Ads 468x60px

Sunday, April 28, 2013

මම

සතුටු සිනා මැදින් කන්කලු සංගීතය ගලාගෙන යද්දි.....
රස දිව පිනා යන කෑම, නෙක රසැති බීම, මේස පුරවද්දි.....
සුභ පැතුම්, ආගිය තොරතුරු එකිනෙකා අතර හුවමාරුවෙද්දි.....

තනි වී එදෙස බලාසිටින,

මගේම සාදයේ....

ආරාධිතයෙකුද නොවන
අනාරාධිතයෙකුද නොවන

මම.



http://4.bp.blogspot.com

Tuesday, April 16, 2013

මගේ ක්‍රිකට් උණ, හොඳ උන හැටි



http://sports-pictures.feedio.net/

පොඩි කාලෙ ඉඳන්ම මගෙ කැමතිම ක්‍රීඩාව තමයි ක්‍රිකට්. පුංචිම කාලේ ප්ලාස්ටික් බැට් එකකුයි බෝලෙකුයි තියාගෙන ක්‍රිකට් ගහපු මට ටිකක් ලොකු කාලෙදි මාමා ටිකක් බර ලී බැට් එකක් අරන් දුන්නා.රබර් බෝලෙ බිත්තියට ගහල ඒක ආපහු බම්ප් වෙලා එනකොට බැට් එකෙන් ගහල තමයි මම මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ උනේ
පස්සෙ කාලෙක ඉස්කෝලෙදි පොඩි ඉඩක් හරි ලබුන ගමන් යාලුවොත් එක්ක ග්‍රවුන්ඩ් එකට දුවන්නෙ ක්‍රිකට් ගහන්න. ඒ කාලේ අපේ ඉස්කෝලෙ කාන්තා ක්‍රිකට් ටීම් එකක් තිබ්බෙ නැති උනත් කොහෙන් හරි ලී කෑල්ලක් හොයාගෙන කඩදාසි ගුලි කරල හදාගත්ත බෝල වලින් අපි දිගටම පුහුණුවීම් කලා. O/L  වගේම A/L විභාග දවස් වලත් හෙට විභාගෙ තියෙද්දි අද රෑ වෙනකනුත් මැච් බැලුව විතරක් නෙවෙයි එක දවසක් ක්‍රිකට් මැච් එකක් බලන්න යන්න ඕන කියල ටියුෂන් ක්ලාස් එකෙන් කලින් එන්න ගිහින් ටීච ගෙන් බැනුමුත් ඇහුවා  
හැබැයි ක්‍රිකට් වලට කොයි තරම් ආසාවක් තිබ්බත් කවදාවත්ම හරි හමන් ක්‍රිකට් මැච් එකක් ගහන්න හම්බ උනේ නෑ. කැම්පස් ආවට පස්සෙ උනත් වැඩිය ක්‍රීඩා පැත්තට යොමු උනේ නැති නිසා ක්‍රිකට් ගහන්න චාන්ස් එකක් ලැබුනෙම නෑ. කවදාවත්ම මට ක්‍රිකට් ගහන්න ලැබෙන එකක් නෑ කියල හිතුනත් දෛවය මට එච්චරම  කුරිරු වෙන්නෙ නැතුව අන්තිම මොහොතෙ හරි මට පොඩි අවස්ථාවක් දෙන්න තීරණය කරල තිබ්බා.
 
