාල වල වේදනාවත් ඔහුට සෑහෙන්න දැනෙනව.

      ඔයා දියවැඩියාව ගැනයි, අධික රුධිර පීඩනය ගැනයි ලියපු ලිපි මට ගොඩක් වැදගත් කියල මං කමෙන්ට් කලේ මාමටත් ඒ අසනීප තියෙන නිසා. ඔයාගෙ ඒ ලිපි වල තිබුන කරුණු ගොඩක් ප්‍රයෝජනවත් උනා ඒ අසනීප ගැන හොඳ අවබෝධයක් ගන්න...

      Delete
    2. හ්ම්ම් දැන් නම් තෙරුම් ගන්න පුලුවන් මාමගෙ අසනීපෙ ගැන.
      පුලුවන් තරම් දියවැඩියා තත්වය පාලනය කරන්න එතකොට ඉක්මනට සුව අතට හැරෙයි.

      Delete
  8. චමී, ඔයාගෙ මාමා වගේ මටත් මගෙ මාමා මගෙ තාත්තා වගේ. අපි අවුරුදු 8 ක් දෙමාපියන් ලඟ නැතිව මාමා හා බාප්පා ලඟයි හැදුනෙ. ඉතින් මට ඔයාගෙ වේදනාව හොඳින්ම තේරුම් ගන්න පුලුවන්. ඉතින් ඔයාගෙ මාමාට තිසරන සරණින් , සියළු දෙවි රැකවරණින් ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නැන්දෙ...ගොඩක් අයට ඒ වේදනාව තේරුම් ගන්න අමාරුයි.

      Delete
  9. මාමාට ඉක්මන් සුව පතමි ..මටත් මාමලා 2න්නෙක්ම ඉන්නවා ,ඒ වුනාට නන්දල දෙන්නම හරි නෑ ,ඉතින් මන් මාමලාගෙන් ඈත වෙලා ඉන්නේ දැන් :(

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රෙහානි...

      Delete
  10. මේ වගේ මාමල ලබන්න පින් කරන්න ඕනේ හැමෝටම එහෙම හොඳ ඟති ලැබෙන්නේ නැහැ.

    ඉක්මනින් සනීපවෙන්න කියල අපිත් ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අසර් අයියේ. ඒ වගේ මාමා කෙනෙක් ලබන්න මං ගොඩක් පිං කරල ඇති.

      ඔයාව ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් අවකාශෙ දැක්කෙ :)

      Delete
    2. මේ අවුරුද්දේ ඉඳලා ආයෙත් සුපුරුදු රිත්මයෙන් ලියන්න පටන් ගන්න ඕනේ..

      Delete
    3. අන්න හොඳයි. දිගටම ලියන්නකො :)))

      Delete
  11. යහපත් මිනිස්සුන්ව සොබාදහම විසින් ආරක්ෂා කරනවා අක්කේ.මාමාට නිරෝගී සුව පතනවා.

    ReplyDelete
  12. බය වෙන්න එපා අක්කේ .ඔයාගේ මාමට ඉක්මනට සනීප වෙයි ..මමත් පුළුවන් තරම් ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා .....!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මල්ලියෝ...ඔයා ගිය අර පුහුණුව ඉවරද?

      Delete
  13. අප්පේ යාන්තම් ඉවර උනා ..සෙනසුරාදා හවස තමයි ගෙදර ආවේ ..මට තිත්ත වෙලා තිබුනේ .... :)

    ReplyDelete
  14. දැං මාමට හොඳයිද ?

    දිර්ගායුශ ප්‍රාර්තනාකරනව මමත් එයාට.ආදරණිය ලිපියක්!~!

    ReplyDelete
    Replies
    1. තාමත් කියන්න තරම් සනීපයක් නෑ සමී. ගොඩාක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට.....

      Delete
  15. ඔයාගේ මාමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රාර්ථනයට ගොඩක් ස්තූතියි ගවේශකයා...

      Delete
  16. අපිත් ඔයාගේ ප්‍රාර්ථනාවට එකතු වෙනවා.. ඔයාගේ මාමට ඉක්මනින්ම සුව වෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උදයංග ඒ ප්‍රාර්ථනාවට....

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)