බොහෝ දෙනා වෛර කරන්නේ අතීතයටය. පිළිකෙව් කරන්නේ වර්ථමානයය. පෙම් බඳින්නේ අනාගතයටය. නමුදු මා අතීතයට බෙහෙවින් ආදරය කරන්නෙමි. ඒ මට මතක් කර සිනහා වන්නට තරම් සොඳුරු මතක ගබඩාවක් එය මට ලබා දුන් බැවිනි. වර්ථමානය අතීතය තරම් සොඳුරු නොවුවද එහි මහා ලොකු වරදක් මා දකින්නෙ නැත. එහෙත් අනාගතය??? එය වෙනමම කථාවකි.
අනාගතය යනු මට
නම් තෙරක් නොපෙනන දරුණු සුළි කුණාටු පිරි සාගරයකි. බයංකාර සතුන් පිරි ඝණ කැළෑවකි, යාන්තම් හෝ
එළියක් පෙනෙන්නේ නැති බිම් ගෙයකි. කෙටියෙන්ම කිවතොත් ජීවත් වීමට තරම් නුසුදුසු
අතිශය භයානක තැනකි.
ඒ මන්දැයි ඔබ
සිතනු ඇත. අනාගතය යනු බිය විය යුත්තක් නොව, ආදරයෙන්
භාරගත යුත්තක් බව ඔබ විශ්වාස කරනු ඇත.
එහෙත් අනාගතය
යනු ජීවිතේ සුන්දරත්වය මාගෙන් සොරාගන්නට පැමිනෙන සොරකු යැයි මට හැඟේ. මා ආදරය
කරන පිරිස මගෙන් ඈත් කරවන, මට හුරු
පුරුදු දිවි පෙවෙත මට අහිමි කරවන, මා අකමැති තීරණයන්
ගැනීමට මා හට බල කරන, අනාගතයට මම වෛර කරන්නෙමි.
අතීතයට ගොස්
ජීවත් වීමට හැකිනම් මා ඊට වඩා කැමති දෙයක් නැත. කුඩා දරුවකු ලෙසින් පවුලේ සැමගේ
ආදරය ලබමින්, කිසිම දෙයක්
ගැන අබ මල් රේණුවක තරම්වත් තැකීමක් නොකර සෙල්ලම් බඩු ටිකෙන් එහා ලෝකයක් ගැන නොදැන, ගෙවන ඒ සැහැල්ලු
දිවියට මා පෙම් කරන්නෙමි. බෝනික්කාගේ අතක් ගැලවීමත්, සෙල්ලම් කෝච්චිය හිටි
හැටියේ නතර වීමත්, වදෙන් පොරෙන්
කවන කෑමත්, ජීවිතයේ ඇති
දරුණුම ප්රශ්න යයි සිතුන කාලයට යාමට මම ආසා කරන්නෙමි. එසේ කල නොහැකි නම් අඩුම තරමේ
වර්ථමානයේ නවතින්නටවත් හැකි නම් කෙතරම් හොඳදැයි මට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ.
එය අන්තිම ගොන් කථාවක් ලෙස ඔබට සිතෙනවාට සැක නැත. ඒ ගැන මා පුදුම නොවන්නේ එය ගොන්
කථාවක් බව මාද දන්නා නිසාය. නමුත් මම ඒ ගොන් කතාවට කැමත්තක් දක්වමි. මා ඉදිරියේ
ඇති යථාර්තයට වඩා ඒ මායාවට මම අශා කරන්නේමි.
මා අනාගතය
පිළිගැනීමට සූදානම් නැත..එහෙත් එසේ කියා මට වෙන කරන්නට දෙයක්ද නැත. අතීතය නම් වූ
සුන්දර තැනක සිට පැමිණි මා වර්ථමානය නම් වූ අම්බලමේ රැඳී සිටින්නෙමි. මෙතැනින්
පිටවී අනාගතය නම් වන මා කිසිවක් නොදන්නා තැනකට යාමට මට සිදුවේ. එය එතරම් ප්රසන්න
තැනක් නොවනු ඇති බවට මගේ හිත මට ඉඟි කරයි. එය එසේ නොවේ යැයි නිශ්චිතවම කියන්නට කිසිවෙකුටත් නොහැකි
වීම මගේ සිත තව තවත් බියට පත් කරයි. කාලය අල්ලා නතර කරගන්නට හැකි නම් කෙතරම්
අගනේදැයි මට සිතේ. මා අනාගතයට පියමන් නොකිරීමට තීරණය කලද එය මා වෙත ඒම මට
වලක්වාලිය නොහැකි බව මා දනිමි. මා දන්නේ මා එය සිනා සී පිළිගන්නට සූදානම් නැති
බවය..