කැම්පස් එකෙන් අයින් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි අපේ ජූනියර්ස්ල අපිත් එක්ක සුහද ක්‍රිකට් තරඟයක් පැවැත්තුව. ටීම් එකකට ගෑණු පිරිමි දෙගොල්ලම ඇතුලත්. හැබැයි අපේ සමහර ගෑණු ළමයි ටිකක් අදිමදි කරනව වැඩේට. හිත යටින් කොච්චර ආසාවක් තිබ්බත් මට තනියම යන්නත් මොකක්ද වගේ. කොහොම හරි මගේ යාලුවත් වැඩේට කැමති උන නිසා ඔන්න අපිත් දැන් ටීම් එකට ඇතුලත් උනා. 
අපේ ටීම් එකේ කැප්ටන් කාසියේ වාසිය දින්න. අපි තමයි මුලින් පන්දුවට පහරදෙන්නෙ. හැබැයි නීති රීති ටිකක් වෙනස්. ගෑණු ළමයින්ට රනර් (runner) කෙනෙක් දෙනව..එතකොට අපිට තියෙන්නෙ බැට් කරන්න විතරයි. අපිට බෝල් කරන්නෙත් මහ අමුතු විදිහකට. බෝලෙ බිම දිගේ තමයි එවන්නෙ. කොහොම හරි ඉතින් මැච් එකත් පටන් ගත්තා. මුලින්ම අපේ බැච් එකේ කෙනෙකුයි ජූනියර් මල්ලිකෙනෙකුයි තමයි ඕපනින් ගියේ. ටිකකින් මල්ලි අවුට් උනා. ඊළඟට මගේ යාලුව ගියා. එයා අවුට් උනාම යන්න ඉන්නෙ මම. දැන් මගේ පපුව ගැහෙන වේගේ වැඩි. ඇයි අනේ ජීවිතේ කොයි තරම් කාලයක් තිස්සෙ ආසාවෙන් බලාගෙන හිටිය මොහොතක්ද මේ…  මෙච්චර කාලයක් ටීවී එකෙන් මැච් බලද්දි අපේ ක්‍රිකටර්ස්ලට මං හිතින් දුන්න උපදෙස් ඔක්කොම මතක් කරගත්ත. 
එතකොට තමයි මට මතක් උනේ මම කොන්ඩෙ කඩාගෙන ඉන්නෙ කියල. හැමෝගෙන්ම අඩුම ගානෙ රබර් බෑන්ඩ් එකක්වත් තියෙන්වද කියල ඇහුවත් හොයාගන්න බැරි උනා. මාර වැඩේ..මූණට කොන්ඩෙ වැටෙද්දි කොහොමද ක්‍රිකට් ගහන්නෙ? වැඩිය ඒ ගැන හිතන්න උනේ නැත්තෙ මගෙ යාලුව අවුට් උන නිසා. දැන් ඔන්න එයාගෙන් බැට් එකත් ඉල්ලගෙන මං පිටිය මැදට ගියා. කට්ටිය බලාගෙන ඉන්නව දකින කොට කලින් හිතට ආපු කික් එක කොහෙන් ගියාද නෑ. කොහොම හරි බයෙන් බයෙන් කොන්ඩෙත් පුලුවන් විදිහට හදාගෙන ඔන්න මම සූදානම් ප්‍රථම පන්දුවට මූණදෙන්න.

ඔන්න පන්දුයවන්නා දිව එනවා ...

