Ads 468x60px

Saturday, August 11, 2012

සීතල සුලං හමද්දී

සීතල සුලං හමද්දී
සඳු අප දෙස බලා සිටිද්දී
ඔබ කී කතා..අද තනි මෙමා
සිහිකරනවා හද හඬද්දී

සිනාසෙන්නට හිතක් නෑ
හඬන්නට දැන් කඳුලු නෑ
ඔබ ගියදා පටන් යළි එයි කියා
සිතූ මුත් ඔබ ආවෙ නෑ

වෙරළින් ඈතට රළ පෙළ ගොස් ඇත
තනිවූ වෙරළක් බලා සිටී..
මාගෙන් සමුගෙන ඔබ ගිය මග දෙස
තවමත් ඇත මගෙ නෙතු යොමුවී…..


Sunday, August 05, 2012

ඉතින් කොහොමද?

කාලෙකට පස්සෙ....කාලෙකට කියන්නෙ සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි අද මේ පෝස්ට් එක දාන්නෙ. පහුගිය කාලෙ ජීවිතේ ගොඩක් වෙනස්කම් සිද්ධ උනා. කාර්‍යබහුල උනා,හිතේ තිබ්බ සැහැල්ලුව, නිදහස අඩු උනා.. මේ දේවල් එක්ක කලබලකාරි ජීවිතයට විවේකයක් ගේන සයිබර් අවකාශයෙ මගේ නවාතැන පැත්තෙ එන එකත් නැවතුනා. ඉඳල හිටලා ආව වෙලාවලදි කට්ටිය දාලා තිබ්බ පෝස්ට් පුලු පුලුවන් විදිහට කියෙවුවත්, කමෙන්ට් එකක් දාන්න බැරි උනා. භාගෙට ලියවුන ලිපි මතක් වෙද්දි ඒවයෙ ඉතුරු ටිකත් ලියල බ්ලොග් එකට දාන්න ඕනි කියලා හිතුනත් ඒකත් මගඇරුනා. ජීවිතේ පුදුම කම්මැලිකමකින් පිරුනා. වෙනදා ආසාවෙන් කරපු දේවල් වදයක් වෙන තරමටම ජීවිතේ වෙනස් උනා. ෆිල්ම් එකක් බලන එක, රේඩියෝව අහන එක, ටී වී එක බලන එක වගේ මං වෙනදා ආසාවෙන් කරපු දේවල් පවා මට එපා උනා. වෙනදට ක්‍රිකට් මැච් එකක් වරද්දන්නෙ නැතුව බලපු මං "අද මැච් එකට මොකද උනේ" කියල කවුරු හරි අහුවාම "ආ අද මැච් එකක් තිබ්බද" කියල අහන තත්වෙට ආව හැටි මටම පුදුමයි. 

මගෙ බ්ලොග් එකේ පෝස්ට් ගොඩක් නෑ. හැබැයි ඒ තියෙන ටික ලියුවෙ ගොඩක් ආසාවෙන්..ඕන කමකින්.එහෙම ආසාවෙන් කරගෙන ආපු බ්ලොග් එකෙනුත් ඈත් වෙන්න උනා. අද මේ පෝස්ට් එක ලියන්න ගත්තෙත් ආපහු කලින් විදිහට ජීවිතේ හැඩ ගස්සවා ගන්න ඕනි නිසයි. මොන තරම් කාර්‍යබහුල උනත්, කොයි තරම් වගකීම් වැඩි උනත්, කොයි තරම් ප්‍රශ්න ආවත් ජීවිතේ ගැන කළකිරීමක් ඇති කරගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව.ඉතින්  සයිබර් අවකාශයේ මගේ නවාතැනට මං ආයෙත් ගොඩ වැදුනෙ ජීවිතයේ දැන් තියෙන මේ ඒකාකාරි ගතිය ටිකක් හරි අඩු කර ගන්න තියෙන හොඳම තැන මෙතන කියල මට දැනුන නිසයි
.


ප.ලි 
මගේ යාලුවෙක් web development, software development වගේ දේවල් කරන කම්පනි එකක් පටන් ගත්තා. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්.

