2013 වසර අවසාන වීමට ඇත්තේ
දින කීපයක් පමණි. මෙලෙස අවසන් වන්නේ මගේ ජීවිතයේ එතෙක් මෙතෙක් ගෙවුණු
අවාසනාවන්තම වසරයි.
මේ වසර ආරම්භයේදී මම මා අතින් ලියවුනු හෘදයාංගමම සටහන මේ බ්ලොග් අඩවියේ සටහන්
කලෙමි. එය ලියවුනේ මා වඩාත්ම ආදරය කරනා කෙනෙකු වෙනුවෙනි. එසේම මගේ ජීවිතයේ ඇති එකම
ප්‍රාර්ථනයද බලාපොරොත්තුවද එහි සඳහන් කලෙමි.
මා වඩාත්ම සංවේදී ගීතය සහ "ආදරණීය ඔහු"
නම් වූ එම සටහනේ මා සඳහන් කලේ මාගේ ආදරණීය මාමා ගැනය. ඔහුට මාමා යැයි අමතන්නට මා
අකමැති වන්නේ ඔහු මට මාමා කෙනෙකුට වඩා පියෙකු වූ බැවිනි. මා කුඩා කාලයේදී මා කවා
පොවා නහවා රැක බලා ගත්තේ ඔහුය. 13 වසරවන තුරුම දිනපතා මා පාසලට ඇරලවූයේ ඔහුය. සරසවි අධ්‍යාපනය
ලබන අවදියේ දිනපතා මා සරසවියට රැගෙන ආවේද ආපසු මා නිවසට ගෙන ආවේද ඔහුය.
ඔහු මට මහත්සේ ආදරය කලේය. ඔහුත් මාත් අතර වූ බැඳීම කිසිවෙකුටත් තේරුම් ගත
නොහැකි ආකාරයේ බැඳීමකි. ඉතාම කුඩා දේ පිළිබඳව ඔහු ඉතා සැලකිලිමත් විය. මට මදුරුවන්
දශ්ට කරාවි යැයි බියෙන් ඔහු මදුරු විකර්ශක ආලේප ගෙනවිත් දුන්නේය. නිවසේ පිටත
යන්තමින් හෝ අඳුරු ස්ථානයක් වෙතොත් විදුලි බුබුළු දමන්නට ඔහු පෙළඹෙන්නේ
සර්පයින්ගෙන් මා ආරක්ශා කරගන්නටය. මා ඉල්ලනේවත් නැතිව මා කැමති දෑ ඔහු මට ගෙනවිත් දෙන්නේය. ගෙදර එන්නට යන්තම් හෝ ප්‍රමාද වූ විට ඇමතුම්
දෙමින් කෙටි පනිවිඩ එවමින් ඔහු වද වෙන්නේ මට යම් අනතුරක් වේ යැයි ඇති බිය නිසාවෙන්ය.
උසස් පෙළ හදාරන අවධියේ ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා ගුරුවරයෙක් අප පාසලේ නොවීය.
උදෑසන හතරටත්පෙර අවධිවන ඔහු අන්තර්ජාලය හරහා අවශ්‍ය සටහන් සකස් කරගෙන මා වෙනුවෙන්
පාඩම් මාලා සකස් කරන්නේය. පාසල නිමවී පැමිණ මා රචනා සහ ප්‍රශ්න වලට පිළිතුරු ලියන අතර හවස් කාලයේදි
දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔහු මට එම පාඩම් කියා දීමටත් පිළිතුරු නිවැරදි
කිරීමටත් වෙලාව සොයා ගන්නේය. මා උසස් පෙළ සමත් වන්නේ ඔහුට පින් සිදුවන්නටය.
මාගේ කුඩා ජයග්‍රහණයක් පවා ඔහුට මහා මෙරක් තරම් විය. උසස් පෙළ සමත් වූ දවසේ, සරසවියට තේරුනු දවසේ,
පාසලේදි සහ සරසවියේදි තරඟ වලින් ජය ලැබූ අවස්තාවන්හිදි මෙන්ම අපේ උපාධි ප්‍රදානෝත්සවය දිනයේදී ඔහු තරම් සතුටු වූ කෙනෙකු තවත් නැති
තරම්ය.
අප දෙදෙනා අතර වූයේ ඥාති දියණියක් සහ මාමා කෙනෙකු අතර වූ බැඳීමක් නොවේ. ඔහු
මගේ හොඳම මිතුරා ඔහු විය. මා ජීවිතයේ නැරඹූ සෑම ක්‍රිකට් තරඟයක්ම නැරඹුවේ ඔහු සමගිනි.
අප එක්වී අත්පුඩි ගැසුවෙමු, දෑස් දල්වා ගැහෙන හදින් යුතුව රූපවාහිනිය දෙස බලා සිටියෙමු. අලුත් චිත්‍රපටියක්
ලැබුනු විට අප දෙදෙනාම එය නැරඹූවෙමු. සිත් ගත් ඊමේල් පණිවිඩ හුවමාරු කරගත්තෙමු. එවන් විටෙක එහි සිටියේ මගේ මාමා
නොව ඔහු තුල වූ මගේ මිතුරාය.