එක පාරටම එයා බෝලෙ බිම දිගේ එවුවා. මේ ක්‍රමේ හදල තියෙන්නේ ගෑණු ළමයින්ගෙ යහපතට කියල කිව්වට මට නම් ඒ විදිහ  තරම් අමාරු නැතුව ඇති කියල හිතුනා යෝකර් එකක් එවන එක. බිම දිගේ එන බෝලෙකට කොහොම ගහන්නද. පළවෙනි බෝලට ළකුණු නෑ. නිකන් පොළවට බැට් එකෙන් ගහල දූවිලි ඇවිස්සුනා විතරයිපීඩනයත් ටිකක් වැඩි උනා ඒකෙන්.  කමක් නෑ..ඊළඟ එකට ගහන්නම් කියල හිටිය. කලින් වගේම බිම දිගේ ආවත් මේසැරේ නම් යන්තම් බෝලෙ ටිකක් දුරට යවාගන්න පුලුවන් උනා. මට මාර සතුටුයි. කොහොම හරි මේකට රන් එකක් ගන්නව කියල හිතාගෙන ඔන්න මම දුවනව. එතකොටම කට්ටිය කෑ ගහන සද්දෙත් ඇහෙනව. මට චියර් කරනව වෙන්න ඇති කියල හිතාගෙන මම තවත් හයියෙන් දිව්වා. ඔන්න කොහොම හරි ළකුණක් ගත්ත. ළකුණක් ගත්ත නිසා බය ටිකක් අඩු වෙලා, පොඩ්ඩක් වටපිට බලද්දි කට්ටියගෙ මූණෙ තිබ්බ හිනාව මට වැඩිය ඇල්ලුවෙ නෑ. එතකොටම ඔන්න අනිත් අන්තයේ හිටිය කෙනා ඇවිත් මට කියනව
"ඔයා දුවන්න ඕන නෑ. අර මල්ලිනෙ ඔයා වෙනුවෙන් දුවන්නෙ"
හැබෑටම එතකොටයි රනර් කෙනෙක් ඉන්නව කියල මතක් උනේ. ලැජ්ජාවෙ බෑ.  කට්ටිය මං දුවද්දි කෑගහල තියෙන්නෙ දුවන්න එපා කියන්න. කවුද ඒක දන්නෙ.. මං හිතුවෙ මට චියර් කරනව කියලනෙ.
ඒ පාර ඉතින් මං ඇවිත් අනිත් අන්තෙට වෙලා හිටියා. අනිත් පැත්තෙ බැට් කරපු කෙනා ඔන්න ළකුනකට දුවනව. මගේ පැත්තෙ ඉන්න මගෙ රනර් මල්ලිත් දුවනව..මං බලන් ඉන්නව.... :(
කොහොමත් ටී වී එකේ යන මැච් එකක උනත් මේ රනර් කෙනෙක් දාන වැඩේ මට ටිකක් පැටලෙනව. එහෙවු එකේ මංගල තරඟෙදිම ඒ අභියෝගයට මූනදෙන්නත් උනාම ටිකක් අවුල්. කමක් නෑ… ආයෙ ඉතින් ජීවිතේටම ක්‍රිකට් ගහන්න වෙන එකක් නැනෙ....ඉතින් ඒ අත්දැකීමත් තියෙන එක හොඳයි නෙ කියල හිත හදාගත්ත. 
කොහොම හරි ඔය විදිහට මගේ ලකුනු සංඛ්‍යාව හතර දක්වා ඉහල ගියා. දැන් ටිකක් වැඩේ පුරුදුයි. දැන් ආයෙත් පන්දුවට පහර දෙන්න ඉන්නෙ මම. ඒ බෝලෙට නම් වැඩිය දුරට යන්න ගහන්න බැරි උනා. කෙලින්ම ෆීල්ඩර් කෙනෙක් ගාවටමයි ගියේ. ළකුනක් ගන්න බෑනෙ කියල හිතනකොටම මෙන්න මගේ රනර් දුවනව  
ඒඋනත් අනිත් පැත්තෙ හිටිය කෙනා දිව්වෙ නෑ. එතනින් එහාට උන දේ කියන්න ඕන නැනෙ. මම අවුට්. ඇත්තටම ඒ වෙලාවෙ හිතට ආපු දුක කියන්න බැරි තරම්. මතක ඇති කාලෙක ඉඳන් පෙරුම් පුරල ලබාගත්ත අවස්ථාවක්, ආයෙමත් ජීවිතේට නොලැබෙන්න ඉඩ තියෙන අවස්ථාවක් නොහිතූ විදිහට කෙලවර උනාම දුක නැත්තෙ කාටද?
"අනේ අක්කෙ සොරි මම එතන ෆීල්ඩර් කෙනෙක් ඉන්නව දැක්කෙ නෑනෙ" කියල අර මගෙ රනර් මල්ලි ඇවිත් කිව්වම