Thursday, May 24, 2012

අතීතාවර්ජනයක්



සරසවියෙන් ඉවත් වෙලා දැන් මාස දෙකයි. ඒත් මට නම් දැනෙන්නෙ ඊට වඩා ලොකු කාලයක් ගෙවිල ගිහින් කියල. කැම්පස් එකෙ ගත්ත පින්තූර ආයෙ ආයෙ බලද්දි ආයෙත් ඒ දවස් වලට යන්න ඇත්නම් කියල හිතෙනව. මෙහෙම කියන්නෙ මමමද කියල මටත් හිතාගන්න බෑ. කාලෙකට කලින් විභාග, අසයින්මන්ට්,ලෙක්චර්ස් එක්ක දවස ගෙවිලා යද්දි, කොච්චර කරත් වැඩ ඉවරයක් නැති, රෑ 2,3 වෙනකන් මැරී ගෙන වැඩ කරද්දී මං කල්පනා කරේ කැම්පස් එකෙන් අයින් වෙන්නෙ කවද්ද කියලා.  එහෙම හිතපු මම දැන් කියන්නෙ ආයෙත් මට කැම්පස් යන්න ආසයි කියල...ඇයි ඒ? මටත් හරියට හිතා ගන්න බෑ.

උදේම නැගිටිනව තරම් එපා කරපු වැඩක් මට නම් තවත් නෑ. ඒත් උදේට ලෙක්චර්ස් වැටුනම කරන්න දෙයක් නෑනෙ...ඉතින් නිදිමතේම ලෙක්චර්ස් යනව. ඊට පස්සෙ ලෙක්චර් එක ඉවර වෙනකම් මායි මගේ යාලුවයි තරඟෙට නලලෙ බාම් ගානව.මොකද හැමදාම අපි දෙන්නට ලෙක්චර් එකේදි ඔලුවෙ කැක්කුම හැදෙනව. පුදුමෙ කියන්නෙ දැන් ආයෙත් මතක් කරද්දි ඒ මතකය පවා හිතට දැනෙන්නෙ සුන්දර මතකයක් විදිහට. උදේට කන්න ගිහින් කන දෙයක් හිතා ගන්න බැරුව කෑම දිහා බලාගෙන ඉන්න හැටි, ඊට පස්සෙ ගත්ත කෑම වලට සල්ලි ගෙවන්න කට්ටිය "ඊයෙ ඔයා ගත්තනෙ අද මං ගන්නම්" කිය කිය එතන සල්ලි ගෙවන්න පොරකන හැටි, ඊට පස්සෙ තේ පෝලිමෙ හිටගෙන ඉන්න හැටි, ඊට පස්සෙ රටේ නැති ඒව කියව කියව කැම කන හැටි හරියට ෆිල්ම් එකක් වගේ මේ වෙලාවෙත් මගේ ඇස් ඉස්සරහ මැවිල පේනව.

ලයිබ්‍රරි එකට ගිහින් පැයක් විතර තෝරල තෝරල කලු ගල් වගේ බර පොත් අමාරුවෙන් අරන් ඇවිත් මේසෙ උඩින් තිබ්බට පස්සෙ ගොඩක් වෙලාවට මාත් පොතක් ගෙනාව  කියල මතක් වෙන්නෙ කවුරු හරි පොතක් දෙන්න ලයිබ්‍රරි යනකොට තමයි. ඇවිත් බලද්දි ගෙනාපු පොත දෙන්න ඕනි දවස පහු වෙලා.නැත්තන් දෙන්න තියෙන්නෙ හෙට. ඉතින් මටම බැන බැන ආයෙත් නම් ගේන පොත් එදාම කියවනව කියල හිතහිත පොත ගිහින් භාර දෙනව. ඒත් මොන එකක්ද මංද මට කවදාවත් ඒ වැඩේ කරන්න බැරි උනා. අන්තිමේදි පොත් ගේන එකත් නැවැත්තුව. තේරුමක් නෑනෙ පොත් නිකන් එහාට මෙහාට ප්‍රවාහනය කරලා.

කැම්පස් එකේ මගෙ සුන්දරම මතකය විදිහට තියෙන්නෙ යාලුවොත් එක්ක කොහේ හරි තැනකට සෙට් වෙලා කතා කර කර ඉන්න එක. ගහක් යට තිබ්බ ලී බංකු තුනක වාඩි වෙලා රස කතා, ආගිය තොරතුරු,අතීත මතක කිය කිය හිතේ හැටියට හිනා වෙවී කතා කර කර ඉන්න මං හරිම ආසයි. ඒ වෙලාවට හිතට දැනෙන සැහැල්ලුවට මං පුදුම විදිහට ආස කලා. මං දන්නව ආයෙත් කවදාවත් මට ඒ විදිහෙ සැහැල්ලුවක් දැනෙන්නෙ නෑ කියලා.ඒ මතකය විතරයි අද මට තියෙන්නෙ.