මට පිස්සු
යැයි කෙනෙක්ට සිතෙන්නට පුලුවන. මේ කතාව කියන සෑම විටම මා වටා සිටින අය කියන්නේද
එයමය. අනාගතයට බිය විය යුතු නැති බවත් එය සාර්ථක කරගැනීමේ හැකියාව මට ඇති බවත්
ඔවුහු මට පවසති. එහෙත් මසිත වෙලාගෙන ඇති බියෙන් මා මුදවාගැනීමට එය සමත් නොවේ.
මා අනාගතයට මේ
තරම් බිය ඇයිදැයි මා කල්පනා කරන්නෙමි. තවමත් ගවේශනය නොකල අලුත් භූමියක් බඳු වන
අනාගතය කොයි තරම් ආශ්වාද්ජනක විය හැකි දැයි සිතීමට මම උත්සහ දරන්නෙමි. ඒ සැණින්
මතක් වන්නේ මා බියට පත් කරන කරුණුය. වර්ථමානයේ පවුලේ සුරතලා ලෙස ගත කරන සුන්දර
කාලය අනාගතය විසින් උඳුරා ගනීවියැයි මට සිතේ. සැහැල්ලුවෙන් යහලුවන් හා ගෙවන සොඳුරු
කාලය වෙනුවට දරාගත නොහැකි වගකීම්, ප්රශ්න, අනාගතයේදී මට උරුම වේයැයි මට හැඟේ.
හැමදාමත් මා ප්රිය කරන නිස්කලංක ගම වෙනුවට මා කිසිදා ප්රිය නොකල නාගරික ජීවිතය
මට ලබාදීමට අනාගතය අර අඳින බව මට දැනේ. දිනෙන් දින වියපත් වන මා අනාගතයේ යම් දිනක
කිසිවක් කර කියාගත නොහැකි කෙනෙකු වේ යැයි සිත කියයි. ඉදින් මා අනාගතයට පෙම්කරන්නේ
කෙසේදැයි මම මගෙන්ම ප්රශ්න කරමි. මෙය ඔබගේ මුවගට සිනහවක් එක්
කිරීමට ඉඩ ඇති බව මා දනිමි. "මේක මහ පිස්සු කතාවක්" ඔබ කියනු ඇත. මෙය මට
පමණක් උරුම දෙයක් නොවන බවත් අනාගතයේදි සියලු දෙනාටම මුහුණදීමට සිදුවන පොදු
ධර්මතාවක් බවත් ඇතැම් විට ඔබ පවසනු ඇත. මා මේ සටහන තබනුයේ එය නොදැන නොවේ. එහෙත්
අතීතය හා වර්ථමානය මට නිර්මාණය කර දී ඇත්තේ
අතිශය සොඳුරු, ආදරණීය
ජීවිතයකි. මා අනාගතයෙන් බලාපොරොත්තු වන්නේද එයයි. අනාගතයට මා මෙතරම් බිය වන්නේ, අද මේ මොහොතේ පටන්, මා මියයන මොහොත
දක්වාවූ කාලය දෙස යථාර්තවාදීව බලන කල, එය එපමණටම
සුන්දර, සැහැල්ලු, ආදරණීය නොවනු
ඇති බවට මා තුල ඇති හැඟීම නිසාවෙනි.
ජීවිතයේ
යථාර්තයට මුහුන දිය යුතු බව මා හොඳාකාරව දනිමි. එසේ නම් මෙවැනි සටහනක් මා ලියා තබන්නේ
මන්දැයි කෙනෙක් සිතනු ඇත. මෙයින් කිසිවක් වෙනස් නොවන බව මා දනිමි. එහෙත්
අනාගතයේ යම් දිනෙක, මා මේ මොහොතේ
අනාගතය කෙරෙහි දැක්වූ අදහස් යළි කියවීමට මට අවැසිය. එදිනට මේ සටහන කියවා අවසන, යකා
මා සිතා සිටි තරම් කලු නැති බව, මට මාහටම කියාගත හැකි නම් කෙතරම් අගනේදැයි මා
කල්පනා කරමි…..