"ආ ඒකට කමක් නෑ මල්ලි" කියල කිව්වත්, මගේ ක්‍රීඩා ජීවිතේ ප්‍රථම සහ අවසාන ඉනිම ළකුණු හතරකට සීමා කරන්න උන දුක නම් සෑහෙන දවසක් යනකන් හිතේ තිබ්බා    

Wednesday, April 10, 2013

ගෙවුනු උපන්දිනය සහ එළඹෙන අවුරුද්ද


http://us.123rf.com
මීට ටික දවසකට කලින් මගේ ජීවිතේ තිබුන උපන්දින ගානට තවත් එක උපන්දිනයක් එකතු උනා. ඒ කියන්නෙ මම දැන් තවත් වයසට  ගිහින්....
පුංචි කාලෙදි යාලුවො පිරිවරාගෙන පවත්වපු උපන්දින සාද වලට මං කොච්චර ආසයිද කිව්වොත් අප්‍රේල් මාසෙ පටන් ගන්නත් කලින් තමයි මං ඒකට ලෑස්ති වෙන්නෙ. අම්මා හදන කේක් එක හරිම රහයි. අදටත් මගෙ යාලුවො ඒ ගැන මතක කරනව. ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නොතේරුන ඒ කාලෙ ලස්සන සැරසිලි මැද, රස කෑමත් එක්ක නොයෙක් තෑගි, සුභ පැතුම්, එක්ක ගෙවෙන ඒ දවස එනකන් මං බලාගෙන හිටියෙ පුදුමාකාර ඕනකමකින්. පාටිය ඉවරවෙලා කට්ටිය ගියාම මොන මොනව හරි කෑම ජාති කටේ දාගන්න ගමන් තෑගි ටික බලන එක තමයි මම ආසම වැඩේ. ඒ ලැබුන ගොඩක් තෑගි තාමත් මං ගාව පරිස්සමට තියෙනව.

ඊට පස්සෙ කාලෙකදි ගෙදර කීප දෙනා එක්ක එකතුවෙලා කේක් කපල රෑ කෑමකට එලියට ගිහින් උපන්දිනය සමරන්න පුරුදු උනා. හැබැයි ටිකෙන් ටික ඒ දවස ගැන මගේ හිතේ තිබ්බ ආසාව, ඒ දවස උදාවෙනකන් ඇඟිලි ගැනපු එක අඩු වෙන්න පටන් ගත්ත. සමහරවිට ඒකට හේතුව මම අර බයෙන් ඉන්න අනාගතයට ළං වෙන නිසාද කියන්න දන්නෙ නෑ.

මට කොහොම උනත් මගේ පවුලෙ අයට නම් ඒ දවසෙ වැදගත්කම අඩු නැතුවම තාමත් දැනෙනව. මේ උපන්දිනය උදාඋනේ ගෙදර හැමෝම සෑහෙන  පීඩනයකින් ඉන්න කාලෙක. එහෙම උනත් මගේ උපන්දිනය එයාලට අමතක වෙලා නෑ. තාමත් අසනීපෙන් ඉන්න මගේ ආදරණීය මාමත් ඇඳේ ඉන්න ගමන් උනත් උත්සහ කරල තිබ්බෙ මට ඒ දවස සුන්දර දවසක් කරන්න. උපන්දිනයක් කියන්නෙ මහා ලොකු දෙයක් නෙවෙයි කියන එක මම වගේම එයාලත් දන්නවා උනත්, මාව  එයාලගෙ ලෝකයට ලැබුන දිනය අදටත් ආදරණීයව මතක් කරන්න ඒ අය  මේ දවස යොදාගන්නව කියලයි මට හිතෙන්නෙ.