කම්පියුටර් ලැබ් එකට යන්න වෙන එකටනම් මං හරිම අකමැතියි. පැය තුනක් විතර AC එකේ ඉඳල එළියට එනකොට මුලු ඇඟම ගල් වෙලා වගේ. ඒත් ඉතින් මොනව කරන්නද...සමහර වෙලාවට මං ලැබ් එකට ගියෙ අයිස්ලන්තයට යනව වගේ. අත් දිගට තියෙන ඝනකම් බ්ලවුස් එකක් ඇඳල තව ජර්සියකුත් ඇඳල ඇතුලට ගිය වෙලේ ඉඳල අත් දෙක එකට අතුල්ල අතුල්ල හිටපු හැටි මතක් වෙනකොටත් හිනා. හොඳම වැඩේ වෙන්නෙ උදේ ලැබ් එකේ ලෙක්චර්ස් තිබිලා හවස තියෙන ලෙක්චර් එක පටන් ගන්නකන් ඉන්න කාළය. දවල්ට එළියෙ තියෙන රස්නෙත් එක්ක අර විදිහෙ බ්ලවුස් ඇඳන් ඉන්න ගියාම පිස්සු හැදෙනව.

අපේ කැම්පස් එක තියෙන්නෙ හරිම සුන්දර පරිසරයක. කාලෙකදි මුලු සරසවියම මීදුමෙන් වැහෙනව. ඔය පහලින් දාල තියෙන්නෙ කැම්පස් එකේ පින්තූර ටිකක්.

 
යාලුවොත් එක්ක කතා කර කර ඉන්න තැනක්





ඡායාරූප අයිතිය නදීර සඳරුවන්


ඡායාරූප අයිතිය නදීර සඳරුවන්


සමහර වෙලාවට ඈතින් පේන කඳු ටික දිහා බලාගෙන ඉන්න මං හරිම ආසයි. හවස දේශන ඉවරවෙලා ඉර බැහැගෙන යද්දි යාලුවොත් එක්ක හිමින් හිමින් ඇවිදගෙන සරසවිය පුරාම ආයෙත් යන්න ඇත්තම් කොච්චර හොඳද කියල මට පහුගිය මාස දෙකට හිතුන වාර ගාන අනන්තයි.

කැම්පස් එකේදි මං ටිකක් නිහඬ චරිතයක්. ඉස්කෝලෙ කාලෙ කෑගහල දඟලල හිටිය මං කැම්පස් එකට ගිය ගමන් හරි තැන්පත් කෙනෙක් උනා. අන්තිම දවසෙ අපේ කට්ටිය එකතු උන වෙලාවකදි මගෙ සගයෙක් මාව හැඳින්නුවෙත් ටිකක් හැංගිලා ඉන්න උත්සහ කරපු කෙනෙක් විදිහට. එක අතකින් ඒකත් ඇත්ත. ඉස්කෝලෙදි හැම වැඩකටම පැනගෙන ගිය මං සරසවියෙදි කැමති උනේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ආයෙත් මට මුල ඉඳන්ම කැම්පස් යන්න ලැබුනොත් මීට වඩා සැහැල්ලුවෙන් ඉන්න, හරියටම කියුවොත් මම මං විදිහටම ඉන්න උත්සහ කරාවි. එහෙම උනානම් මීටත් වඩා සරසවි ජීවිතය ලස්සන වෙන්න තිබ්බ කියල දැන් මට හිතෙනව.

මීට කලින් භාගෙට ලියපු ලිපි වගයක් තියෙද්දි හදිස්සියේම මගෙ සරසවි ජීවිතය ගැන ලියන්න හිතුන හේතුව මට හිතාගන්න බෑ. ඒත් අද මහ පාලුවක්, කාන්සියක් හිතට දැනුනා. ඒ වෙලාවෙ ඉබේටම වගේ හිතට ආපු මේ සුන්දර මතකයන්  ටික හිතට එන විදිහටම ලියලා දාන්න හිතුනා.