මාගේ ජීවිතයේ තීරණ ගන්නට පෙර මා උපදෙස් පැතුවේ ඔහුගෙනි. ඔහුට අපූරු දුරදක්නා නුවණක් විය. ඔහු කියූ කිසිවක්
කිසිවිට වැරදි නොවීය. එවන් විටක ඔහු මගේ මාර්ගෝපදේශකයා විය. ජීවිතයේ ඕනෑම දේකට මූණ
දෙන්නට මා බිය නොවූයේ ඔහු මා ලඟ සිටි නිසාවෙනි. ඔහු මට මහත් ශක්තියක් විය. සෑම ප්‍රශ්ණයකටම
ඔහු සතුව විසඳුමක් විය. මගේ ලෝකයේ සුපිරි වීරයා වූයේ ඔහුය.
මට ලියන්නට,
කියවන්නට ආශාවක් ඇති කලේ ඔහුය. මා ලියූ කවි කතා ඔහු
ආශාවෙන් කියවීය. ඒවායේ අඩු පාඩු පෙන්වා නිරතුරු මා උනන්දු කරවීය. ඔහු මගේ විචාරකයා
විය.
ඔහු වෘත්තීයෙන් නීතිඥයෙකු වුවත් සෑම මාතෘකාවක් ගැනම ඔහු තුල වූ දැනුම
පුදුමාකාරය. බොහො සැන්දෑවන් අපි ගෙවන්නෙ මිදුලේ පුටු දෙකක් තබාගෙන කතාකරමින්ය. ලෝක
ඉතිහාසයේ සිදුවුනු සිදුවීම් ඔහු මට විස්තර කරන්නේ නම් ගම් සහ දින වකවානු මතකයෙන්
පවසමින්ය. ලෝක සාහිත්‍යය ගැනද ඔහුට වූයේ පුලුල් දැනුමකි. දේශපාලනමය, සමාජමය, කාලීන, ක්‍රීඩාමය, තාක්ශණික ආදී එකී මෙකී සෑම මාතෘකාවක් ගැනම මට කියා දුන් ගුරුවරයා ඔහුය.
මේ සියල්ලටම වඩා ඔහු ප්‍රිය කලේ
බුද්ධාගම ගැන කතා කිරීමටය. ඔහු නිහඬව බොහෝ පින්කම් කලේය.නිරතුරු පන්සල හා
සහසම්බන්ධව කටයුතු කලේය. බෞද්ධ පොත් පත් කියවූයේය. ධර්මය පිළිබඳ මනා දැනුමක් ඔහු
සතු විය. සැඳෑ කල්හි කෙරුනු අපේ කතා බහ බොහෝ විට අවසන් වන්නේ ආගම ගැන කෙරෙන
කතාවකිනි. අනිත්‍යය මට පසක් කර දීමට ඔහු උදාහරණ කර ගන්නේ තමන්වමය. එවන් මොහොතක මා
වහා කතාව නතර කරන්නේ ඔහු නැති දවසක් ගැන යන්තමින් හෝ සිතීමටවත් මා අකමැති වූ
නිසාවෙනි. ජීවිතය හැඩගස්වා ගැනීමට උපදෙස් දුන් උපදේශකයා, මට ඔහුය.
දවසේ සිදුවන සෑම දෙයක්ම මම පවසන්නේ ඔහු සමගය. ඕනෑම දුකක් කරදරයක් කියද්දි
නිහඬව එයට සවන් දෙන ඔහු ඉතා ආදරණීය ලෙස මගේ සිත සාදන්නේය. රාත්‍රියට නින්දට යාමට
පෙර මට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ඔහු ආදරයෙන් මගේ හිස සිඹින්නේ ආදරණීය පියෙකු
ලෙසින්ය.
කෙටියෙන්ම පවසතොත් ඔහු මට මුලු ලෝකයම විය. මා ජීවිතයේ ලද සෑම ජයක් පිටුපසම
ඔහු සිටියේය. අම්මාත් අප්පච්චීත් මාමාත් යන තිදෙනාගෙන් එහා ලෝකයක් මට නොවීය. ඒ ලෝකයේ මට තිබූ ලොකුම ශක්තිය ඔහුය.
ඉතින් 2013 ලබද්දී මට ලොකු ආශාවන් හීන තිබුනේ නැත. තිබුනු එකම බලාපොරොත්තුව වූයේ එකල
අසනීපයෙන් සිටි ඔහු සුවපත් කරගෙන පාඩුවේ, නිදහසේ ජීවත් වීමටය. ඔහු වෙනුවෙන් මා අතින් ලියවුනු
"මා වඩාත්ම සංවේදී ගීතය සහ "ආදරණීය ඔහු""
සටහන කියවූ අම්මා “මාමටත් මේක පෙන්න්වන්න”යැයි කීවාය. “දැන් මේක පෙන්නුවොත් දුක හිතෙයි. හොඳටම සනීප උනාම පෙන්වන්නම්”. මම කීවෙමි. ටිකෙන් ටික එයට සුදුසු කාලය උදාවෙන අයුරු
මම මහත් ආශාවෙන් බලාසිටියෙමි. අසනීපය සුව අතට හැරී සාමාන්‍ය ජීවිතයට ඔහු ක්‍රමක්‍රමයෙන්
හැඩගැසෙන්නට පටන් ගත්තේය. මාස 10ක් පමණ නිවසටම වී සිටි ඔහු නැවත රැකියාවට යන අයුරු සතුටු
කඳුලු පිරි දෙනෙතින් මම බලා සිටියෙමි. උදේ හවස මා අයැදූ, ප්‍රාර්ථනා කල එකම දේ ඔහුගෙ සුවය පමණි. එය ඔහුට ලැබෙනු
දැක මම සතුටුවූ තරම් දන්නේ මා පමණි. යළිත් සතුට අප සොයා එන බවට ලැබුණු ඉඟි දෙස මම
ආශාවෙන් බලා සිටියෙමි.