උපන්දිනය කියන්නෙ පාටිදාල සමරන්න ඕන දිනයකට වඩා ජීවිතේ ගැන, ඉදිරිය ගැන, හිතන්න සුදුසුම දවසක් කියල මට හිතෙනව. පොඩි කාලෙදි යාලුවොත් එක්ක එකතුවෙලා පාටි දාල විනෝද වෙන්න ලැබුන එක ගැන නම් මට සතුටුයි. මොකද ඒ දවස් මගේ ජීවිතේ සුන්දර මතක සටහන් විදිහට රැඳිල තියෙන නිසා.

කොහොම උනත් මම ඉපදුන දවසෙ ඉඳලම එක වගේ මට ආදරය කරන මගේ පවුලෙ අයගෙ ආදරයත් විඳිමින්, යාලුවොන්ගෙ සුභ පැතුමුත් එක්ක, ජීවිතේ ගැන ටිකක් සීරියස් විදිහට හිතන්න මට අවස්ථාවකුත්  දීල තමයි මේ උපන්දිනය ගෙවිල ගියේ...

ඒ මගේ විස්තරනෙ. දැන් එමු ඊළඟ මාතෘකාවට

තව දවස් කීපයකින් අලුත් අවුරුද්දත් උදාවෙනවනෙ. මේක ටයිප් කරද්දිත් අන්න අරහෙ කොහා කෑගනව. අලුත් අවුරුදු කෑම මේසේ තියෙන කෑම වලින් මගේ නම් ආසම කෑම තමයි කිරිබත් කන්න හදන හත්මාලුව. ලුණුමිරිස් එක්ක කනවට වඩා හත්මාලුවත් එක්ක කිරිබත් කද්දි මට නම් රහ වැඩි. අවුරුද්දට සුභ පතන්න කල් වැඩිද මංද. ඒ උනත් ආයෙත් සුභ පතන්න වෙලාවක් ලබෙයිද කියල දන්නෙ නැති නිසයි මේ සටහන දැන්ම ලියල තියන්න හිතුව  
ඉතින් උදාවෙන අලුත් අවුරුද්ද ඔයාල හැමකෙනෙක්ටම සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත අවුරුද්දක් වේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
http://1.bp.blogspot.com

Wednesday, April 03, 2013

පොඩි ගැටලුවකට විසඳුමක්


ගොඩක් අය දන්නවනෙ දැන් කමෙන්ට් එකකට පින්තූරයක් ඇතුල්කරන්න පුලුවන් කියල. ඒත් මගේ බ්ලොග් එකේදි ඒක වැඩ කලේ නෑ. පින්තූරයක් දාන්න අවශ්‍යය [im]...[/im] කෝඩ් එක මැදට පින්තූරෙ URL එක දීල පබ්ලිශ් කලාම URL එක විතරයි පෙන්නන්නෙ.  
ඉතින් ටිකක් හොයල බැලුවම ස්ක්‍රිප්ට් එකක් ටෙම්ප්ලේට් එකට  එකතු කලාම මේ ගැටලුව මගහරව ගන්න පුලුවන් කියල දැන ගත්ත. 

මූලින්ම ටෙම්ප්ලේට් එක බැකප් කරගන්න.ඊට පස්සෙ ටෙම්ප්ලේට් එකට ගිහින් Edit HTML ක්ලික් කරන්න. </body> tag එක හොයාගෙන ඊට ඉහලින්
පහල තියෙන කෝඩ් එක දාන්න.

<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/>

අන්තිමට ටෙම්ප්ලේට් එක සේව් කරන්න.


දැන් කමෙන්ට්ස් වලටත් පින්තූර එකතු කරන්න පුලුවන්. මම මේ විස්තරේ හොයාගත්තෙ මෙතනින්.
මේක ඉතින් අත්‍යාවශ්‍ය දෙයක් නම් නෙවෙයි. නිවාඩු වෙලාවට මේ වගේ පොඩි අත්හදා බැලීම් කරන්න මගේ තියෙන ආසාව නිසා කරපු දෙයක්. කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි ලිපියක් විදිහට දැම්මෙ