Tuesday, April 17, 2012

ආදරණීය අප්පච්චි......



අම්මට තරමට මං ළං නොවුනට
ආදරයේ නෑ කිසි අඩුවක්
පියාණෙනි මා ඔබේ පොඩි දුවයි
සිදුවී නෑ එහි කිසි වෙනසක්

ඔබේ ඇකයේ හිඳ සුරතල් බස් දෙඩු
බාල ළමාවිය දැන් ගෙවිලා
තුරුණුවියේ මා ඔබගෙන් ඈතයි
කියලා නොසිතනු මැන කිසිදා

අප්පච්චිට මං හරිම ආදරෙයි
කිව්වේ නැතුවට පෙරදි වගේ
ඔබව අගෙයි මට මා මියයන තුරු
ඔබ හින්දා හිරු මගේ ලොවේ........

Sunday, April 01, 2012

මගේ සමරු පොත



විශ්ව විද්‍යාල ජීවිතෙත් ටිකෙන් ටික ඉවරවෙලා යනව. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ industrial training එකයි project  එකයි විතරයි.කැම්පස් එකේ ගෙවුන කාලයෙ දුක සතුට සිනහව කඳුලු මේ හැම දෙයක්ම ජීවිතයට එකතු උනා.කොහොම උනත් ආපහු හැරිලා බලද්දි ඒ ගෙවුන කාලය ජීවිතයට කොයි තරම් වටිනවද කියල හිතෙනව.
කැම්පස් යන්න මට පොඩි කාලෙ ඉඳන්ම ලොකු ආසාවක් තිබ්බ. මේ බලාපොරොත්තුව ජීවිතේට එකතු වුනේ කොයි කාලෙද කියල හරියටම මතක නෑ. ඒත් දන්න කියන අය සරසවි ජීවිතයෙ රසමුසු තැන් ගැන කතා කරද්දී කැම්පස් යන්න මටත් ආසාවක් ඇති උනේ ඉබේටම. දැන් මේ කියන්න යන්නෙත් ඒ ආසාවත් එක්කම ජීවිතයට එකතු උන හීනයක් ගැන.

මම 10 වසරෙ ඉන්න කාලේ මගේ හොඳම යාලුවගෙ අම්ම රට ඉඳන් එද්දි අපි දෙන්නටම ලස්සන පොත් දෙකක් ගෙනත් තිබ්බ. ඒ පොත් වල ලස්සන පිට කවරයක් තිබ්බ. මම ඊට කලින් කවදාවත් ඒ වගෙ පොතක් දැකලා තිබ්බෙ නෑ.දැන් නම් ඒ වගේ පොත් ඕනි තරම ඇති. මේක සමරු සටහන් එහෙම ලියන්න පුලුවන් විදිහෙ පොතක්. ඔය තියෙන්නෙ ඒ පොතේ පින්තූරයක්.



ඔය අතරෙ අපි O/L කරන කාලෙත් ළං උනා.ඉස්කෝලෙන් අයින් වෙලා යන්න කලින් හැමෝම සමරු පොත් ගෙනත් අනිත් අයගෙ සටහන් ගන්නවා. මේ වෙලාවෙ මගේ යාලුව මේ විදිහෙ යෝජනාවක් ගෙනාවා.

"අපි දෙන්න අම්මා ගෙනත් දුන්න පොත් අපේ autographs විදිහට ගමු. දෙන්නටම තියෙන්නෙ එකම විදිහෙ පොත්නෙ"

අදහස නම් හොඳයි.හැබැයි ඒ වෙද්දි මගේ හිතේ තිබ්බෙ වෙනස් විදිහෙ බලාපොරොත්තුවක්. මට ලොකු ආසාවක් තිබ්බ කවදහරි කැම්පස් එකෙන් අවුට් වෙද්දි මගේ කැම්පස් යාලුවන්ට කියල මේ පොතට සමරු අත්සන් ගන්න. ඒ වෙනකොට O/L වත් කරල තිබ්බෙ නැති උනාට ඔය හීනේ නම් මගෙ හිතේ තදින්ම තිබ්බා.ඒත් ඉතින් මේක යාලුවට කියන්න බෑනෙ. කොහොම හරි ඒ වෙලාවෙ හිමීට ඒ කතාව ෂේප් කරල දැම්මා. යාලුවා එයාගෙ පොතට සමරු සටහන් ගනිද්දී මම වෙන පොතකට සමරු අත්සන් ගත්තා.