කුණාටුවට පෙර පැවතෙන නිශ්චලතාවය පිළිබඳ මට එවකට අවබෝධයක් තිබුනේ නැත.
අනාගතය පිළිබඳව සුභ සිහින දකින්නට මා පටන් ගත්තා පමණි. නොසිතූ මොහොතක මගේ
දෑස් ඉදිරියේ මගේ ලෝකයම, ජීවිතයම කඩාගෙන වැටුනි. ජීවිතයේ මට තිබූ එකම බලාපොරොත්තුව බොඳ වුනි. එක් මොහොතකදී ජීවිතයේ මට තිබූ ලොකුම ශක්තිය මා හැර
ගොස් තිබුණි....
තවත් මා ජීවත් වීමේ තේරුම මා දන්නේ නැත. හෙටක් ගැන සිතන්නට තරම් ශක්තියක්
මා සතුව නැත. ජීවිතය මට මෙතරම් කුරිරු දඬුවම් දෙන්නට තරම් මා කල වරද මා දන්නේද නැත.
මම ලොකු හීන ආශාවන් තිබුනු/තිබෙන කෙනෙක් නොවෙමි. මා සතුටක් ලැබුවේ කුඩා
දේවල් තුලිනි. පවුලේ අය හා එක්ව මගේ පාඩුවේ සැනසිල්ලේ ජීවත් වන්නට මිස ලෝකය
ජයගන්නට මම යත්න නොදැරුවෙමි. ඒ පුංචි ආශාවද අහිමි වූ තැන ජීවිතයේ අර්ථය සිතා ගනු
නොහැකිව මම බලා සිටිමි.
බැලූ බැලූ අත ඇත්තේ ඔහු හා සබැඳි මතකයන්ය. හිතට දැනෙන දුක බෙදා ගන්නට මට
ඉන්නේ අම්මා පමණි. එහෙත් සිය එකම සොයුරා අහිමිවීමේ දුකින් කල් ගෙවන ඇයට මගේ දුකත්
පවසන්නට මට නොහැකිය. “ඔයා ශක්තිමත්ව ඉන්න”. මේ දිනවල මට හමුවන සෑම දෙනාම පවසන්නේ එයයි. මගේ ජීවිතයේ තිබූ එකම හයිය මට
නැති වූ කල මා ශක්තිමත්ව ඉන්නේ කෙසේදැයි ඔවුන් කියන්නේ නැත. මට කතා කරන හැම
යාලුවෙකුටම හිතේ ඇති දුක නොනවත්වාම කියවාගෙන ගියද එය නොකල යුත්තක් බැව් මට දැන්
හැඟේ.
හිතේ ඇති දුක පිට කිරීමට ඇති එකම මග ලෙස, මා එය මෙසේ ලියා තබන්නේ එබැවිනි.
ජීවිතය තවමත් ගලාගෙන යන්නේය. කාලය බොහෝ දේ සුවපත් කරන බැව් අසා තිබුනද මා
තුල ඇති වේදනාව සමනය කිරීමට එයට මෙතෙක් හැකි වී නැත. සමාජයේ ජීවත් විය යුතු නිසා
මම අන්‍යයන් හා කතා බස් කරමි, සිනාසෙමි,
රැකියාවට යමි,
කිසිවක් නොවුනා සේ හැසිරෙමි. ඒ අතරේ කඩා වැටුනු ලෝකයේ
සුන්බුන් අතර සිරවී සිටිමින්ම, වෙන කල හැක්කක් නොමැති නිසාම ආශ්වාස ප්‍රාශ්වාසද කරන්නෙමි...එහෙත් ජීවිතය
මා හැරදා ගොසිනි..
පලි: “වෙනස් දේකට හිත යොදවන්න.අඩු ගානේ ආයෙ බ්ලොග් එකවත් ලියන්න”. කියා මට කිව්වේ මිතුරු නදීරය. වෙන මාතෘකාවක් ගැන
ලියන්න යැයි ඔහු කීවද මේ කාලයේ ලියන්නට තරම් "වෙන" මාතෘකා මට නැත. මෙය හෝ ලිව්වේ එයින්වත් හිත යන්තම් හෝ සැහැල්ලුවේයැයි යන විශ්වාසයෙනි.