මේ තමයි 2013 අවුරුද්දෙ
හිත අද්දරට එකතුවෙන පළවෙනි ලිපිය.අවුරුද්දෙ පළවෙනියටම ලියන ලිපිය මට ගොඩක් දැනෙන
සංවේදී මාතෘකාවක් ගැන ලියන්න හිතුනා.
මගේ ජීවිතේ මට
ගොඩක්ම සමීප කෙනෙක්
තමයි මගේ මාමා. නෑදෑකමට ඔහු මට "මාමා" උනත්, ඔහු තාත්තා කෙනෙක් තරමටම මට ආදරය කරනව.
ඔහු මං වෙනුවෙන් කරල තියෙන කැපකිරීම් තාත්තා කෙනෙක්වත් තමන්ගෙ දරුවෙක් වෙනුවෙන්
කරනවද කියන්න මං දන්නෙ නෑ. ඒ හැමදෙයක්ම
මෙතන ලියන්න ගියොත් එක ලිපියක් නෙවෙයි මුලු බ්ලොග් එකක්ම ඒ ගැන ලියුවත් ලියල ඉවර
කරන්න බෑ. ඔහුගෙ මුලු ජීවිතේම කැප උනේ මං වෙනුවෙන්. මගේ ලඟින්ම ඉන්න යාලුවො දන්නව
ඔහු මං ගැන කොයි තරම් හොයල බලනවද කියල. ගොඩක් වෙලාවට ඔහු මගේ දෙමවුපියන්ටත් වඩා මං
ගැන සලකිලිමත් වෙනව, මහන්සි වෙනව, වද වෙනව.
අද මං ලබල
තියෙන හැම ජයග්‍රහනයක් පිටිපස්සෙම ඉන්නෙ ඔහු. ඔහු නැත්තං මට මේ තරම් දුරක් එන්න
ලැබෙන්නෙ නෑ කියන එක මං හොඳටම දන්නව. මං ලබන පුංචිම හරි ජයක් ඔහුට මහ ලොකු සතුටක්
ගේනව. මට පොඩි හරි අසනීපයක් උනොත් මගේ ලඟින්ම ඉඳන් ඔහු මාව බලාගන්නව. මට බෙහෙත්
පෙත්තක් ගේන්න මහ රෑක උනත් ඔහු ටවුම පුරාම යන්නෙ ඔහුට තියෙන අසනීප ගැන පවා අමතක
කරල. ජීවිතේ මට මූනදෙන්න වෙන හැම අභියෝගයක්ම මං බය නැතුව භාර ගන්නෙ ඔහු මට උදව්
කරන්න ඉන්නව කියන එක දන්න නිසා. අවිවාදයෙන්ම “He
is the wind beneath my wings” කියල කියන්න පුලුවන්.
ගොඩක් අයට, මගේ මාමා මට දක්වන ආදරයත්, මං මාමට
දක්වන ආදරයත් තේරුම් ගන්න බෑ. සාමාන්‍යයෙන් නම් අපි අම්මට, තාත්තට දක්වන ආදරයත්, අම්මගෙ
සොහොයුරෙක්ට දක්වන ආදරයත් අතර පොඩි හරි වෙනසක් තියෙනව තමයි. ඒත් මට ඒක එහෙම
නෑ. ඒ තුන් දෙනාටම මගේ හිතේ තියෙන්නෙ එක සමාන ආදරයක්. ගෞරවයක්.
අද ඔහු ඉන්නෙ
අසනීපයෙන්. මට පුංචි ඔලුවෙ කැක්කුමක්
හැදුනත් ඒක සනීප කරගන්න මහන්සි වෙන මාම වෙනුවෙන් අද මට කරන්න කිසිම දෙයක් නෑ.
කොල්ලෙක් වගේ එහෙට මෙහෙට දුවල දොස්තරල ගාවට, ඉස්පිරිතාල
වලට ඔහුව එක්කරගෙන යන්න මට බෑ. මට මං ඉල්ලන්නෙවත් නැතුව ගොඩක් දේවල් අරන් දුන්න
ඔහු වෙනුවෙන් එක බෙහෙත් වේලක් අරන් දෙන්න මට බෑ. පුදුම විදිහෙ අසරණකමක් හිතට දැනෙනව. මට පුලුවන් එකම දේ
රෑ දවල් දෙකේම ඔහුට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරන එකයි, ඔහු ළඟට වෙලා
ඉන්න එකයි විතරමයි.
මං මේ සටහන
ලියන්න ගත්තෙ ඔහු නිසාම මගේ හිතට ළං උන ගීතයක් ගැන කියන්න. මං පොඩි කාලෙ අම්මලට
රාජකාරි කටයුතු නිසා දුර පළාතකට යන්න උනා. ඒ කාලෙ මං හැදුනෙ මාමයි ආච්චියි
එක්ක. මාව නිදි කරවන්න මාමම අපූරු නැළවිලි
ගීතයක් හදාගෙන තිබ්බ. ඊට අමතරව මට නින්ද යනකං ඔහු මගේ ඔලුව අත ගගා මෙන්න මේ ගීතය
ගායනා කරනව. අදටත් ඔහු මගේ ළඟ ඉඳන් මගේ ඔලුව අත ගාන ගමන් මේ ගීතය ගයනව අහන්න මං හරිම
කැමතියි. ගීතය ඔහේ කියාගෙන යන්නෙ නැතුව ඒ හැම වචනයක්ම බොහොම ආදරයෙන්, හෘදයාංගමව ඔහු
ගයද්දි, ඒ ගීතය අහගෙන ඉන්න මං පුදුම ආසයි.
මේ තමයි ඒ
ගීතය.
සිරිමා බෝ මැඩ - මුනිඳුන් වැඩ හිඳ
දස මර සේනා දිනූ බෙලෙන්…
ජයපැන් කරඬුව දෝත දරා...
නිදන්න දූ කුමරී….
බක්කුල
මහ තෙරිඳූ බෙලෙන්
නිදුක් නිරෝගී වේවා….
සූවිසි මුණි ගුණ - පින් මහිමෙන්
නිරතුරු ආයු වැඩේවා….
අසූ සාරදහසක් දම් තෙඳ කඳ
සෙවන දෙවා සුරකීවා….
සිරි දළදා සමිඳූ නමින්
ළතෙත් ගුණය ඉතිරේවා….
වම් සිරිපා රන් පද්ම බෙලෙන්
අනන්ත නුවණ වැඩේවා….
මහා සීවලී මහිමි අනුහසින්
ඉසුරු සැපත් බෝ වේවා….
සිරිමා බෝ මැඩ....
ගායනය:
වික්ටර් රත්නායක
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය:
වික්ටර් රත්නායක
මගේ ජීවිතයේ
මාව වැඩිපුරම සංවේදී කරන ගීතය තමයි මේ. මගේ රත්තරන් මාමට මං කොයි තරම් ආදරෙයිද
කියල කියන්න මං උත්සහ කරන්නෙ නෑ..මොකද කවදාවත්ම මට ඒක විස්තර කරන්න බැරි නිසා. ඔහු
මට මේ මුලු ලෝකයම තරම් වටිනවා.
උදාවූ අවුරුද්දෙ ඔහුට නිදුක් නීරෝගී සුවය ලැබිලා
දීර්ඝායුෂ ලැබිල හිතේ සතුටින් ඉන්න ලැබේවා කියල මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා….
උදාවූ
අවුරුද්දෙ මං ප්‍රාර්ථනා කරන එකම දේ ඒකයි.