A/L කාලෙ තමයි මගේ ජීවිතයෙ හිටිය හොඳම යාලුවො මට මුණගැහුනේ. මේ පොතට එයාලගෙ සමරු සටහන් ගන්න ලොකු ආසාවක් ඇති උනත් පහුගිය කාලෙ පුරාම හිතේ තිබ්බ හීනේ අත අරින්න හිත දුන්නෙම නෑ. ඒ නිසා මේ පොත පරිස්සමට අල්මාරියේ තියෙද්දී එයාල සමරුසටහන් ලියුවෙ වෙන පොතක.

කොහොම හරි කැම්පස් ගියා කියමුකො. කාලයගෙවිලා ගිහින් අපි සරසවියෙ ඉන්න අන්තිම මාසෙත් ආවා.දැන් ඉතින් facebook, twitter, බ්ලොග්, ජංගම දුරකතන හැම කෙනෙක්ගෙම ජීවිත වල කොටසක් වෙලානෙ. අපි ඉස්කෝලෙ ගිය දවස් වල මොබයිල් ෆෝන් තිබ්බෙ කීප  දෙනෙකුට විතරයි. ඒ නිසා තමයි ඒ කාලෙ autograph ගොඩක් අයගෙ අවධානෙ දිනා ගත්තෙ. ඒත් දැන් කාලෙ වෙනස් තාලෙ අලුත්නෙ. ඉස්කෝලෙ කාලෙ අන්තිම මාසෙ කිට්ටුවෙන වෙන කොට සමරු පොත් කරළියට ආවත් කැම්පස් එකේ ඒ ගැන සද්දයක් වත් නෑ.මගෙ යාලුවො දෙතුන් දෙනෙක් එක්ක ඔය මාතෘකාව ඇදලා ගත්තා..ම්හ් කිසිම ප්‍රතිචාරයක් නෑ.දැන් ඉතින් අලුත් තාක්ෂනයට පිං සිද්දවෙන්න පිටරට වල ඉන්න අයත් ගෙදරම ඉන්නව වගෙ දැනෙන නිසා කාටවත් සමරු සටහන් වල අවශ්‍යතාවක් ඇතිවෙලා නෑ වගෙ :(

දැන් මට ලොකු ප්‍රශ්නයක්. කවුරුවත් සමරු සටහන් පොත් දෙන්නෙ නැති කාලෙක මං විතරක් autograph එකක් අරන් ගිහින් අනෙ මේ පොතේ sign කරල දෙන්නකො කියල කියන්නෙ කොහොමද? අත්සන් කරත් ඒත් එක්කම අහන්න වෙන විහිලු මතක් වෙන කොටත් ඇඟම සීතල වෙලා යනවා. :)

අනිත් අතට අවුරුදු අටක් විතර හිතේ තිබ්බ ඒ අහිංසක ආසාව අත් ඇර ගන්නත් මගේ හිතෙ කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ. මං නිකන් ගිරයට අහුවුන පුවක් ගෙඩියක් වගේ. හීනෙ හැබෑ කරගන්න ගියොත් සෑහෙන්න ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. සද්ද නැතුව හිටියොත් ජීවිත කලෙ පුරාම, හීනෙ හැබෑ නොවුන දුක හිතේ තියෙවි. අනිත් ළමයි විභාගෙ ගැන කල්පනා කරද්දී මං උදේ හවස කල්පනා කලේ මේ ප්‍රශ්නෙ ගැන.

අන්තිමේදි ආව හොඳ අදහසක්. Autographs වලට ලෝකයෙන් සමුගන්න සිද්ධ කරපු social media වලින්ම මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න පුලුවන් නේද කියල මට හිතුනා. ඊට පස්සෙ මේ පොත අරන් ගිහින් යාලුවන්ට දීලා කිවුවා
"මට මේ පොතෙ ඔයාලගෙ email address, blog url, twitter id, එකී මෙකී නොකී හැම contact detail එකක්ම ලියලා දෙන්නකො" කියලා.

කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. හැමෝම කිසි කතාවක් නැතුව ඒ විස්තර ටික මට ලියලා දුන්න. සමහරු මාත් මේ ටික ලියාගන්න ඕනි කියලත් කිවුවා.

දැන් මගේ සරසවි යාලුවන්ගෙ අතින්ම ලියවුන ඒ සටහන් ටික ජීවිත කාලේ පුරාම මගේ ළඟ තියේවි.යාලුවො එකින් එක්කෙනා ඒ පොතේ සටහන් තියෙනව බලන් ඉන්දැද්දි, ටිකෙන් ටික මගේ ඒ අවුරුදු ගානක් පුරාවට හිතේ තිබ්බ ඒ ආසාව ඉටු වෙද්දි, දැනුන සතුට කියන්න මට වචන නෑ.

මේක ඒ තරම් ලොකු දෙයක්ද කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් මට මේ පොතේ, ඒ පොතේ ලියවිලා තියෙන අකුරුවල, වටිනාකම, කාටවත්ම හිතාගන්න බැරි තරම්....  

Sunday, March 25, 2012

ආයෙමත් නුඹ එනවානම්.....

දෑසේ නැගෙනා කඳුළු පිසදා
ජීවිතයේ දුක නිවාලන්නට
කලින් දවසක පැමිණි විලසට
ආයෙමත් නුඹ එනවානම්.....

ඔබ දකින්නට පෙරුම් පුරනා
දෑසේ පැතුමන් සපුරාලන්නට
සිහිනයෙන්වත් මා දකින්නට
ආයෙමත් නුඹ එනවානම්.....

දිවියෙ පෙරදා මතුවු හසරැල්
ආයෙ මුවගට කැඳවාලන්නට
එදා මෙන් යලි හිනැහී මාවෙත
ආයෙමත් නුඹ එනවානම්.....

ඔබ නිසාවෙන් තැලී පොඩි උන
මගේ හදවත හදාගන්නට
අනේ තව එකම සැරයක්
ආයෙමත් නුඹ එනවානම්.....

Friday, March 09, 2012

විභාගෙ, බ්ලොග් එක සහ මම

මමත් ඉඳල ඉඳලා බ්ලොග් එකක් පටන් ගන්න හිතුවෙ වැඩියෙන්ම වැඩ තියෙන කාලෙක. කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ අන්තිම කාලෙ කියන්නෙ මගෙ ජීවිතේ වැඩියෙන්ම වැඩ කරපු කාලේ.

 ඒ කාලේට සාමාන්‍යයෙන් අනිත් අය තියෙන වැඩ අඩු කරගන්නයි හදන්නෙ. මම ගිහින් නැති වැඩත් දාගත්තා ;) හැබැයි මේ වැඩේනම් මං ගොඩක් ආසාවෙන් කරන්න ගත්ත දෙයක්. කාලයක් තිස්සෙ බ්ලොග් එකක් පටන් ගන්න ලොකු කැමැත්තක්  තිබ්බා. ඒත් මට ඒ වැඩේ හොඳට කරගන්න පුලුවන්වෙයිද කියලා හිතේ පොඩි බයක් තිබ්බ නිසයි දවසින් දවස වැඩේ කල් ගියේ. කවි සින්දු වගේම මගෙ අත්දැකීම්, දන්න කියන දේවල් එහෙම ලියන්න හිතාගෙන තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඒත් එතකොටම අපේ ෆයිනල් එක්සෑම් ආවා :(  ඒ හින්දා කලින් ලියලා තිබ්බ කවි ටිකක් ඇරුනම වෙන පෝස්ට්  දාන්න බැරි උනා. තාම එක්සෑම් ඉවර නෑ. ඒත් දවස් කීපයක පොඩි පරතරයක් තියෙනවා ඊළඟ සබ්ජෙක්ට් එකට කලින්. විභාගෙ ඉවර වෙලා ලියන්න ගොඩක් දේවල් හිතාගෙන ඉන්නවා. දැනටමත් හිතෙන් ඒ පෝස්ට් ටික කීපසැරයක්ම ලියලයි තියෙන්නෙ ;)
මේ දවස් ටිකේම ජීවිතය ගෙවෙන්නෙ පාඩම් වැඩත් එක්ක. පොඩි වෙනසකටත් එක්ක බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න හිතුනා. යන්න කලින් දාපු පෝස්ට් කීපය හරි කියවල අගය කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියලා කියන්නම ඕනි... :)